ඔබට සුළගේ දිශාව වෙනස්කල නොහැකි නමුත් රුවලේ පිහිටීම වෙනස් කොට ගමනාන්තය දක්වා යා හැකි බවට කියමනක් ඇත. ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති මහින්ද රාජපක්ෂටද දැන් සිදුව ඇත්තේ පෙර පරිද්දෙන්ම කටයුතු කිරීමය. මෙවර මහ මැතිවරණයට ආසන 196ක් සදහා දේශපාලන පක්ෂ 22 සහ ස්වාධීන කණ්ඩායම් 20කින් 6,151 තරග බිමේය. ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 150කි.

ශ‍්‍රිලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසන පරිදි ඉදිරි මහ මැතිවරණයේදී ඔහු මධ්‍යස්ථය. එය බෙහෙවින් සතුටට හේතුවන කරුණකි. ජනාධිපති විජේතුංග 1994 මහ මැතිවරණයේදීද චන්ද්‍රීකා කුමාරතුංග ගේ නායකත්වයේ ශ‍්‍රිලනිප තර`ග කරද්දී කටයුතු කළේ මධ්‍යස්ථවය. වසර 17කට පසු එක්සත් ජාතික පක්ෂය පරදවමින් පොදුජන එක්සත් පෙරමුණට රජයක් පිහිටුවීමට හැකිවූයේද ජනාධිපති විජේතුංගගේ මධ්‍යස්ථභාවයට පින් සිදුවන්නටය. ජනාධිපති විජේතුංග 1994 මහ මැතිවරණයේදී එජාපයට වැඩ කළේ නැත. රුස්වීම් වලට ගියේද නැත. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1988 දෙසැම්බර් පැවති ජනාධිපතිවරණයේදී එජාපයට වැඩ කළේ නැත. පේ‍්‍රමදාසගේ ජය වෙනුවෙන් වේදිකාවට නැග්ගේ මරදානේ ටවර් රගහල ඉදිරිපිට රුස්වීමේදී පමණි. එමෙන්ම 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජය සහතික කිරීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රීකා කුමාරතුංග රැස්වීම්වලට නැග්ගේද නැත. ශ‍්‍රිලනිප කාර්යාලයේ දොර පවා මහින්දට වසා තිබිණි. ජනාධිපති සිරිසේන මෙවර සන්ධාන අපේක්ෂකයින්ට සහාය නොදැක්වීම අරුමයක් නොවන්නේ එබැවිනි. එහෙත් ශ‍්‍රිලනිප නායකයා වශයෙන් තවදුරටත් සිටීම සදාචාරාත්මක නොවේ.

ජනාධිපති සිරිසේන ප‍්‍රකාශ කර ඇති අන්දමට ශ‍්‍රීලනිපයේ බලය සියයට 99ක් දැන් ඇත්තේ මහින්ද රාජපක්ෂ අතේය. යහපාලනය යනු සියයට 99කගේ අප‍්‍රසාදය මැද ශ‍්‍රිලනිප නායකත්වයේ බලෙන් රැදී සිටීම නොවේ. මේ අනුව බලන විට ශ‍්‍රීලනිප නායකයා වශයෙන් ජනාධිපති සිරිසේන කටයුතු කරන්නේ සියයට 1ක් සමගිනි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යෝග්‍ය නොවේ. මෛත‍්‍රීපාලගේ කථාව ජාතිය අමතා කල ස්වරූපයෙන් කල කථාවකි. කථාව නොගැලපෙන්නේ එවැනි ස්ථානයකටය. අදහස් දැක්වීමට ඔහුට ඇති අයිතියට ගරුකල යුතු අතර එමගින් ගම්‍ය වූයේ හංස විලාපයකි. එනම් දේශපාලනික අනාථවීමක් බැහැරකර එක් පිලකට සෘජුව හෝ වක‍්‍රව අනුගත වීමට ඔහුට ඇති අවශ්‍යතාවයයි. එහෙත් එය ශ‍්‍රිලනිප වැනි දේශපාලන පක්ෂයකට කැප නැත. මෛත‍්‍රීපාලගේ ප‍්‍රකාශයෙන් සිදුවූයේ මහින්ද රාජපක්ෂ ප‍්‍රතිරූපය තව තවත් ශ‍්‍රිලනිප පාක්ෂිකයින් තුළ තහවුරුවී මෙවර මහ මැතිවරණයට සන්ධානයෙන් තර`ග කරන මෛත‍්‍රී රනිල් ආණ්ඩුවේ ඇමතිධූර භාරගත් පිරිස දේශපාලන කනත්තට තල්ලූ වීමේ ඉඩ ප‍්‍රස්ථා විවරවීමකි.

