Sep 7, 2019 – එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 76 න් 52 කට වැඩි ප්‍රමාණයක සිය අත්සනින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට ඉල්ලා ඇති බවත් ඉතාමත් නුදුරු දිනයකදි රනිල් වික්‍රමසිංහ හා කරූ ජයසුරිය ගේ යෝජනා සම්මතයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා විය හැකි බවත් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

එන්ට්‍රප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශනයට සහභාගි වීම සඳහා යාපනයට ගොස් ඇති අමාත්‍යවරයා එහිදි මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළා.

ඇත්ත වශයෙන්ම එන්ටර් ප්‍රයිසස්  ශ්‍රී ලංකා කියන්නේ ඒක ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඕනේ ඒ ප්‍රකාශ අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ දාල තියෙන ප්‍රකාශය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ බොරු ප්‍රවෘත්තියක්. ෆේක් නිව්ස් එකක්. මොකද ඇත්ත වශයෙන්ම ප්‍රෝඩාභය රාජපක්ෂ නොහොත් ගෝඨාභය කියන්නේ ප්‍රෝඩාවෙන්ම දේශපාලනය කරන කෙනෙක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නැති ප්‍රශ්න නිර්මාණය කරලා පෙන්නන්න කරපු තවත් අසාර්ථක උත්සායක්.

මොකද ඊයේ ඔය කියපු සාකච්ඡාවට, මම යාපනයට ආපු නිසා නොහිටියත් ඒ සාකච්ඡාවේ හිටපු අපේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සියල්ලම මට කිව්වේ එහෙම දෙයක් ඇත්ත වශයෙන්ම අගමැතිතුමාවත් කතා කරේ නැහැ කියලා. එතනදී එහෙම දෙයක්වත් කතා කරලා නොතියන මොහොතක ඒ වගේම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්ම සජිත් ප්‍රේමදාස මහත්මයාව අපේක්ෂකයා හැටියට ඔ්නෙයි කියලා තියෙන මොහොතක මෙවැනි අභූත ප්‍රකාශයක් කිරීම තුළින් ප්‍රෝඩාභයගේ ඒ ව්‍යාපාරයේ කඩා වැටෙන ස්වරූපයයි මේ අය ඒ පෙන්වලා තියෙන්නේ.

මොකද අපි පැහැදිළිවම දන්නවා මේක ඒ පැත්තෙන් ප්ලාන්ට් කරපු නිව්ස් එකක්. පැහැදිළිවම මම නැවතත් කියන්නේ මේ රටේ ජනතාව අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක්, 76 න් 52 කටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා අපිට ඕනේ සජිත් ප්‍රේමදාසයි කියලා. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මම හිතන්නේ හයෙන් පහක්ම අපි දැක්කා බදුල්ලේදී, අපි දැක්කා මාතරදී, අපි දැක්කා කුරුණෑගලදී, මේ යාපනයට එනකොටත් අපි දකිනවා පාර දෙපැත්තේ තියෙන ප්‍රතිචාරය එතුමාගේ බෝඩ් ලෑලි වලින්, එතුමා ගැන ඒ තියෙන සංවර්ධන කටයුතුවලින්, ඒ නිසා මුළු රටම මේ ගැන තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක, පක්ෂය තුනෙන් දෙකක් තීන්දුවක් අරගෙන තියෙන වෙලාවක. මෙවැනි තීන්දුවක් ගත්තැයි කියන එක ඇත්තෙන්ම විහිළුවට කරුණක්. අනිත් එක කවදාවත් අපේ අගමැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවැනි දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. එතුමා හැමදාම බහුතර මතයට හිස නැමුවා. ඒ වගේම මට විශ්වාසයි ඇත්ත වශයෙන්ම මේ වැඩි දින කීපයකට ප්‍රථම එතුමාගේ යෝජනාවෙන්, ඒවගේම අපේ කතානායකතුමා කරු ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වයෙන් සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙලා, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ  මැතිවරණයෙන් පස්සේ ඊළඟ ජනාධිපති වීම කාටවත් නවත්වන්නට බැහැ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නේද එක තීරණය කරන්නේ?

හරි ඒක නිසා තමයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්නෙත් මන්ත්‍රීවරු. මන්ත්‍රීවරු දැන් තුනෙන් දෙකක්ම දැන් කියලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තීන්දුව, මේ එක එක ගෝඨාභයට කඩේ යන අයගෙන් නෙවෙයි ගන්න ඔ්නේ. ඒ තීන්දුව අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයයි පාර්ලිමේන්තු කණ්ඩායමයි එකතු කරලා කරපු  රැස්වීමකදී අවසන් තීරණය ගන්නවා.

එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා කියලා කියනවා?

නැහැ. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලත් නැහැ කැඩෙන්නෙත් නැහැ. මොකද දෙකට කැඩෙන්න බැහැනේ මොකද අනූ පහක් එක මතයක ඉන්නකොට තව පස්දෙනෙක් කියනවා නම් බැහැයි කියලා, කඩනවා නම් කඩන්න හදන්නේ ඒ පස්දෙනා මිසක් අර අනූ පහ නෙවෙයි. මුළු පක්ෂයම එක මතයක ඉන්නේ.

Sep 6, 2019 – අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් සහරාන්ගේ පඩි ලැයිස්තුවේ ඇතුලත්ව පඩු ලබා ගෙන ඇත්දැයි පරීක්ෂණ පවත්වන බව නිතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද (06) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයගේ ඇප නියෝගය අවලංගු කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධනය පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්වරයා මේ බව සඳහන් කළා.

2016 වසරේ සිට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳව වාර්තා 347 පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබූ බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ රාජ්‍ය බුද්ධි සේවය විසින් 2016 වසරේ සිට ප්‍රහාරය එල්ල වූ අවස්ථාව දක්වා සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිලිබඳ බුද්ධි වාර්තා 347 පොලිස්පති වරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකර තිබූ බවයි.

ඉන් බුද්ධි වාර්තා 131 ක් පොලිස්පතිවරයාගේ දෑස් වල අවධානය සදහා යොමු කර තිබූ බවත් තවත් බුද්ධි වාර්තා 97 ක් ආරක්ෂක ලේකම්වරයාගේ දෑස් වල අවධානය සදහා යොමු කර තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.

