චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා 2024 බෙයිජිං ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. ඊයේ (28) එහි පැමිණි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ රටේ අන්තර්ජාල තාක්ෂණය සහිත බුද්ධිමය විදුලි මෝටර් රථ සංවර්ධනය කිරීමේ දැවැන්ත ප්‍රවණතාව පිළිබඳව ආ‍ඩම්බර විය හැකි බව යි.

මෝටර් රථ සමාගම් ගුණාත්මක භාවය මත පදනම් ව, කේන්ද්‍රීය තාක්ෂණ වර්ධනයට යොමුවෙමින් බුද්ධිමය නිෂ්පාදන මට්ටම වැඩිදියුණු කරනු ඇතැයි ද ලී ච්‍යං මහතා එහිදී බලාපොරොත්තු පළ කළේය. එමෙන්ම එම සමාගම් නිසි ඉදිරිදැක්මකින් යුතුව තාක්ෂණික පර්යේෂණවල නිරත වෙමින්, ගෝලීය අඩු කාබන් හරිත පරිවර්තනය උදෙසා සක්‍රිය දායකත්වය ලබාදිය යුතු බව ද  හෙතෙම අවධාරණය කළේය.

මේ අතර, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Elon Musk මහතා අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ පැවැත්විණ. අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ, චීනය තුළ Tesla සමාගමේ වර්ධනය චීන-ඇමරිකා ආර්ථික ‍හා වෙළඳ සහයෝගිතාවන්හි සාර්ථක නිදසුනක් ලෙස සැලකිය හැකි බව යි.

සාධාරණ සහයෝගිතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ පොදු ජයග්‍රහණ, දෙරටේ මූලික අවශ්‍යතාවට මෙන්ම දෙරට ජනතාවගේ පොදු අපේක්ෂාවට ගැලපෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ශංහයි නගරයේ ස්ථාපිත Tesla සුපිරි කර්මාන්ත ශාලාව, තම සමාගමේ ඉහළ කාර්ය සාධනයක් සහිත කම්හලක් බව Elon Musk මහතා එම හමුවේ දී පැවසීය. චීනය සමග පොදු ජයග්‍රාහී සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමෙන් උසස් ප්‍රතිඵල හිමිකර ගැනීමට තම සමාගම අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටියේය.

Top