නියෝජ්‍ය ඇමතිවරුන් වූ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න සහ එරික් වීරවර්ධන ජුලි 16 බ‍්‍රහස්පතින්දා සිය නියෝජ්‍ය ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වූ බව නිවේදනය කළේය. ඒ තවදුරටත් එවැනි තනතුරුවල රැදී සිටියහොත් ශ‍්‍රිලනිප පාක්ෂිකයින් ඔවුන් දේශපාලනයේ සිටිය යුතුද යන්න මනාපයෙන් තීරණය කරන බැවිනි. පාර්ලිමේන්තුව විසිරූ පසු බලාත්මක වන්නේ ඇමති පදවි පමණි. එබැවින් නියෝජ්‍ය ඇමතිවරු අස්වීමටද හේතුවක් පැන නොනගී.

මහින්ද නොව සන්ධනයෙන් අගමැති කරන්නට ජේෂ්ඨයින් ඕනෑතරම් ඉන්නාවා යැයි ශ‍්‍රිලනිප නායක මෛත‍්‍රී කියනවා ඇසිණි. දි.මු සහ රත්නසිරි හැටේ දශකය පාර්ලිමේන්තුව නියෝජනය කළේය. මහින්ද සහ බැසිල් රාජපක්ෂද කෑගල්ලේ ආචාර්ය ජගත් බාලසූරියද 1977 මහ මැතිවරණයෙන් ශ‍්‍රිලනිපයෙන් තරග කල අපේක්ෂකයින්ය. මහින්ද, අතාවුද, වාසුදේව 1970 මහ මැතිවරණයෙන් වමේ පක්ෂ වලින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. මේ අනුව මෙවර මහ මැතිවරණයට තරග කරන පාර්ලිමේන්තුවට පිවිසි ශ‍්‍රිලනිප ජේෂ්ඨතමයා වන්නේ මහින්ද රාජපක්ෂ බව අවිවාදිතය.

මෛත‍්‍රීගේ විශේෂ ප‍්‍රකාශයෙන් සිදුවූයේ කොන්ත‍්‍රාත්තුවක්යැයි සැකයකි. ඉකුත් 1982 ජනාධිපතිවරණයේදී ශ‍්‍රිලනිප අපේ්ක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවට එරෙහිව අනුර බණ්ඩාරනායක කියා සිටියේ කොබ්බෑකඩුව කරන්නේ කොන්ත‍්‍රාත්තුවක් බවත් එය නිමවූ පසු ඉවත්වීමට ඔහුට සිදුවන බවත්ය. ලසසප නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා කියා සිටියේ ශ‍්‍රිලනිප නායිකාවගේ ප‍්‍රජා අයිතිය අහිමිවී ඇති බැවින් ශ‍්‍රිලනිප ජයග‍්‍රහණය කලද එය නීත්‍යානුකූල නොවන බවය. ඉතිහාසය නොදන්නේනම් බොහෝ දෙනාගේ ගොදුරු බවට මිිනිසුන් පත්වනු ඇත.

මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කර තිබියදී එහි ප‍්‍රධානම තරග පාර්ශවකරුවෙකු වන සන්ධානයට සහ එහි මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියාට එරෙහිව රටේ ජනාධිපතිවරයා විසින් සිදුකල ප‍්‍රකාශය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ඉතා බිහිසුණුු ප‍්‍රවණතාවයකි. ජනමතය ප‍්‍රකාශයට පත්වන විවිධ මාර්ගයන් සහ මාධ්‍යයන් මගින් අකා මකා වනසා දැමීමට විෂම උපක‍්‍රම භාවිතා කිරීම යහ පාලනයද?