එතරම් විශාල බුද්ධි වාර්තා සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණද ඒවා කියවීමට පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර නොමැති බව පෙනී යන්නේ යැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා එසේ කියවා තිබුණේ නම් පාස්කු ඉරුදින  වූ මහා ඛේදවාචකය වළක්වාගැනීමට හැකියාව තිබුණු බවද සඳහන් කර සිටියා.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම අප්‍රේල් මස 4 වනදා රාජ්‍ය බුද්ධි සේවය වෙත තොරතුරු ලැබෙන බවත් එය එම අවස්ථාවේදීම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ බවත්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

එල්ල වීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු දැන සිටිය දී අප්‍රේල් මස 09 වනදා පැවති බුද්ධි අංශ සමාලෝචන රැස්වීමේදී ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කිසිවක් සාකච්ඡා කර නොමැති බව චෝදනා කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බළකායට යට ඇඳුම හැර සියලුම පහසුකම් මහජන මුදලින් සපයා දෙන බැවින් මහජනයාගේ ආරක්ෂාව  තහවුරු කිරීමට ඔවුන්ට සුවිශේෂී වගකීමක් පවතින බව ද අවධාරණය කළා.

පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 16 වනදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දී මෝටර් සයිකලයක බෝම්බයක් පුපුරුවා හැරීමේ සිද්ධියක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු පොලිස්පතිවරයා වෙත සපයා දී තිබුණත් ඒ පිළිබඳව සොයා බැලීමට ද පොලිස්පතිවරයා උනන්දුවක් දක්වා නොමැති බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට නිශ්චිත තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් සපයා දී තිබියදීත් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු නොකළ බවත් එසේ කටයුතු කර තිබුණේ නම් මහජන ඝාතනයක් වළක්වාගැනීමට හැකියාව තිබුණු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා බරපතළ සංවේදී බුද්ධි තොරතුරක් ලැබී තිබියදී කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මීගමුව ප්‍රදේශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නිවාඩු අනුමත කර නිවාඩු ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබීම විමතිය දනවන කරුණක් බවද සඳහන් කර සිටියා.

පාස්කු ඉරුදින  මහා ජන ඝාතනයක් සිදුකිරිම සඳහා සහරාන් හෂීම් සිදුකල කුමන්ත්‍රණයේ  පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද කොටස්කරුවන් වී ඇතැයි චෝදනාකල නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඔවුන් දෙදෙනා සහරාන් හෂීම් ගේ පඩි ලැයිස්තුවේ ඇතුළත්ව  සිටියේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදු කෙරෙන බවද සඳහන් කර සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇප ප්‍රදානය කරමින් කොළඹ මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අසම්මත, අවිධිමත් නියෝගයක් බවට පැමිණිලි තුළ බරපතල විවේචනයක් පවතින බව සඳහන් කර සිටියා.

පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එල්ලවී තිබූ චෝදනා සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලපෑ සාක්ෂි පිළිබඳව සවිස්තර බී වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබියදී ඒ පිළිබඳව කිසිවක් සලකා බැලීමකින් තොරව විත්තිය විසින් ඉදිරිපත් කළ වාචික කරුණු පමණක් පදනම් කරගෙන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙන බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනාවට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරිය කිසිදු බලයක් නොමැති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අවධාරණයට ප්‍රකාශ කර සිටියා.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත ඇප නියෝගය අවලංගු කරන ලෙසයි ඔහු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ඒවගේම මොවුන් දෙදෙනාට විරුද්ධව කුමන්ත්‍රණ කිරීම හා ඝාතන චෝදනා යටතේ නඩු පැවැරීමට ද බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නා.

වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අප්‍රේල් මස 9 දා පැවැත්වූ බුද්ධි සමාලෝචන රැස්වීමේදී  එල්ලවීමට නියමිතව තිබූ ප්‍රහාරය පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් වරයා කිසිවක් සාකච්ඡා නොකළ බවට  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළත් එම රැස්වීමට සහභාගි වූ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බව චෝදනා කළේය.

ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට අප්‍රේල් මස 4 වනදා  ඉන්දියාවෙන් ලැබුණ බුද්ධි තොරතුරට අමතරව වෙන ද කිසිදු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා විසින් තම සේවාදායකයා වෙත ලබාදී නොතිබූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

තම සේවාදායකයාට රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් හා තව්හීද් ජමාත් සංවිධානය පිළිබඳව බුද්ධි වාර්තා 97ක් ඉදිරිපත් කර තිබූ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කළේ දින 150ක් පමණක් බවත් එසේ නම් සෑම පැය එකහමාරකට ම වරක් බුද්ධි වාර්තාවක් ඉදිරිපත් වී තිබිය යුතු බවත්  එය ප්‍රායෝගික තර්කයක් නොවන බවද කියා සිටියා.

ත්‍රස්ත මර්දන කොට්ඨාශය භාර පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා රහස් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයක ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ තහනම් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන මෙන් 2017 වසරේ ජුනි මස 7 වනදා නීතිපතිවරයා වෙත ගොනු ඉදිරිපත් කර තිබුණත් එම කටයුතු ඉටු කිරීම සඳහා මේ දක්වා නීතිපති උපදෙස් ලැබී නොමැති බවද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කර සිටි අතර එසේ නම් තව්හිත් ජමාත් සංවිධානය  සම්බන්ධයෙන් පියවර ගැනීම පැහැරහැර සිටි තවත් අය සිටින බවට කරුණු අනාවරණය වන්නේ යැයි ද සඳහන් කළා
තම සේවාදායකයා ද අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන් සාමාන්‍ය බලතල සහිත අමාත්‍යංශ ලේකම්වරයෙකු බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඔහුට කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යවරයාගේ විධානයන්ට යටත්ව බවත් ඔහුට ස්වාධීනව කටයුතු කිරීම සඳහා සුවිශේෂ බලතල කිසිවක් නොමැති බවත් කියා සිටියා.

යුද හමුදාව කැඳවීම හෝ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම වැනි කටයුතු ඉටු කිරීමට තම සේවාදායකයාට බලයක් නොමැති බවත් ඒ සඳහා බලය පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණක් බව සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකර බවට තම සේවාදායකයාට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි කියා සිටියේ.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 19 වනදා සහ 20 වනදා යන දිනට කල් තැබීමට මහාධිකරණය තීන්දු කළේය.

