LNN SPY

රනිල්-මෛත්‍රී-TNA අතර එකඟතාවය ගැන විග්නේෂ්වරන් හෙලිකරයි

ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන ලේකම් මාරුකිරීම හැර තම පක්ෂය සමග ඇතිකරගත් එකඟතාවයන් කිසිවක් ඉටුකිරිමට රනිල් වික්‍රමසිංහ අසමත් විම රනිල් සහ ද්‍රවිධ ජාතික සන්ධානය අතර ගැටුමට මුල බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ඊයේ අනාවරණය කර සිටියා.මිට අමතරව බෙදුම්වාදීන්ගේ ගමන් මාර්ගය ශක්තිමත් කරන සෞඛ්‍ය සහ ස්‍වදේශ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විග්නේෂ්වරන් ප්‍රණාමය පුදකරනු ලැබුවා.

නෙදර්ලන්ත රජයේ මුල්‍යාධාර මත කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ ඉදිකල කලාපීය රුධිර පාරවිලන මධ්‍යස්‌ථානය ඊයේ (02) විවෘත කල අවස්ථාවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් කළ කතාව 

“අද මා හට කොළඹ යා යුතුව තිබුණි. ජනාධිපතිවරයාත්, සම්බන්ධන් මහතාත් රැස්වීමක් සංවිධානය කර, මා හටත් ඩෙනීෂ්වරන්ටත් පැමිණ ධීවරයින්ගේ ගැටළු පිළිබඳව අදහස් දක්වන ලෙසට ඉල්ලීමක් කර තිබුණි. ජනාධිපතිවරයා ඉන්දියාවට යාමට පෙර ධීවර ගැටළු පිළිබඳව මා ඔහුට ප්‍රකාශ කර ඇති නිසාත්, අමාත්‍ය රාජිත සේනාරත්න අද මෙහි පැමිණෙන නිසාත් ඩෙනීෂ්වරන්ව කොළම යවා මා මෙම අවස්ථාවට සහභාගි වුණෙමි. අපගේ ගැටළු යම් පමණකට දන්නා අප වෙනුවෙන් හඬ නගන පුද්ගලයා වෛද්‍ය රාජිත සේනාරත්න මහතාය.

මෙම වැඩසටහනට අප සමග ඔහුත් සහභාගි වීම පිළිබඳව ඉතා සතුටු වන්නෙමි. මුලතිව් දිස්ත්‍රික් ජනතාවගේ යහපතට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය යනුවෙන් සිතා අප‍ගේ කටයුතු සිදුකරමින් සිටින්නෙමු. අපගේ මුදල් වැයකර ඉදිකල නොහැකි වුවද, Americares ආයතනය ඔවුන්ගේ වියදමින් ඉදිකරදුන් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ රුධිර පාරවිලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සතුටුදායකය.

පසුගිය රජයට ශල්‍යකර්මයක් කිරීමට වත්මන් ජනාධිපතිවරයාට සහයෝගයට සිටියේ ගරු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාය. ඔහු පසුගිය රජයේ රෝගි කොටස් කපා ඉවත්කර, ශල්‍යකර්මයක් කර නව රජයක් අපට ලබාදී ඇත. ඔහුට අපගේ ස්තූතිය හිමිය. එනමුත් ඔහුගේ නව රජයේ අග්‍රාමාත්‍යවරයා සමග මට ඇති ගැටුම කුමක්දැයි ඔහු සිතනවා විය හැකිය. ජනතාවත් සිතනවා විය හැකිය. අනතුරක් පැමිණීමට පෙර බේරාගන්නා පුද්ගලයා බුද්ධිමතාය. අනතුර දැන අප නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් එය අපට පීඩා කරනු ඇත.

නැවත නිවසට ගොස් මගේ විශ්‍රාම දිවිය ගතකල යුතුය යන්න අදටත් මාගේ මානසිකත්වයයි. කිසිවක් අවශ්‍ය නැත. නමුත් වගකීමක් ලබාදුන්නහොත් එය පැහැර හැරීමට සූදානම් නැත. මෑතකදී අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳව ආරාධනාවක් ලැබුණි. එය එවා තුබුණේ මා හඳුනන රෝසි සේනානායක මහත්මියයි. විජයකලා මහේෂ්වරී මහත්මියගේ ආරාධනය මත අග්‍රාමාත්‍යවරයා පැමිණෙන බවත්, එම වැඩසටහනට මා හටද සහභාගි වන ලෙසත් දන්වා තිබුණි. අග්‍රාමාත්‍යවරයාගේ නිල කාර්යාලය මට ආරාධනා කලේ නැත.

