විශේෂාංග

අප සෝද සෝදා මඩේ දමන ජාතියක් වමු

අගමැති රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සිහිවන බොහෝවිට ඔහුට දුටුගැමුනු රජු මතක්වේ. ඔහුගේ කතාව උපාහාසාත්මකය. ඒ දුටුගැමුනු රජුද මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන්දැයි පැහැදිලි නැත. සමහර විට ඒ දෙදෙනාම වන්නට පුලුවන. ඔහුට දුටුගැමුනු රජු නිතර සිහිවුවත් අනුරාධපුර රාජධානිය මල සොහොනක් බවට පත්කල කාලිංග මාඝ නිකම්වත් සිහි වන්නේ නැත. ඒ යුගයේ ඔහු සිටියා නම් දුටුගැමුනු රජුටත් සංහිඳියාවේ අරුම උගන්වන්නට ඔහුට හැකියාව තිබුනේය. ඕනෑම රටක ජනයාට තමුන්ගේ ඉතිහාසය ඉතා වැදගත්ය. ලංකා ඉතිහාසයේ දුටුගැමුනු රජුන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එය කිසිවකුටත් අකාමකා දැමිය නොහැක. යහපාලන ආණ්ඩුව නිරන්තරයෙන් වර්ණනා කරන යුරෝපයේ රටවල් තම ඉතිහාසය සහ ආගම ගර්හාවට ලක්කරන්නේ නැත. ලෝකයේ අනිකුත් රටවල්ද එසේමය.

අගමැති රනිල් වික්‍රමසිංහ දැන් හැසිරෙන්නේ යුද්ධයේ නිර්මාතෘන් ද මහින්ද රාජපක්ෂ ගානටය. ඔහුට අනූව මේ සියලු රෝගාබාධයන්ට හේතුව ඔහුගේ පාලන කාලයත් ඔහු වටා සිටින පිරිසත්ය. වර්ථමාන තත්වය අනූව ඔහු වටා රොද බඳිනා ජනතාවත් මේවාට වගකියන්න ඕනෑ යයි කියන දවස වැඩි ඈතක නැත.

අපි කාල චක්‍රය හරහා 1977 දක්වා අතීතයට ගියහොත් බොහෝ දේවල් උගත හැකිය. වර්තමාන තරුණ පරපුර මේ දේවල් දැන සිටීම ප්‍රඥාගෝචරය. එසේ කියන්නේ අප සෝද සෝදා මඩේ දමන ජාතියක් නිසාය. ඓතිහාසික හේතු කාරනාත්, භූවිශමතාවයත්,ද්‍රවිඩ ජන සමාජයට ආවේනිකවූ සංකීර්න ගැටලු සහ විවිධ කාලවල් වල සිදුවූ වැරදි දේශපාලන තීන්දූත් නිසා ඔද්දල්වී තිබූ ද්‍රවිඩ අරගලය ත්‍රස්ථවාදයක් කරා ගමන් ආරම්භ කිරීමේ පූර්න වගකීම 1977 ජුලි බලයට පැමිනි ජූනියස් රිචඩ් ජයවර්ධන ප්‍රමුඛ එජාප රජයට හිමිවේ. එම වර්ෂයේම අගෝස්තු මස ද්‍රවිඩ කලබල පටන් ගත්විට අැඳිරි නීතිය ක්‍රියාත්මක කර කලබල මැඩපැවැත්වීම පසෙකලා හිතාමතාම ද්‍රවිඩ ජනයාට තම මැර පාක්ෂිකයන් ලවා පහරදීමට ඉඩ ප්‍රස්තා ඇතිකර 75000 පමන දකුනේ ද්‍රවිඩ ජනයාට උන්හිටි තැන් නැති කලේය.ඉන් 300 පමන නිරායුධ අහිංසක මිනිසුන් ඝාතනය වූහ. 1983 දී පෙර ලෙසම ද්‍රවිඩ ජාතිකයන්ට අනාරක්ෂිත පරිසරයක් ඇති කර දහස් ගණනින් ඝාතනය කිරීමට ඉඩහැර සිංහල ජනයා ලෝකයේ ම්ලේච්ඡ ජාතියක් ලෙස බව්තීස්ම කලේය. කලු ජුලිය යන කුප්‍රකට නාමයෙන් හඳුන්වන එම අපකීර්තිමත් ජන සංහාරය ලෝකය පුරා ද්‍රවිඩ ත්‍රස්ථවාදී කන්ඩායම්වලට සහයෝගය පල කරන වටපිටාවක් ඇතිකර අවුරුදු 30 ගණනක් පුරා පැවතුන ම්ලේච්ඡ යුද්ධයකට මාවත සාදා දුන්නේය. දහස් ගණන් අහිංසක ද්‍රවිඩ ජනයා ඝාතනය වූ අතර දිවයින පුරා මිල කල නොහැකි වටිනා කමක් සහිත නිවාස වෙළඳ සැල් සහ අනිකුත් දේපල ගිනිබත් කරන ලදී. මෙමගින් ජාතීන් දෙකක් සදාකාලික සතුරන් බවට පත් කලේය.