Sep 6, 2019 මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හදිසියේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට කරන ලද ප්‍රකාශ සජිත්,කිළි ඇතුලු එජාපය කඩන කල්ලියට එල්ල වන චෝදනාවලින් ගලවා ගැනිමේ මෙහෙයුමක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

නොවැම්බර් මාසයේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය වු බවත් පක්ෂ මහලේකම් විසින් සිය පක්ෂය අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණ්ය කළ බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දුන් බවයි ඊයේ අනාවරණය කළේ.

කෙසේවෙතත් එම හදිසී අපේක්ෂකයා ඉදිරිපත් කිරිමේ උපාය වි ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති නාමයෝජනා ලබා ගැනිම සදහා ඇති බධාව ඉවත් කිරිමේ අරමුණින් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර ජනාධිපතිවරයා ශ්‍රිලනිපයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට තින්දු කිරීමට ජනාධිපතිවරණයේන් පසුව පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කර ගැනිමද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට මුලිකව බලපෑ බවයි ශ්‍රිලනිපයේ ප්‍රබලයෙකු අප විශේෂ වාර්තාකරු හමුවේ අනාවරණය කර ඇත්තේ, ජනාධිපතිවරණයේදි ලක්ෂ 20ක් ඉක්මවා ඡන්දය ගැනිමට  SLFP යට හැකිවුවහොත් එය මහා මැතිවරණයකදි බලපෑම් කණ්ඩායමක් ලෙස භාවිත කිරිමට හැකි බව ජනපති සිරිසේන එහිදි පෙන්වා දි තිබෙන බවද ඔහු අනාවරණය කර තිබේ.

සජිත්ට අපේක්ෂකත්වය නොලැබුනහොත් මෛත්‍රී පිළ සමග එක්ව ශ්‍රිලනීපය ප්‍රමුඛ නව සන්ධානයකින් තරග වැදිමට සජිත් සහ එජාපයේ සජිත් කණ්ඩායම සුදානම් බවට පලවන වාර්තා බොරු බව ඔප්පු කිරිම මේ හරහා සිදුකිරිමට නියමිතයි.සජිත් පිළ ඊයේ කුරුණෑගල රැළිය සාර්ථකව අවසන් කල සජිත් කණ්ඩායම හෙට ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට බලපෑම් කිරීමට පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ගම්මට්ටමේ, බිම්මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයට කැඳවා තිබේ.

මේ වනවිට දැඩි තින්දුවකට පැමිණ සිටින සජිත් කණ්ඩායම අපේක්ෂකත්වය නොලැබුනහොත් පක්ෂයෙන් ඉවත් විමට තින්දුවක් ගෙන තිබේ.එම තින්දුව කිසිම ආකාරයකින් වෙනස් නොවන තින්දුවක් බව මේ වනවිට සජිත් තහවුරු කර තිබෙන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

රනිල්ගේ පොත් පෙරලිමෙන් වෙනස් වු පාර්ලිමේන්තු කුමන්ත්‍රණය…

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුලදි ආණ්ඩුව පැරදවිම සදහා ශ්‍රිලනිපයේද සහය ඇතුව දියත් කල කුමන්ත්‍රණය අග්‍රාමාත්‍යවරයාගේ දැනුම භාවිතා කරමින් ව්‍යාර්ථ කිරිමට සමත් වුනා.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වූ නියෝග කිහිපයක් ඊයේ අමාත්‍ය මලික් සමරවික්‍රම පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර අවසානයේ  අදාළ නියෝග සම්මතකිරීම සදහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට ඉදිරිපත් වූ ඉල්ලීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්හටගත් අතර විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටිමත් සමග මේ තත්ත්වය උදා වුනා.

යම් හෙයකින් අදාල පනත පාර්ලිමේන්තුවේ පරාජය වුවා නම් ලබන සතිය තුල අග්‍රාමාත්‍යවරයාට එරෙහිව යලිත් විශ්වාසභංගයක් ගෙන එමට කුමන්ත්‍රණයකර ඇති අතර ඒ වනවිටත් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 10 කුවත් සිට නැති අතර පනත ඉදිරිපත් කල සජිත් පිළේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාද සිට නෑ.
එක්සත් ජාතික පක්ෂයේ මේ වනවිට පවතින කුමන්ත්‍රණය පාවිච්චියට ගනිමින් එම විශ්වාසභංගය ජයග්‍රහණය කර ගැනිම අරමුණ වි තිබේ.

Sep 5, 2019 –  මහජන බැංකුව හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් සේමසිංහ යන නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට කෝප් කමිටුව අද නියෝග කළා.

කමිටුව විසින් එම නියෝගය සිදු කරනු ලැබූවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ කනින් රිංගා මහජන මුදල් අවභාවිත කරමින් ජෝගි නැටු මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා පිළිබඳව කරුණු විමර්ශනයටය. අදාළ සාමාන්‍යාධිකාරිවරයා විශ්‍රාම යාමෙන් අනතුරුව තවත් මාස හයක සේවා දිගුවක් ලබා දීමට කමිටුවෙන් කරන ලද ඉල්ලීමක් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණද අදාළ කෝප් කමිටු නියෝගය නොතකා එවකට විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද නොමග යවා මුදල් අමාත්‍යංශය භාර අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතා ද නොමග යවා අනුමැතියක් ලබාගෙන අදාළ නිලධාරියා මාස 6 ක කාලයක් සේවය යොදවාගෙන ඇති බව අද අනාවරණ වුණා.

එමෙන්ම ලක්ෂ 21 බැගින් වූ වැටුපක් කෝටි තුනක හිඟ වැටුපක් ඇතුළු විශාල දීමනා ප්‍රමාණයක් සහ එකක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු වාහන දෙකක් බලෙන්ම රැගෙන ගොස් ඇති බව ටද අද අනාවරණය වුණා.

ඒ අනුව ඔහු රැගෙන ගිය වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ලබා ගැනීමටත් ඔහු විසින් අයථා ලෙස ලබාගත් මුදල් නැවත වහාම අයකර ගැනීමටත් කෝප් කමිටුව නියෝග කර සිටියා.

මීට අමතරව ජනහද හඳුනන මහජන බැංකුව ඉය ආදර්ශ පාඨය පවා උල්ලංඝනය කරමින් විෂයභාර අමාත්‍යවරයාගේ ලැයිස්තුවකට සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි අද කමිටුවේදි අවධානයට ලක් වුණා. ඒ අනුව කෝප් කමිටුව නියෝග කළේ බැංකුවට බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියක් සකස් කරන ලෙසයි.

