කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අනුකමිටුවක වාරාතාවක් ය, අනුකමිටුවකට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි ය ආදී වශයෙන් විවිධ කතා පැතිරී යමින් පවතියි. එහෙත් ඒ සියළු කතා බයිලා පමණ ය. එ ජා ප භාරකාර ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ බයිලා වලින් අපට වැඩක් නැත. පාර්ලිමේන්තුව අදාළ වාර්තාව සලකා බැලීම සඳහා පිළිගෙන ඇත. ජූලි 07 වැනි දා හෝ ඒ ආසන්නයේ හෝ වාර්තාව ගැන යම් සකච්ඡාවක් කිරීමට ද පාර්ලිමේන්තුවේ එකඟතාවක් තිබී ඇත. එසේ තිබිය දී වාරාතාවේ නිල තත්ත්වය පිළිබඳ ඇතැම් භාරකාර නියෝජ්‍ය ඇමතිවරුන් බයිලා කීම කණගාටුදායක ය. 
   
අදාළ අනුකමිටු සාමාජිකයන් අද කළ යුත්තේ තමන් මන්ත්‍රීවරුන් නොවුණ ද වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස හිටපු කතානායකවරයාගෙන් ඉල්ලා සිටීම ය. ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමවේදයක් සකස් කර ගැනිම පාර්ලිමේන්තු නිලධාරීන්ට හිටපු කතානායකවරයාට හා ජනාධිපතිවරයාට භාර ය. එවැනි සම්ප්‍රදායක් නොමැති නම් නව සම්ප්‍රදායක් බිහි කර ගත හැකි ය. 

අර්ජුන් මහේන්ද්‍රන් හිටි අඩියේ ආපසු තම රටට, එනම් සිංගප්පූරුවට ගියේ ඇයි? ඔහු විසින් අත්සන් කරන ලද රුපියල් 5000 නෝට්ටු සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගී ඇත. ඔහු මහා බැංකුවේ ප්‍රධානියා ලෙස පත්වීමේ දී රජයට පක්‍ෂපාති වන බවට දිවුරුම් ප්‍රකාශයක් දී තිබිණි ද? ආණ්ඩුව ඔහු පත් කෙළේ එලෙස දිවුරුමක් ලබා නොදී තිබූ පරිසරයක ය.  සිංගප්පුරු පුරවැසියකුට ද්විත්ව පුරවැසියකු ලෙස වෙනත් රටක ද පුරවැසියකු විය නො හැකි ය. එබැවින් අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවේ රජයට පක්‍ෂපාති වන බවට දිවුරුමක් ලබා දීමට හැකියාවක් නො වී ය.   

මහේන්ද්‍රන් පිළිබඳ බැඳුම්කර චෝදනා ඉදිරිපත් වූ විට රනිල් වික්‍රමසිංහ කෙළේ ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට නීතිඥයන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම ය. බලාපොරොත්තු වූ පරිදි ම කමිටුව විසින් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරිණි. බැඳුම්කර සම්බන්ධ ටෙන්ඩර කමිටුවට තමා සහභාගි නොවූ බව මහේන්ද්‍රන් පැවසුවේ ය. එහෙත් ඔහු මහා බැංකු අධිපති ලෙස එහි සියළු මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වග කිව යුතු විය. ටෙන්ඩර් කමිටුවට සහභාගි නොවීම නිදහසට කරුණක් නො වේ.

බැඳුම්කර පිළිබඳ ව රනිල්ගේ ද යම් සම්බන්ධයක් තිබූ බව කියැවෙයි. ඒ කෙසේ වෙතත් මැතිවරණයට පෙර අදාළ වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු වෙයි. අගොස්තු 17 වැනි දා ජනතාව තීරණයක් ගන්නා විට අදාළ සියළු තොරතුරු ඔවුන් සතුව තිබිය යුතු ය. අප කලින් කී පරිදි වාර්තාව තොරතුරු හා සම්බන්ධ ය. ඒ පණත් කෙටුම්පතක්, විශ්වාසභංග යෝජනාවක් වැන්නක් නො වේ. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පණත් කෙටුම්පත්, විශ්වාසභංග යෝජනා ආදිය අහෝසි වෙයි. එහෙත් තොරතුරු අහෝසි නො වෙයි. තොරතුරු ජනතාව අතට පත්කිරීම වගකිව යුත්තන්ගේ කාර්යභාරය වෙයි. විශේෂයෙන් ම මැතිවරණයක දී වැදගත් වන තොරතුරු මැතිවරණයට පෙර ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතු වෙයි. ඒ නව සම්ප්‍රදායක් නම් ඒ එසේ ම වේවා! සෑම සම්ප්‍රදායකට ම ආරම්භයක් වෙයි.

නලින් ද සිල්වා


2015 ජූනි 29

Top