එසේම රටට අහිතකර පාදඩ ආර්ථිකයක් හඳුන්වාදී සමස්ථ ජනයාම එහි ගොදුරක් කර එයට ප්‍රතිරෝධයක් වශයෙන් පැමිනි දකුනේ කැරැල්ල සාහසික ලෙස මැඩ පවත්වා 60,000 පමන තරුණ තරුණියන් මහමඟ ටයර් සෑයවල් ආදාහන කලේය. රාජ්‍ය සම්පත් කුනු කොල්ලයට විදේශීය සමාගම් වලට විකුනා දැම්මේය. ආනයන ප්‍රතිපත්ති ලිහිල් කර ඕනෑම භාන්ඩයක් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් ඇතිකර දේශීය කර්මාන්ත නැති බංගස්ථාන කර දැම්මේය. කෘෂි ආර්ථිකයකින් එදිනෙදා ජීවිතය ගැටගසා ගස් උතුරේ ජනයා කබලෙන් ලිපට වැටුනේය. ඇවිලෙමින් තිබු අරගලයට නව පනක් ලැබුනේය.

මේ එජාප ඒකාධිපති පාලන කාලය තුලදී කිසිදු සාක්ෂියක් නොමැතිව ඝාතනවූ පුද්ගල නාම ලේඛනය බොහා්ෙ දිගය. මේ අතර බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් සේම කිසිදු හව්වරනක් නැතිව අඹු දරුවන් සමග එදිනෙදා ජීවිතය සරි කර ගැනීමට අනවරත අරගලයක යෙදුනු අහිංසක මිනිසුන්ද දහස් ගණනකි. ඒ ඒ සමයේ පාලකයන්ට අජීර්න වූ හේතුව නිසාම මියගිය පුද්ගලයන් අතර ලසන්ත වික්‍රමතුංගලා වැන්නවුන්ද, ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත්, කූගන් වැන්නවුන්ද පමනක් නොව තව බොහෝ වෙති. අවාසනාව වන්නේ මේ වෙනුවෙන් ඉදිරිපත් වීමට කිසිදු ජාත්‍යයන්තර හෝ දේශීය සංවිධානයක් නොමැති වීමය. ඒ ඉදිරිපත් වීමත් තම දේශපාලන වාසි තකා නොවේ යයි ඔවුනට කිව හැකිද? එය එසේ නොවේ නම්, මෙසේ අනෙකෙකුගේ උවමනා එපාකම් වෙනුවෙන් තම ජීවිතය අත්හරිනට සිදු වූ මිනිසුන් තව කොපමන වේද?

මේ එජාපයේ කෙරුම් බොහෝ කෙටියෙන්ය.

කිසි දිනක කිසිම පාලකයෙක් මේ සඳහා සාධාරන පරීක්ෂනයක් පැවැත්වීමට උනන්දු වූවේද නැත. එහෙත් අද මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුල සිදුවූ කටයුතු සම්බන්ධයෙන් පමනක් සොයා බැලීමට ආණ්ඩුවත් විදේශීය සංවිධානත් දැඩි ප්‍රයත්නයක් දරයි. මේ උනන්දුව 1977 සිට අද දක්වා සිදුවූ සියලු ඝාතන, අපරාධ සහ දූෂන සම්බන්ධයෙන් වේනම් එය බොහෝ අගනේය. එසේ නැතහොත් මේ පිටුපස ඇති ව්‍යාජ භාවය ජනතාව තේරුම් ගනු ඇත. දැනට ඇති තත්වය අනූව මහින්ද රාජපක්ෂටත් පොදුවේ රටටත් එරෙහිව යම්කිසි කුමන්ත්‍රනයක් පවතින බව ජනතාව අවබෝධ කර ගනිමින් සිටී. ආණ්ඩුවට එරෙහි ජන මතය දිනෙන් දින දිනන් දින වැඩි වීමෙන් එය පැහැදිලි වේ.