එසේම අද කමිටුව ඉදිරියේ පාලනාධිකාරිය විසින් ලබා හුන් සාක්ෂි සහ තොරතුරු අනුව මහජන බැංකුවේ අක්‍රීය ණය 2018 වසරේදී මිලියන 895.91 බව හෙලි වූවා. 2017 සිට 2018 යන තනි වසර තුළ මිලියන 482කින් අක්‍රීය ණය වැඩි විය හැකි බවද පාලනාධිකාරිය මෙහිදි පිළිගනු ලැබූවා.

mbd construction, city construction ඇතුළු ආයතන දහයක් රුපියල් මිලියන 37727 හිඟයක් බැංකුවට ඇති බවත් මෙම ණය පහසුකම් දෙසිය දහ නව වතාවක් restructure කර ඇති බවත් පාලනාධිකාරිය පිළිගත් අතර නිල් යශෝධා සමූහ ව්‍යාපාරය සතු හිඟ ණය මුදල වසර තිහක් තිස්සේ අයකර ගත නොහැකිව ඇති බවද හෙළි වුණා.

Published on: Sep 4, 2019 –එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ අපේක්ෂක්වය හොර පාරෙන් අල්ලස් මතින් ලබාගැනීම සඳහා සජිත් ප්‍රේමදාස කටයුතු කරමින් සිටිම හේතුවෙන් ඔහුට ජනාධිපතිධුර අපේක්ෂකත්වය ලබා නොදිසිටිමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පක්ෂ නායකත්වයද දැඩි තින්දුවක් ගෙන් තිබේන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරනවා.

ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට බලපෑම් කිරීමට පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් මේ වනවිට අල්ලස් ලබාදිම ආරම්භ කර තිබේන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් එතනෝල් අල්ලස් වලින් අනතුරුව ගම්මට්ටමේ, බිම්මට්ටමේ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කැඳවා අල්ලස් ලබාදීමේ තමා වෙත නම්මවා ගැනීමේ වැඩසටහනක් සජිත් විසින් සැප්තැම්බර් 07 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී සූදානම් කොට තිබේ.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ අවසන් මෙහෙයුම මේ වන විට සජිත් තම හාම්පුතුන් වන කිළී මහරාජා ඇතුළු සිරිසේනගේ ඩීල්කරුවන් වෙනුවෙන් සිදුකරමින් සිටින අතර ඊට අදාළ පිරිවැය සිය අමාත්‍යංශයෙන් සහ අදාළ හාම්පුතුන් විසින් දරමින් සිටින බවද ප්‍රසිද්ධි රහසකි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ මහලේකම්වරයා ඇති පක්ෂයේ වගකිව යුත්තන්ට හොරෙන් කැඳවා ඇති මෙම “සුහද හමුව” සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නගරාධිපතිවරුන්, උපනගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීධුර අපේක්ෂක, අපේක්ෂිකාවන්ටද කැඳවීම් කර තිබීම විශේෂිතය.

මහජන මුදල් සහ රාජ්‍ය දේපල අවභාවිතා කරමින් අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ සිදුකර ඇති මෙම දේශපාලන හමුව සඳහා වන පිරිවැය අමාත්‍යංශයෙන්ම දරන බවට තොරතුරු වාර්තාවේ. සජිත්ගේ මෙම රාජ්‍ය දේපල අවභාවිතාව සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු හඬක් නොනඟන අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ සිටින මැති ඇමතිවරුන් සිදුකරන සුළු අඩුපාඩුවක් පවා කෙන්ද කන්ද කරමින් සිදුකරන ප්‍රහාර තුලින් සජිත් සිදුකිරීමට යන දේශපාලන කුමන්ත්‍රණය මනාව පැහැදිලිය.

(එජාපය කඩන සජිත්,කීළී,සිරිසේන සහ ඇම්බැට්ටයෝ .. බලාපොරොත්තු වන්න )

සැප්තැම්බර් 07 වනදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයට එන ලෙස සජිත් යවන ලද ලිපිය…

Sep 2, 2019 – කැළණිය විහාරාධිපති ස්වාමින්වහන්සේ සිය දායක පිරිසද සමඟ ම ගෝඨා සරණ යාමේ ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ව කැළණි විහාරස්ථ දායක සභාවේ සභාපතිධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව අපි මීට පෙර පවසා සිටියෙමු.

නමුත් සමාජ මාධ්‍ය ජාලා හා කිලි මඩ නාලිකා බ්‍රේකින් ගසා කී ආකාරයට කැළණි විහාරයේ දායක සභාවෙන් ඉවත් කිරීමට දෙයක් නොතිබු  බවත් විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පැටලී ඇති දේපල ආරවුල විසඳා ගන්නා තුරු තමන් දායක සභාපතිධුරයෙන් ඉවත් වීමට කටයුතු කළේ මීට කලකට ඉහතදී බවත් අගමැතිවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟම සියලු කාරණා වල තව පැත්තක් ඇති බව පැහැදිළි වන්නට පටන් ගැනිණි

කැළණි විහාරයට ඉඩකඩම් පවා පූජා කොට ඇති පරම්පරාවකින් පැවත රනිල් වික්‍රමසිංහ කැළණියට වහ කදුරු වූයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ නිවනට යන මගේ දේපල තණ්හාව පොදි බැඳ ගෙන සිටීම බව මේ සමඟ ඒත්තු ගොස් ඇත.

ගැටළුවට මුල වලව්වකි. එය නිකම්ම වලව්වක් නොව වර්තමාන වෙළඳ පොළ වටිනාකම අනුව කොටී ප්‍රකෝටි ගණනක් වටිනා වලව්වකි. ලංකා ඉතිහාසයේ මෙතක් පහළ වී ඇති ශ්‍රේෂ්තම අධ්‍යාපඥයෙකු වන, මහා විද්වතෙක් වන හා නිදහස් සටනේද පුරෝගාමී මෙහෙවරක් සිදුකළ ඩොන් බාරෝන් ජයතිකල හෙවත් ඩී. බී ජයතිකලක ට අයත්ව තිබූ වලව්වකි.

