Featured

TNA,SLMC සමග සන්ධාන නෑ… සටනට එන්නේ ජනබලවේගයෙන්… ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය පුවත අසත්‍යක්!

Published on: Feb 24, 2020 – මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය, (TNA,SLMC)ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වීමට කටයුතු කරමින් ඇති බවත් සිවිල් සංවිධානවල සහාය ඇතිව නව එකමුතුවක් ගොඩනගන බවත් පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කල ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

“සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂවලට විරුද්ධව ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම්. ඒ පිළිබඳ පූර්ව සාකච්ඡා අපි දැනටමත් පවත්වලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක අනෙකුත් ප්‍රධාන පෙළේ පක්ෂ පැත්තක තියලා අපි එකතුවෙලා මේ නාමයෝජනා භාර දෙනවා.” – රවුෆ් හකීම්

එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙස පමණක් තරග වදින බවද එහි දැක්වේ.

අසත්‍ය පුවතක් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමයි

පසුගිය 23වැනි දින මහනුවර පැවති ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් පක්ෂයේ සමුළුවක් අමතමින් එහි නායක රාවුෆ් හකීම් මහතා කරන ලදැයි පැවසෙන ප‍්‍රකාශයක් පිළිබඳ පුවතක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

එම පුවතට අනුව රාවුෆ් හකීම් මහතා කියා සිටින්නේ එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධාන සමග සන්ධාන ගතව තරග වැදීම පිළිබඳව තම පක්ෂය සලකා බලමින් සිටින බවයි. මේ පිළිබඳ දැනටමත් සාකච්ඡුා ආරම්භ වී ඇති බවක්ද ඔහු කියා සිටී.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එය හුදු රාවුෆ් හකීම් මහතාගේ අදහසක් පමණි. දෙමළ ජාතික සන්ධානය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳ කිසිදු සාකච්ඡුාවක් සිදු වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි.

එසේම මෙම පක්ෂ සමග මැතිවරණ සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ අදහසක ජනතා විමුක්ති පෙරමුණ නොමැති අතර එළඹෙන මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ ජ.වි.පෙ.ද ඇතුළත් ජාතික ජන බලවේගය ලෙසය.

මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ

Top