ශ‍්‍රිලනිප නායක මෛත‍්‍රීපාලගේ විශේෂ ප‍්‍රකාශය සිදුවූ හොද දෙයක් නම් රුපියල් කෝටි 5,900ක අලාභයක් සිදුවූ මහ බැංකුවේ මගඩියට සම්බන්ධ යැයි චෝදනා ලැබූ එහි අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කරන ලෙසට අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කල බවය. එම ආර්ථික ගණුදෙනුවෙන් වූ පාඩුවෙන් ගාල්ල සිට මාතර දක්වා වැනි අධිවේගි මාර්ග 3ක් සැදිය හැක. අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය සදහා රජය වාර්ෂික වියදම් කරන්නේද රුපියල් කෝටි 5,300කි. මෙය හෙජින් තෙල් ගිවිසුමෙන් සිදුවූ පාඩුව මෙන් 5 ගුණයකි. කෝප් වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීමටද දැන් අධිකරණ වාරණයකි. තොරතුරු දැන ගැනීමේ අයිිතිය පිිළිබදව ඉහළින් පෙනී සිටි යහපාලන ආණ්ඩුව එයට වැට බදින අයුරු අපූරුය. දින 100 වැඩසටහන යටතේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට තිබූ තොරතුරු දැන ගැනීමේ පනත යට ගැසුවේ මෙවැනි කරුණු කාරනා නිසා වන්නට ඇත. සමස්ථ ප‍්‍රකාශයෙන් මෛත‍්‍රී ගොඩ නොගියද එය එජාපය, ජවිපෙ ඇතුළු කණ්ඩායම්වලට උද්තේජනයක් සැපයුවාට සැක නැත. මහින්ද ආගමනයත් සමගම එජාපය වියරුවෙන්ය. ජවිපෙ කරන්නේ එක ගෙයි කෑමය. හක් ගෙඩිය ගිලී දියමන්තිය මතුවුවද එහි ඔපය නැත. මහත්තයා, නෝනා සහ හිටපු බෑනා සමග ෆොන්සේකාට ගිනි සිළුව රැගෙන තවදුරටත් දිවිය නොහැක.

එම විශේෂ ප‍්‍රකාශය මහින්ද රාජපක්ෂ ඇතූළු එක්සත් ජනතා නිදහස් සන්ධානයට වෙස් වලාගත් ආශිර්වාදයකි. දැන් සියල්ල උවමනා තැනට යෙදේ. අහසේ සිට දෙවියෝ දෙවි පණිවිඩ දෙති. නියත ජයග‍්‍රහණයක විවරණ උදා වෙමින් පවතී.

වී අර්බුදයක් ඇත. අපේ‍්‍රල් මාසයේ ගොවියා දුන් වී වලට තවමත් සල්ලි නැත. බඩ ඉරිගු මාෆියාව නිසා ජයගත් ඉලක්කයන් ආපස්සට කැරකෙමින් සිටී. තේ දල්ලට නිසි මිලක් නොතිබීම නිසා කුඩා තේවතු හිමියන් ලක්ෂ 4කගේ පවුල්වල සාමාජිකයන් ලක්ෂ 12කට දුෂ්කරතාය. චීනයට ගැරහීමේ අනිසි විපාකයක් ලෙස රත්නපුරේ මැණික් වෙළෙදාමට කණකොකා හැඩවී ඇත. රබර් මිල සහතික මිලට වඩා බොහෝ සෙයින් අඩුය. පොල් තෙල් මිල පාලනය ඉවත් කිරීමෙන් පොල් වතු හිමියෝ කබලෙන් ලිපටය. දියර කිරි ලීටරයේ සහතික මිල රුපියල් 70ක් වූවද දේශීය කිරි ගොවියාට නිසි මිලක් නැත.

හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසිය බදුවූ පොලිස් අපරාධ මූල්‍ය විමර්ශන ඒකකය මගින් මෙවර මැතිවරණයට තරග කරන සන්ධාන මැතිවරණ අපෙක්ෂකයින් 11කගෙන් පමණ දැනටමත් ප‍්‍රශ්න කරමින් සිටී. එය ඔවුන්ගේ මැතිවරණ කටයුතුවලට බාධා පමුණන්නකි. චෝදනා ඇත්නම් ඒවා ගොනුකර අධිකරණයට නඩු පැවරිය යුතුය. රාජ්‍ය සේවයට සම්බන්ධ නිළධාරින් 807 දෙනෙකු පමණ පොලිස් විමර්ශන ඒකකයෙන් ප‍්‍රශ්න කිරීම් වලට ලක්කර ඇති බව කියති. කිසිම උසාවියක චෝදනා නොමැතිව මාධ්‍ය සංදර්ශන මගින් සන්ධාන නායකයින්ට අභූත චෝදනා නගති.

හිටපු අගමැති දි.මූ ජයරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කන්ටේනරයක් නිදහස් කරගැනීමට ලියූ ලිපියක් පිළිබදව හ`ඩක් මතු කලද යහපාලන ආණ්ඩුවේ අතුරලියේ රතන හිමිගේ ලේකම්වරයෙක් බව කියූ අයෙකු මත්ද්‍රව්‍ය අළෙවි කල බවට පොලිසිය කල චෝදනාව යහපාලන පෙරමුණට එක්වූ පසු දැන් සුළගේ ගසාගෙන ගොස්ය. යහපාලන අතුරු අයවැයෙන් පරිසර හිතකාමි හයිබීඞ් වාහනවල බදු වැඩි කළේය. ඇන්ජින් ධාරිතාවය 1000ට අඩු ඉන්දිය වාහන සදහා බදු අඩු කළේය. ඉන් උපරිම වාසිය දිනා ගත්තේ ඉන්දීය වාහන නිෂ්පාදිකයින්ටය. දේශීය වාහන එකලැස් කිරීමේ කර්මාන්තයට කණකොකා හැඩවී ඇත. ඉන් සෘජුව සහ වක‍්‍රව යැපෙන පවුල් 20,000ක පමණ පිරිසක් අද අන්ත අසරණය.

කොටි තස්ත‍්‍රවාදයට එරෙහිව සිදුකල යුද්ධයේදී ආරක්ෂක අංශවල පිරිස් 26,701 ඝාතනය වූ අතර 60,000කට ආසන්න පිරිසක් අනතුරට ලක්වූහ. ඉන් 15,000ක් පමණ සම්පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ අය වේ. මොවුනට අද ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවට චෝදනාවකි. 2015 වසර තුළ කොටස් වෙළෙද පොළ සියයට 27.7කින් පහත වැටී ඇත. වසර 2015 තුළ සමාගම්වල වෙළෙද පොළ වටිනාකම(වෙළදපොළ ප‍්‍රාග්ධනීකරණය) රුපියල් බිලියන 138කින් පහත වැටී ඇත. මේවාට හේතු ආර්ථිකයේ මගඩි සහ ජිල්මාට්ය.
ආදී කාලයේ ජම්බු කා රස වැටුණු කිඹුලියක් ජම්බු ගසේ සිටි වදුරාගේ හදවත ජම්බුවලටත් වඩා රස ඇතැයි සිතා වදුරා මරා කන්නට සූදානම් විය. එවිට ව`දුරා මෙසේ කියා පණ බේරා ගත්තේලූ. ‘‘ආ මට හෘද වස්තුව ගෙන ඒමට බැරිවී ගස උඩ තියා ආවා එය රැුගෙන එනතුරු පොඞ්ඩක් ඉන්න.’’ ශ‍්‍රිලනිප නායකයාගේ විශේෂ ප‍්‍රකාශය ගැන මාධ්‍යවේදීන් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානි මහින්ද රාජපක්ෂ ගෙන් ජුලි 15 ඇසූ විට මෙසේ කියා සිටියේ. ‘‘අපි ඒකට නිසි පිළිතුරු අගෝස්තු 17 වැනිදාට ලබා දෙන්නම්.’’ යන්නය.

Top