දැනට මහනුවර ධර්මරාජ විදුහල ලෙසට ප්‍රකට ඇති පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස අවුරුදු 22 කදි පත් වන ඩී. බී ජයතිකලක රටේ බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ සංස්කෘතිය නගා සිටුවීමට කැපවීමෙන් කටයුතු කළ අතරම ඉහත සඳහන් කළ ඔහුට අයත්ව තිබූ වේරගොඩ වලව්ව සිය මරණයෙන් පසු සංස්කෘතිය ප්‍රවර්ධනය කරවිමෙ වැඩසටහනට යොදා ගන්නා ලෙස සඳහන් කොට අන්තිම කැමති පත්‍රය සකස් කොට ලක් රජය වෙත පිරිනමා තිබුණි.

එම වලව්ව රජයට පැවරීමට ඩී. බී ජයතිකලක කටයුතු කළද නැවත එම වලව්ව කැළණි විහාරයට පවරා ගැනීම කළ යුතු යැයි සංඝරක්ඛිත හිමියන්ට සිහි වන්නේ එහි පවතින වෙළඳ වටිනාකම නිසාම වන්නට ඇත. විහාරාධිපති හිමියන් මේ සඳහා යොදා ගන්නේ එවකට බුද්ධ සාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජේදාස රාජපක්ෂය. බුද්ධ සාසන අමාත්‍යවරයා ලෙස විජේදාස  වලව්ව කැළණිය විහාරයට අයත් වන ලෙස ඩී. බී ජයතිකලකගේ අන්තිම කැමති පත්‍රය වෙනස් විය යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එයට අගමැතිවරයා අනුමැතිය හා අත්සන් හිමි නොවුනු අතර අදාල කැබිනට් ප්‍රතිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ගැනීමට විජේදාස රාජපක්ෂට නොහැකි විය.

කැළණිය විහාරාධිපති හා හෙංචයි දායක සභාව රනිල් සමඟ වෛර බදින්නේ එතැන් සිටය. නමුත් උත්සහය අත නොහැරි මහාචාර්ය විහාරාධිපති හිමියෝ සිය අයිතිය ඉල්ලා අධිකරණයට ගිය අතර මියගිය පුද්ගලයෙකුගේ අන්තිම කැමති පත්‍රයක් වෙනස් කිරීමට අධිකරණය බලය නොමැති බවත් අන්තිම කැමති පත්‍රකරු සිය කැමාඑත්තෙන් සඳහන් කොට ඇති දේ වෙනස් කිරීමට අධිකරණය බලයක් නොමැති බවත් පවසමින් අදාළ නඩුව නිශ්ප්‍රබ කිරීමට කටයුතු කොටඇත.

Published on: Sep 1, 2019- කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට අද දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවු බවට කිළීගේ සක්කිලී මිඩියා හරහා කරන ලද ප්‍රකාශයන් අසත්‍ය බව අනාවරණය වි තිබේ.

ඒ අද පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තින්දුව ගත් බවයි කිළීගේ සක්කිලී මිඩියා සදහන් කර තිබුනේ.

නමුත් කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධුරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.

කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම්දීම කලින්ම කළේ යැයි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

කුමන පසුබිම්ක් යටතේ වුවද ඊයේ (01)  දිනයේ පැවති දායක සභා රැස්වීම්ට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය ඉහත කරුණු සඳහන් කළේ කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට පළවූ වාර්තා සහ සමාජ ජාලා පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

දේපොළ සම්බන්ධයෙන් කැලණි රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලකින්ම නිදොස් වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ දී ම පැහැදිලිව ම දැනුම් දුන් බව ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් කියා සිටියේය.

හොරු හොරු සරණ යෑම……

දේපල චෝදනා එල්ලවි තිබේන කැලණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පසුගියදා පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය කොල්ල කෑ නීළකාස හොරෙකු,මිනීමරුවෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහත් හරසරින් පිළිගත් අතර සමස්ත මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවට සැකය, අවිශ්වාසය හා භීතිය පහකර ගනිමින් ඉදිරියට යාමට උචිත අවස්ථාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ නිර්මාණය වී ඇති බවට වහසි බස පවා පැවසු අයෙකි.

Aug 30, 2019 – විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ එම යෝජනාව ගෙන එන්නේ නම් තම සහයද ඒ සඳහා හිමි වන බව අගමැතිවරයා පවසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ සංශෝධනයක් අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශවයෙන් ගෙනෙන ලෙසත් ඊට සිය පක්ෂයේ සහය ලබා දිය හැකි බවත්ය.

රනිල් වික්‍රමසිංහ ජවිපෙට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගෝස්තු 26 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහය ඉල්ලා සිටීමෙන් පසුවය. එම හමුවට අගමැතිවරයා සමග අමාත්‍ය රවී කරුණානායකද සහභාගි වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ එකතුවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තීරණය කළොත් පමණක් ජවිපෙ එයට සහයෝගය දක්වන බවයි. එසේ නැතුව කතාන්දරවලට රැවටී අනුන්ගේ න්‍යාය පත්‍රවලට අසුවීමට ජවිපෙ බලාපොරොත්තු නොවන බවද ඔහු පවසා සිටියා.

එසේම ජනතා විමුක්ති පෙරමුණ මේ වෙද්දී ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළා.

Aug 29, 2019  – 2015  මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂට හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව හෙට (30) දිනයේදි එක්සත් ජාතික පක්ෂ විනය කමිටුව හමුවේ පෙනි සිටින ලෙස එම මන්ත්‍රිවරුන් දෙදෙනාට එජාපයේ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානයක්කාර දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනය කිරීමත් පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීමත් හේතුවෙනි මෙම මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බව යි පක්ෂය තීරණය කොට ඇත්තේ.

මේඅතර ජනාධිපතිවරණයක් කැදවීමට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා නොමැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර පවසනවා.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ එජාප පක්ෂ ව්‍යවස්ථාවේ 9 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් කැදවීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් නාමයෝජනා කමිටුවක් පත්කිරීමත් එම කමිටුව හරහා අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීමත් සිදුකළ යුතු බවයි.

Aug 29, 2019  – විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන සාකච්ඡාවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අමාත්‍ය රවි කරුණායක මහතා පවසා සිටියා.

ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමට සහය ලබා ගැනීමට අගමැතිවරයා ජනාධිපතිවරයා හමු වූ බවට වන වාර්තා සත්‍ය වුවද එම හමුවීම සිදු වූයේ හුදෙක්ම ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බවයි කරුණානායක අමාත්‍යවරයා පවසා සිටියේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට කළ ආරාධනාවක් අනුව තමන් අගමැතිවරයා සමඟ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිවරයා හා අදාළ සාකච්ඡාවට එක් වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට තමන්ට සහය වන ලෙස එහිදි ජනාධිපති සිරිසේන විසින් අගමැති වික්‍රමසිංහයන්ගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය රවි කරුණානායක සඳහන් කළා.