එජාප යේ අතීත ක්‍රියාකාරකම් මෙසේ වුවද දැන් ඔවුන් සාමාන්‍ය ජනයාට කියන්නේ සංහිඳියාව ඉගෙන ගන්නට කියාය. සාමාන්‍ය ජනයාට උගැන්විය යුතු අමුතු සංහිඳියාවක් නැත. එල්ටීටීය සිංහල ජනයා තිරස්චීන ලෙස ඝාතනය කරද්දීත් දකුනේ සිංහලයෝ සාමකාමී ද්‍රවිඩයන් සමග සාමයෙන් කටයුතු කලේය. ඒ දකුනේ සංහිඳියාව හොඳට තිබුනු නිසාය. සංහිඳියාව නොතිබුනේ එජාපයටය. මිනිසුන්ගේ මොලවලට විසබීජ දමා සංහිඳියාව නැතිකරේ එජාපයේ නායකකාරකාදීන්ය. පලමුව එජාපය තමුන්ගේ අපරාධ වලට කොන්දේසි විරහිතව සිංහල සහ දෙමල ජාතියෙන් සමාව ගත යුතුය. අද ද්‍රවිඩ දේශපාලකයන්ටත් අමතකවූ සත්‍යයමද මෙයය. අද දෙමල නායකයන් සිතා මතාම මේ ඉතිහාසය අමතක කර එජාප ය හා අත්වැල් බැඳ ගෙන සිටී. ඔවුනගේ පරම සතුරා මහින්ද රාජපක්ෂය. ඔවුන් අද සාමාන්‍ය අහිංසක ද්‍රවිඩ ජනයා පලිහක් කර බොරදියේ මාලු බෑමට සැරසී සිටියි.

1989 දී ජේ ආර් , ආර්. ප්‍රේමදාසට බාර දුන්නේ දෙකොන පත්තුවූ විලක්කුවකි. ඔහු එහිම දැවී ජීවිතය අවසන් කලේය. එසේම 2005 දී මහින්ද රාජපක්ෂටද බාරවූයේ එවැනිම දෙකොන පත්තුවූ විලක්කුවකි. ප්‍රාණය හුයකින් එල්ලී අපේක්ෂා භංගත්වයෙන් ජීවත්වූ ජාතියකට හුස්ම ගැනීමේ අයිතිය ලබාදීමේ ගෞරවය ඔහුට අනිවාර්යයෙන්ම හිමිවේ. එහි කිසිදු කේවල් කිරීමක් නැත. යුද්ධය අවසාන කිරීමෙන් පසු ඔහු ජනයා අතර අමරනීය නායකයෙක් බවට පත් විය. අවුරුදු 30 ක යුද්ධයකින් පසු කෙටි කලක් තුල රටේ විශිෂ්ඨ ප්‍රගතියක් ඇතිවිය. යම් කිසි ඉලක්කයක් කරා රට ගමන් කරමින් තිබුනේය.එහෙත් අනිකුත් ජනාධිපතිවරුන්ට වැලඳුන රෝගය ඔහුටද තිබුනේය. අවාසනාවකට රටේ තත්වය සාමකාමී නිසා රෝගය අසාධ්‍ය විය. රටේ තත්වය සාමකාමීව තිබුනේ නම් අනිකුත් පාලකයන්ද හැසිරෙන්නේ කුමන අයුරින්දැයි ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් බැලීමෙන් තක්සේරු කර ගත හැක. රාජපක්ෂ පාලනය යනු හුදෙක් අහම්බයක් නොවේ. එය ජේ ආර් ඇතිකල ව්‍යවස්ථාව යටතේම දිගුවකි.එහි වෙනසක් නැත. වඩා වැදගත් වන්නේ එහි රාජපක්ෂ භූමිකාව පිලිබඳ මැදහත්ව බලා එහි වාසි අවාසි මැන බැලීමකි. සත්‍ය නම් සෑමවිටම ශ්‍රීලනිප ප්‍රමුඛ සංධානයකින් රටට යම් සෙතක්වන බවය. එමගින් ජේ ආර් හඳුන්වා දුන් ජරා ජීර්ණ ආර්ථික ක්‍රමය තුල යම්තමින් හෝ දිවි ගලවා ගැනීමට ජනයාට ඉඩ පහසුකම් සැලසෙන බවය. මධ්‍යම සහ පහල පංතියේ ජනයාට දැනෙන පීඩනය අඩු බවය.