අග්‍රාමාත්‍යවරයා තම සංචාරය පිළිබඳව මා සමග සාකච්ඡා ‍කලේ නැත. ඔහු සම්බන්ධ ආරාධනාව කලේ ඔහුගේ පක්‍ෂයේ නියෝජිතයෙකි. පක්‍ෂයේ තවත් අයෙකුගේ ආරාධනාව මත ඔහු පැමිණ තිබුණි. සමස්ථයක් ලෙස මෙහි අර්ථය කුමක්ද? ඔහුගේ පක්‍ෂය උතුරේ ස්ථාපිත කිරීම සඳහා කාර්යාලයක් විවෘත කර තැබීමටත්, උතුරේ ජනතාවට සියළු උපකාර කරන්නෙමු යනුවෙන් පක්‍ෂයක් ලෙස ප්‍රකාශ කිරීමටත් අග්‍රාමාත්‍යවරයා පැමිණ තිබුණි. එය සම්පූර්ණයෙන්ම දේශපාලන සංචාරයකි. මා මහජන නියෝජිතයෙකු යන පදනමින් අග්‍රාමාත්‍යවරයාගේ රැස්වීම් වලට සහභාගි නොවුනාය යන චෝදනාව අර්ථ විරහිතය. ඔහු තම පක්‍ෂය නගා සිටුවීමට පැමිණ ගොස් ඇත. එයටත්, අපටත් කිසිඳු සම්බන්ධතාවයක් නැත.

මහජන නියෝජිතයින් 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ නියෝජිතයින් 45 දෙනෙකු පමණක් සහිත එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය ලබාගෙන ඇත. ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට කුමක් ලැබේවිද යන බිය අග්‍රාමාත්‍යවරයාට තිබෙණු ඇත. ඒ හේතුවෙන්ම කෙසේ හෝ උතුරු පළාතට ඇතුළු වී ඔහු විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි.

අග්‍රාමාත්‍යවරයෙකුට සමීපවීමෙන් බොහෝ යහපත් ප්‍රථිපල ලබාගත හැකි බව මා දන්නෙමි. නමුත්, ඉදිරි මහ මැතිවරණයේදී සිදුවන්නට යන්නේ කුමක්දැයි නොදැන උතුරු පළාතේ අප ජනතාවගේ සහයෝගය ලබාගැනීමට ඔහු උත්සාහ කරන විටදී, එය ජනතාවගේ අවධානයට ‍ගෙන ඒම මගේ වගකීමකි. ඒ හැර පෞද්ගලික අමනාපයක් නැත. උතුරු පළාතේ තම පක්‍ෂය ස්ථාපිත කිරීමට අග්‍රාමාත්‍යවරයා විශාල උත්සාහයක නිරත වන බව පැහැදිලිය.

විශාල මහජන සහයෝගයක් මත බලයට පත් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන නි‍යෝජිතයින්ව නොසලකා හැර, තම පක්‍ෂයේ කිහිපදෙනෙකුව ඉදිරියට දමා තම දේශපාලනය කිරීමට ඔහු උත්සාහ කරන බව පැහැදිලිය.

ඊළඟ පියවර ලෙස ‘මෙය නොදෙන්නෙමි, එය දෙන්නෙමි’ යනුවෙන් අප‍ට දේශපාලන වශයෙන් ගැටළු ඇතිකිරීමට යන බවද මා දන්නෙමි. එනම්, ‘අප සමග එක්වුවහොත් ඔබලාට සියළු යහපත ලැබෙණු ඇති බවත්, සම්බන්ධ නොවුනහොත් ඔබලාව නොසලකා හරින්නේය යන්නත්ය. එහි පීඩාව දැරීමට ඔබලා සිටිය යුතුය’ යන අදහස අපට අවබෝධ කරවීමට කටයුතු කරනු ඇති බවත් මා දන්නෙමි. පසුගිය කාලයේ සිදුවූයේ මෙවැනි දේවල්ය. එබැවින් ඇත්ත කතා කිරීමත්, අපගේ ජනතාවට විශ්වාසනීය ලෙස කටයුතු කිරීමත් වරදක් ලෙස ප්‍රකාශ කල නොහැකිය.

මා, මාගේ පෞද්ගලික යහපත සැලකිල්ලට ගෙන හෝ පෞද්ගලික රුචි අරුචිකම් වලට ඉඩදී හෝ ගැටුමකාරී කටයුතු වල නිරත වූයේ නැත. උතුරු පළාතින් එකම හමුදා කඳවුරක් හෝ ඉවත්කල නොහැකිය යනුවෙන් ගරු අමාත්‍යවරයෙකු ප්‍රකාශ කිරීමත් සමග අප අතර ගැටුම ආරම්භ විය. ‘කේන්ද්‍රීය ස්ථාන කිහිපයක හැර අනෙකුත් ස්ථාන වල සිටින හමුදා භඨ පිරිස් ක්‍රමක් ක්‍රමයෙන් නිශ්චිත කාල සීමාවක් තුල ඉවත් කරන්නෙමි’ යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ශක්තිමත් පොරොන්දුවක් ලබාදුන්නහොත් වහාම ඔහුට අතට අත දෙන්නෙමි.