මේ වන විට එක්සත් ජාතික පක්ෂය ද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණ ඡන්ද සටනට අවතීර්ණව සිටින බවත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට නම් අනිවාර්යයෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය අවශ්‍ය බව ජනාධිපතිවරයාට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා විසින් පැවසු බවද අමාත්‍ය කරුණානායක අනාවරණය කර සිටියා.

ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ වල නායකයන්ගේ සහය ද ඒ සඳහා අවශ්‍ය බවත් අගමැතිවරයා විසින් මෙහිදි පෙන්වා දීතිබෙනවා .

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා අවශ්‍ය නම් පක්ෂ නායකයන්ගේ හමුවක් කැඳවීමටද තමන් සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදි පවසා තිබෙනවා .

 

Published on: Aug 28, 2019 – කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති වන ආර්. රාජා මහේන්ද්‍රන් හෙවත් අප හොදින් හදුනන කිලි මහරාජා මුල සිටම මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිධූරයට පත්වීමට මාර්ගය සකසා ඇති බවත් 2015 සිට සිරිසේන සමීපයේ සිටිමින් ජනාධිපතිධූරය හසුරුවා ඇති බවටත් මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා.

සිරිසේන කෘතගුණ දැක්වීමට අවශ්‍ය ප්‍රාග්ධනස්අ සැපයීම කිලි රාජාමහේන්ද්‍රන් ඉතා කඩිනමින් සිදු කළ අතරම රාජපක්ෂ රෙජිමයට පක්ෂපාතිත්වය දක්වමින් අනෙකුත් සියළුම මාධ්‍ය විසින් සිරිසේන වාරණය කොට තිබියදී සිරස මාධ්‍ය ජාලය මෙහෙයවා ඉතාමත් ප්‍රවේසම් සහගතව කිලි මහරාජා විසින් සිරිසේනගේ අපේක්ෂකත්වය ධෛර්යමත් කිරීමට වග බලාගෙන ඇත.

මෛත්‍රිපාල සිරිසේන සිය ජනාධිපතිධූරයේ දිවුරුම් දී පැය කිහිපයක් ගත වීමට ප්‍රථමව කිලි මහරාජා විසින් එක්සත් ජාතික පක්ෂය තුළ අසාරදේශපාලඥයෙකු ලෙස හංවඩු ගැසී සිටි ශිරාල් ලක්තිලක ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස පත් කිරීමට සමත්විය.

එසේම මැතිවරණය අවසන් වූ වහාම පැවති උදෑසන ආහාර මේසය සහිත සාකච්ඡාවටද ශිරාල් ලක්තිලක සහභාගි කර ගත යුතු බවට ජනාධිපති සිරිසේනට ඒත්තු ගැන්වීමට ද කිලි සමත් විය. ඉතා බරපතළ ගණයේ රනිල් විරෝධියෙකු වන ශිරාල් අවුරුදු 5 ක් පුරා රටේ පාලනය අස්ථාවර කරමින් රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති සිරිසේන අතර සීතල යුද්ධයක් නිර්මාණය කිරීමට කටයුතු කළ අතරම 2018 ඔක්තෝබර් මස 26 වෙනි දින ජනාධිපති සිරිසේන ආරම්භ කල දේශපාලන කුමණ්ත්‍රණයට සහය දක්වමින් ජනාධිපති සිරිසේන වෙත පොහොර සැපයීමද කොට ඇත.

ලක්තිලක ජනාධිපති ලේකම් කාර්‍යාලය තුළ සිය පැවතීම ස්ථාවර කරගත් වහාම කිලි මහරාජාගේ ඊලඟ කාර්යය වූයේ සිරිස මාධ්‍ය ජාලයේ සේවය කළ සිය සේවකයන් හා සිරිස විසින් මෙහෙයවන පන්දමලා සහ නිලධාරින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලතල වලට පත්කිරීමයි.

අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව 2018 වසරේදි ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම්ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ කිලිමහරාජා විසින් කැපිටල් මහරාජා ව්‍යාපාරයට විශ්වාසවන්ත නිලධාරින්ගේ ලැයිස්තුවක් ජනාධිපති සිරිසේන වෙත ඉදිරිපත් කොට ඇති අතර සිරිසේන විසින් ඔස්ටින්ගේ අනුප්‍රාප්තිකයා ලෙස එම ලැයිස්තුවේ ඇතුලත් නාමයක් වූ වර්තමාන ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න තෝරා ගෙන ඇත.

මහරාජා සමූහ ව්‍යාපාරයේ පෞද්ගලික විදුලි සැපයීම්කරුවන්ට වාසි වන ලෙස ජාතික විදුලි බල පද්ධතියට අගනා මෙගා වෝට් ගණනක විදුලිය සැපයීමක් සිදු කළ හැකියාව තුබූ සාම්පූර් ගල් අගුරු විදුලි බලාගාරය අහෝසි කිරීමේ සිට ඇමරිකානු ඩොලර් මිලියන 135 ක රුසියානු මුර සංචාර යාත්‍රාව මිලදී ගැනීම වළක්වා ගැනීම, මතභේදාත්මක ලෙස මහින්ද රාජපක්ෂගේ ඉතා සමීපතමයෙක් වූ ආචාර්ය දයාන් ජයතිලක රුසියානු සමූහාණ්ඩුවේ තනාපති ලෙස පත් කිරීම පිටුපස සිරස මාධ්‍ය ජාලය සිටින බව නම් රහසක් නොවේ.

සිරස සහ කැපිටල් මහරාජා ආයතනය සිරිසේනගේ ජනාධිපතිධූරය සාධනීය ලෙස අත්පත් කරගනු ලැබීය. එහි ප්‍රතිඵලය ලෙස අවම වශයෙන් සිරිසේන ජනාධිපතිගේ තීරණ ගැනීමේ වපසරිය තුළ සිට හෝ කිලිමහරාජා ප්‍රායෝගික වශයෙන් රට පාලනය කරනු ලබයි.