වැරදියට වටහා නොගන්න. සත්‍ය තත්වය නම් යහපාලන ආණ්ඩුව තම දූෂණ විරෝධී අභිලාෂයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි මාතෘකා කතා කරන්නේ වෙන කිසිවක් තකා නොව ඔවුන් වෙත ජාත්‍යයන්තරය විසින් පවරා ඇති කාර්යභාරය ඉෂ්ඨ කිරීම සඳහා මග පාදා ගනු පිණිසය. ප්‍රජාතන්ත්‍රවාදයට යන ගමන වැටී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවතක් හරහා නොවේ. චොකලට් දවටනයට යටින් ඇත්තේ වසය.එසේ නැතහොත් ඒ සඳහා ඔවුන් පෙන්වා ඇති පූර්වාදර්ශයන් කවරේද? පලමුව ඔවුන් මහජනයාගෙන් ප්‍රතික්ශේප වූ පුද්ගලයින් නැවත පාර්ලිමේන්තුවට පත්කර ඇමතිකම් සහ අනිකුත් වරදාන පුදා ප්‍රජාතන්ත්‍රවාදය ගර්හාවට ලක් කලේය. පාර්ලිමේන්තුවේ සුලුතරයක් විපක්ෂය වශයෙන් නම්කර ඇත. එසේම ආණ්ඩුවේ දූෂණ වසා ගැනීමේ නිර්ලජ්ජිත ක්‍රියා දාමයක යෙදී සිටින අතර දේශීය සම්පත් විදේශීය සමාගම්වලට විකුනා දැමීමේ උත්සාහයක යෙදී සිටී.

සමහරවිට මාරාන්තික ප්‍රහාර කීපයකින් අඩපන වී සිටින ශ්‍රී ලංකාව සදාකාලික නින්දට වැටීමේ අවසාන පියවර මෙය වන්නට පුලුවන. මෙවර එය එන්නේ සාමයේ හස්තය දිගු කරමිනි. මේ සඳහා ජනපති මෛත්‍රීපාලගේ කාර්යභාරය ශ්‍රීලනිප ය දියකර හැරීමය. ඔහු මුල් පුටුවේ වාඩි කරවා එජාපය තමන්ගේ සුපුරුදු දේශ විරෝධී කාර්යයන් වල යෙදී සිටී. ශ්‍රී ලංකාව මුහුනදුන් බොහෝ දුෂ්කර අවස්ථාවන් වලදී ශ්‍රීලනිපය ප්‍රමුඛ වාමාංශික පක්ෂ කල කාර්යභාරය අතිමහත්ය. වර්තමානයේ එම පක්ෂය විහිලුකාරයන්ගේ තිප්පොලක් බවට පත්කර එය එජාපයේ දේශ ද්‍රෝහී වැඩ පිලිවෙල අවසන් වන තුරු මුක්කුවක් සේ තබා ගැනීම අරමුන විය හැක. ඒ සඳහා බලයට සහ ධනයට කෑදර ජනතාවගෙන් ප්‍රතික්ශේප වූ ශ්‍රීලනිපයේ නෝන්ජල් දේශපාලකයින් පිරිසකගේ අනුග්‍රහය ලබාගෙන තිබේ. ඔවුන්ට කිසියම්ම දේශපාලන අනාගතයක් නැත. අවසානයේ ඔවුනට ඉතිරි වන්නේ ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ල පමණකි. එජාපයේ ඉඳුල් වලින් යැපෙන ඔවුනට ඊලඟ මැතිවරනයකදී ජනයා නිසි පාඩම් උගන්වනු ඇත.

මෙ මගින් උත්සාහ දරනුයේ එජාපයට සදාකාලික පාලනයක් තහවුරුකර රට විදේශයන් ගේ සති පොලක් බවට පත් කිරීමය. මේ පෙන්වන්නේ ජේ ආර් ජයවර්ධන නවත්වා ගිය තැනින් පටන් ගන්නා බවය. තවත් අර්බුධ රාශියක ආරම්භය බවය.

කිසියම් දේශපාලනඥයෙකුට අවංකවම රටට ඇල්මක් ඇත්නම් සාමකාමී රටක් සුසාන භූමියක් බවට පත් කල මේ සියලු අතීත ක්‍රියාදාමයන් සෙවීම සඳහා පූර්න බලැති කොමිසමක් පත් කර මේ සියලු කාරනා වල ඇත්ත යුත්ත සොයා බැලිය යුුතුය. රටේ උන්නතිය තකන සියලු දෙනා ආණ්ඩුවට බල කල යුත්තේ ඒ සඳහාය.මේවාට සම්බන්ධ සියලු දේශපාලකයෝම ජාතියෙන් සමාව ගත යුුතුය. මේ කාල වකවානුව 1977 සිට විය යුතුය. මේ සමස්ත විනාශයේම ආරම්භය එතැනය.

සේනක සේරසිංහ

Top