එක හමුදා කඳවුරක් හෝ ඉවත් නොකර, වලිගාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර දහසක් භාරදෙන බවට පොරොන්දු වී ඉන් අක්කර 400ක් පමණක් ලබාදී දේශපාලන වාසි සොයන අග්‍රාමාත්‍යවරයාට අප අතට අත දී සතුට ප්‍රකාශ කරන්නේ කෙලෙසද? අපගේ ජනතාව පළාත් සභාවට අපව යැව්වේ කරුණු කිහිපයක් මුල්කරගෙනය. ඒවා අපගේ මැතිවරණ ප්‍රථිපත්ති ප්‍රකාශනයෙහි පැහැදිලිව සඳහන් කර ඇත.

හමුදාව ඉවත්කල යුතුය යන්න ඔවුන්ගේ බලාපොරොත්තුවයි. යුද්ධය අවසන්වීමෙන් පසු, ඔවුන්ට උතුරු පළාතේ කිසිඳු කාර්යයක් නැත. අවශ්‍යනම් පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව වැඩිකර හැකිය. නමුත්, හමුදාව ජනතාවගේ ඉඩම් භාරදී පිටවිය යුතුය. මෙවැනි වැදගත් කරුණු අප සාකච්ඡා කර විසඳා නොගත්තොත් පීඩා විදින්නේ අපය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අපගේ උතුරු පළාත් සභාවට ලැබී ඇති ඉතා සීමිත බලතල පිළිබඳ සත්‍යයන් අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාව තුලින් අනාවරණය වීමට පටන්ගෙන ඇත.

රජයට පළාත් සභාවක් කොපමණ දුරට පාලනය කල හැකිද යන්න අපට අග්‍රාමාත්‍යවරයා අවබෝධ කරවයි. එය නොදැන රජයේ මායම් වලට හසුවීමට අපගේ සමහරෙකු උත්සාහ කරයි. අපගේ ජනතාවගේ හිමිකම් මේ මත රැදී පවතී. මෙවැනි කටයුතු හුදෙක් මිනිස් සම්බන්ධතා යනුවෙන් පමණක් ප්‍රකාශ කල නොහැකිය. බරපතල පක්‍ෂපාතී සිතුවිලි වල පිළිබිඹුවක් ලෙස ප්‍රකාශ කල යුතුව ඇත.

මේ හේතුවෙන් ජනතාව වන ඔබලාට මා මීටපෙර අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කල දෙය මෙහිදී නැවතත් ප්‍රකාශ කරන්නෙමු. මධ්‍යම රජය දෙන සියළු යහපත් දේවල් දෑත් දිගුකර ලබාගන්න. ඔවුන් ආරාධනා කරන රැස්වීම් වලට ගොස් ප්‍රකාශ කරන්නේ කුමක්දැයි අසාගන්න. නමුත් මැතිවරණයක් පැමිණිවිට එකම ඡන්දයක් හෝ ජාතික පක්‍ෂ ලෙස තමන්ව හඳුනාගන්නා පක්‍ෂ වලට නොදෙන්න. මධ්‍යම රජය අපට වන්දි වශයෙන් ලබාදිය යුතු කෝටි ගණනකින් ඉතා සුළු ප්‍රමාණයක් අපට ලබාදීමට උත්සාහ කරයි. අපගේ ඉඩම් නිදහස් කර නැත.

යුද්ධයෙන් පීඩාවට පත් අප ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කර නැත. පාරම්පරික රැකියා කිරීමට අනුමැතිය ලැබී නැත. යුද්ධය කාලයේ වෙනත් ප්‍රදේශ වලින් පැමිණි පුද්ගලයින් ව්‍යාපාර කටයුතු වලින් ඉවත්වී නැත.

හමුදාව විසින් දකුණු පළාතේ සිට ජනතාව කැඳවාගෙනවිත් පදිංචි කිරීම නතර කර නැත. හමුදාව ඉඩම් පවරාගැනීම නතර කර නැත. එබැවින්, මේවා පෙන්වාදීමට, ඒ පිළිබඳ දන්නා ඔබලාගේ නියෝජිතයින් මධ්‍යම රජයෙත්, පළාත් සභාවෙත් සිටිය යුතුය යන්න අමතක නොකරන්න. අප මැතිවරණයට පෙර පසුගිය දෙසැම්බර් 30 වන දින රජයේ දින 100 වැඩපිළිවෙලට සම්බන්ධ වී අපට උපකාර කලහැක්කේ කෙලෙසද යන්න පිළිබඳව අදාල ලේඛණ ප්‍රධානීන් තිදෙනෙකුට යැව්වෙමු.

අපගේ ඉල්ලීම් වලින් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන ලේකම් මාරුකිරීම හැර වෙනත් කිසිවක් ඉටුවුණේ නැත. එනමුත්, අපට සියළුම ආකාරයෙන් සහයෝගයත්, මිත්‍රත්වයක් දක්වන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට ස්තූතිය ප්‍රකාශ කරන්නෙමි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top