සිරිසේනගේ ධූර කාලය අවසන් විමට තව මාස පහක පමණ කාලයක් තිබියදි ප්‍රධාන පක්ෂ විසින් නැවත තරග කිරීමට සිරිසේන පත් නොකරගතහොත් ජනාධිපති සිරිසේනට ගේ නැවත ත් විමක් අපේක්ෂා කළ නොහැකි පසුබිමක කිලි මහරාජා සහ කැපිටල් සමූහ ව්‍යාපාරය රාජ්‍ය නායකයා ලෙස පත් විය හැකි අය කෙරෙහි සිය අවධානය යොමු කර ඇති අතර ඔවුන්ගේ කැමැත්තට වැඩ කළ හැකි පුද්ගලයෙකු සමඟ බැදීමක් ඇති කර ගැනීමට වෙහෙසෙමින් සිටි.

පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරියට එරෙහිව සිරස මාධ්‍ය ජාලයන් විසින් මෑතකදී සිදුකරන ලද දරුණු හා නිරන්තර ප්‍රහාරයන් පිළිබඳව අධ්‍යයනය කළ යුත්තේ මෙම පසුබිම තුළ ය.

ජනපතිගේ අසාර්ථක ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රයේ කිලි රාජමහේන්ද්‍රන්ගේ භූමිකාව,

කිලිගේ ලංසු තැබීම හමුවේ මාස ගණනාවක් සිරිසේන ජනාධිපති සහිත් ප්‍රේමදාස වෙත අගමැතිධූරය පිරිනැමීමට උත්සහ දරනු ලැබීය. ඒ සෑම අවස්ථාවකදීම සිය පක්ෂ නායකයාට වංචා නොකීරිමේ පරමාර්ථය ඇතිව සිටි සජිත් ප්‍රේමදාස එයට එකඟ නොවීය. ප්‍රේමදාස අකමැතිවූයේ පක්ෂ නායකත්වයෙන් හා අගමැතිධූරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම සඳහා වන කිලි මහරාජාගේ මනා ලෙස සැළසුම් කළ සැළසුමට එකඟ වීමටයි. යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ සිය මාර්ගයෙන් ඉවත් කර ගැනීමට කිලීට හැකියාව ලැබුණහොත් රටේ ප්‍රධාන පක්ෂ දෙකම තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට කිලිට හැකිවනු ඇත.

සජිත් ප්‍රේමදාස විසින් දිගින් දිගටම අගමැතිධූරය භාර ගැනීම ප්‍රතිකේෂ්ප කිරීම තුළ මහින්ද රාජපක්ෂ මෙම සෙල්ලමට ගෙන ඒමේ හොඳම අවස්ථාව කිලි විසින් තීරණය කරනු ලැබීය. රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම පිළිබඳව බලාපොරොත්තු සුන්වූ තත්ත්වයට පත් ව සිටි සිරිසේන ජනාධිපතිවරයා වෙත කිලි විසින් ඒත්තු ගැන්වූයේ රනිල් වෙනුවට ඇති අනෙක් හොඳ ම විසදුම වන්නේ මහින්ද රාජපක්ෂ නැවත අගමැති ලෙස බලයට ගෙන ඒම බවයි. සිරිසේන ජනාධිපති සමඟ රහස් සාකච්ඡා පවත්වමින් මේ වන විට කිලි මහරාජා 2018 ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණයේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක බවට පත් ව සිටියා. පත්ව සිටින අගමැතිවරයා ඉවත් කොට මිට අවුරුදු පෙර තමා සමඟ දේශපාලන වශයෙන් සටන් කළ තම දේශපාලන ප්‍රතිවාදියා පත් කීරීමට කවුරුන් විසින් සිරිසේනට උපදෙස් ලබා දුන්නාද යන්න දේශපාලනවිචාරකයන් සහ විශ්ලේෂකයන් විසින් මාස ගණනාවක් තිස්සේ විවාදයට පවා ලක් කොට තිබුණි.

මේ වසර පුරාම රූකඩ ස්වාමියා ලෙස ජනාධිපති සිරිසේන ගේ ජනාධිපතිධූරය මෙහෙයවූ පුද්ගලයාම ව්‍යාකූල හා මංමුලා කරමින් ජනාධිපතිවරයාව ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණය කරා මෙහෙයවූ බවට වන පිළිතුර මේ වන විට විද්‍යාමාන වී තිබේ.

නැවත සලකා බැලීමේදී, මහින්ද රාජපක්ෂ රාත්‍රී ආවරණය යටතේ අගමැති ලෙස දිවුරුම් දීමට 26 වන දිනය තෝරා ගැනීමට ගත් තීරණය පැහැදිලිය. කිලිමහරාජා යනෞ ග්‍රහලෝක චලනයේ සහ ජෝතිෂ්‍යයේ අන්ධ භක්තිකයෙකු වන අතර ඔහු ජනාධිපති සිරිසේන ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණ රාත්‍රිය ලෙස තෝරා ගනු ලැබූවේ හැමවිටම අංක 8 මහින්ද රාජපක්ෂට සුභදායි අංකයක් වන බැවිනි. ඉතිහාසය පුරාම මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජිවිතයේ වැදගත් සන්ධිස්ථාන සිදු වී ඇති දිනයන් ගත හොත් සියල්ල 8 ඉලක්කමට සම්බන්ධ බව පෙනි යනු ඇත.

2005 ජනාධිපතිවරණය පැවතියේ නොවැම්බර් 17 වෙනිදාය.(1+7 = 8) 2010 ජනාධිපතිවරණය පැවතියේ ජනවාරි 26 වෙනිදාය. ( 2+6 = 8) 2015 ජනාධිපතිවරණය පැවතියේ ජනවාරි 8 වෙනිදාය. එසේම 2010 පාර්ලිමේන්තු මැතිවරණය පැවතියේ අප්‍රේල් 8 වෙනිදාය.

නමුත් සියලු නක්ෂත්‍රකරුවන්ගේ සහ මාධ්‍ය මොන්ගල්වරුන්ගේ උත්සහය ව්‍යර්ත වූයේ ජනාධිපති විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයට විරුද්ධ වීමට කතානායක කරු ජයසූරිය එක මතයක සිට ගත් තීරණය හේතුවෙනි. ඔහුගේ හිසට අගල් කිහිපයක ඉහළින් පොත් සහ පුටු පියාසර කරමින් සිටින විට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ලෙස පත් කළ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසා එය සම්මත කර ගැනීමට කතා නායක ගත් තීරණය සමඟ රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විය. කුමන්ත්‍රණය පරාජය කිරීම කරු ජයසූරිය ක්‍රියා කිරීම නිසාම තවදුරටත් කුමණ්ත්‍රණයේ උපත සිදුවූ කැපිටල් මහරාජා ව්‍යාපාරයේ ඔහුට මිතුරන් නොවේ.

කරූට එරෙහි කිළිගේ තුවක්කු…

කිලි මහරාජා කිසිදිනක කරු ජයසුරියට සමාව ලබා දී නොමැති අතර සජිත් පප්‍රේමදාසට විකල්පයක් ලෙස ජේෂ්ඨ දේශපාලකයෙකු වු කරු ජයසූරියගේ නාමය ඉදිරිපත් වීමත් සමඟම කිලි සිය තුවක්කු කරුට එරෙහිව පුහුණු කිරීම ආරම්භ කරනු ලැබීය.

පසුගිය සතියේ කිලි මහරාජා විසින් මධ්‍යම පළාත් හිටපු මහ ඇමති මෛත්‍රි ගුණරතනට කරු ජයසූරියට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන ලෙසට බල කරනු ලැබීය. එම පහර දීම සිදු කිරීමට මෛත්‍රි මැලිකමක් දක්වා ඇත්තේ එමගින් එක්සත් ජාතික පක්ෂය සමඟ වන සිය සම්බන්ධතාවය තව තවත් ගිනි තැබීමකට් ලක් විය හැකි බැවිනි. නමුත් මෛත්‍රි විසින් නියෝග පිළි නොපදින්නේ නම් යලි කිසි දිනක රූපවාහිනියක පෙනි සිටීමට ඔහුට අවස්ථාව අහිමි වන බව දක්වා කිලි ගුණරත්න වෙත තර්ජනය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රි ගුණරත්න ප්‍රසිද්ධ රූපවාහිනි විවාදයකට එන ලෙස කරු ජයිසූරිය වෙත අභියෝග කරනු ලැබීය. ඒ සිරස කැමරා ශිල්පියෙකු විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

දේශපාලන බලයේ ලීවර පාලනය කිරීම කිලී රාජමහේන්ද්‍රන්ගේ ජීවිත සිහිනයයි. සෑම විටම හුදෙකලා, සෑම විටම හැසිරවිය හැකි සහ මතභේදාත්මක දේශපාලන සිදුවීම් පිටුපස සැඟවුණු අතක් ඇති සිල්ක් අත්වැසුම් කරුවෙකු ලෙස ඔහු කටයුතු කරයි. ඔහුගේ වඩාත් කැමති ක්‍රියාමාර්ගය වන්නේ දේශපාලකයන් උපාමාරු දැමීමට හා ඔහුගේ අභිමතය පරිදි නැමීමට ඉත්තන් ලෙස ඔවුන්ව යොදා ගැනීමයි. අවසනාවට ඔහුගේ දේශපාලන කුමන්ත්‍රණ කිහිපයක් මේ වන විට සාර්ථක වී ඇත. නමුත් ශාපයක් ලෙස සිරස විසින් මෙහෙයවන දේශපාලකයින් ඉඳහිට හොද වැඩ කරති. එම ලැයිස්තුව දිගය, සරත් ෆොන්සේකා, ටිරාන් අලස්, බුද්ද්ක පතිරණ සුසිල් කිදෙල්පිටිය සහ සිරිසේන ජනාධිපති. නමුත් මතක තබා ගත යුත්තේ සිරිසේනට ජනාධිපතිධූරය හිමිවන්නේ කිලි මහරාජාගේ සහයෝගය නිසා නොව සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සමාජ එකමුතු වී සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීම කළ බැවිනි.

සිරිසේන ජනාධිපති ධුරය රිසි සේ කොල්ල කා හැකි තාක් කල් භුක්ති විඳි කිලී රාජමහේන්ද්‍රන් තමාට සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි ජනාධිපතිවරයෙකු පත් කිරීමට සූදානම් ය. ඒ සජිත් ප්‍රේමදාස, ඔහු විශ්වාස කරන්නේ සජිත් ප්‍රේමදාස යනු රන් පාත්තයා බවය. ඔහුගේ දක්ෂ ලුතිනන් ටිරාන් ඇලස් සමඟ, කිලී මහාරාජා, ප්‍රේමදාස ජනාධිපතිධුරය භාර ගැනීමේ සැලසුමට අනුව ඕනෑම අයෙකු විනාශ කිරීමට උත්සාහ කරනු ඇත. ප්‍රසාද දීමනාවක් ලෙස, ප්‍රේමදාස නායකත්වය ගන්නා විට, කැපිටල් මහාරාජා ප්‍රධානියා රටේ තනි විශාලතම දේශපාලන පක්ෂයට හිමිකම් කියනු ඇත. අවසානයේ ලෝකය කිලීගේ බල්ලන් වනු ඇත.

Aug 23, 2019 – ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනාගත දේශපාලන ක්‍රියාවලිය සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හා ජනාධිපතිවරණය වෙනුවෙන් වන සූදානම් පිළිබඳව මෙහිදි චන්ද්‍රිකා හා සිරිසේන ජනාධිපති අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට සහය පලකරමින් ජනාධිපති සිරිසේන විසින් හොර පාරෙන් සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳව හිටපු ජනපතිනිය මෙහිදි  සිරිසේනගෙන් ප්‍රශ්න කොට ඇති බවත් වාර්තා වෙනවා.

එසේම සජිත් සහය දැක්වීම හෝ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහය දැක්වීම ජනාධිපති සිරිසේන විසින් වහාම නතර කළ යුතු බවයි චන්ද්‍රිකා කුමාරතුංග මෙහෙදි දැඩිව අවධාරණය කර ඇත්තේ.

ජනාධිපති සිරිසේනගේ අනාගත දේශපාලන ස්ථාවරත්වය පිළිබඳව තමා වගකියන බවත් නමුත් එසේ සිදුවන්නේ සජිත්, ගෝඨා අතහැර තම බසට අවනත වුවහොත් පමණක් බවත් හිටපු ජනාධිපතිනිය සිරිසේන ජනාධිපති වෙත පවසා තිබෙනවා.

හිටපු ජනාධිපතිනියගේ ප්‍රකාශය ට සිරිසේන ජනාධිපති විරුද්ධ නොවු බවත් හිස වනා එකඟත්වය පල කොට ඇති බවත් වාර්තා වනවා.

 

Top