Featured

අලූත් ව්‍යවස්ථාව සමග අලූත් ආණ්ඩුවක් 

යහපාලන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව තවත් සැරයක් ජනතාව මෝඩයට අන්දන උත්සාහයක් නොවිය යුතුබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා 

“විධායක ජනාධිපති ධූරය අහෝසකරනවාය, ව්‍යවස්ථාව වෙනස්කරනවාය කියල මහ සද්දයක් දාලා, ආණ්ඩුව මුහුන දෙන දහසකුත් එකක් ප‍්‍රශ්න යට ගහන්න හිතාගෙන ඉන්නව නම් ඒක හරියන්නෙ නැහැ. ආණ්ඩුවෙ බොරු අහලම මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ. ඒ හින්දා ව්‍යවස්ථාව වෙනස්කරන එකවත් අවංකව සිද්ධ වෙන්න  ඕන. මාදුළුවාවේ සෝභිත හාමුදුරුන්ගේ ශ‍්‍රී දේහය ඉදිරියේ ජනාධිපතිතුමා ප‍්‍රසිද්ධියේම විධායක ජනාධිපති ක‍්‍රමය මුලූමනින්ම අහෝසි කරනවාය කියල දිවුරපු නිසා, මේවතාවේ නම් ආණ්ඩුව ඒ කාරණය ඉටුකරයි කියලා තමයි මට සිතුනේ.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැත්වූ දේශනය

අතිපූජනීය නායක හාමුදුරුවන් ඇතුලූ මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍ය ආගම් වල පූජකතුමනි, පක්‍ෂ නායකයනි, මන්ත‍්‍රීවරුනි, කලාකරුවනි, හිතවතුනි,

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලියකට ආණ්ඩුව මුලපුරල තියෙනවා. මේක අපේ රටේ මුලූ අනාගතයම වෙනස්කරන ක‍්‍රියාවලියක් නිසා මේකට ජනතාවගේ සහභාගීත්වය උපරිම මට්ටමෙන් තියෙන්න  ඕන.

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රියාපටිපාටිය ගැන මතභේදයක් මේ අවස්ථාවේදී පැනනැගිල තියෙනව. වර්ථමාන ව්‍යවස්ථාවට සංශෝධන ගේන පළමු අවස්ථාව මෙය නොවේ. ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක‍්‍රියාදාමය වත්මන් ව්‍යවස්ථාවේ නිර්දේශ කොට තිබෙන ක‍්‍රියාපටිපාටියට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව සිදුවිය යුතුයි කියල විපක්‍ෂය යෝජනා කරලා තියෙනව. කලින් මේ ව්‍යවස්ථාවට සංශෝධන ගෙනඒමේදී අනුගමනය කළ ක‍්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීමෙන් අදාල කාරණය සාර්ථකව කළ හැකි බව මම විශ්වාස කරනවා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නම්‍යශීලී විය යුතුයි.

2015 ජනාධිපතිවරණය සදහා”මහින්ද චින්තන ලොව දිනන මග” නැමැති මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදානය කිරීමට පියවර ගන්නා බව කියල තිබුණා. ඊට කලින් 2011 දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් කළ යුතු වෙනස්කම් ගැන සොයාබලා වාර්තා කරන්න මගේ ආණ්ඩුව නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා තිබුණා. දැන් මේ කටයුතු වල වගකීම තියෙන්නේ වර්ථමාන ආණුඩුවට. මේ ආණ්ඩුව බලයට පැමිණිමේ දී දුන් ප‍්‍රධානම ප‍්‍රතිඥාව තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක. ගිය අවුරුද්දේ 19 වෙනි සංශෝධනයෙන්  විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන බව කිවුවාට ඒ බලතල දැනුත් ඒ ආකාරයටම පවතිනවා.

පසුගිය සෙනසුරාදා අග‍්‍රාමාත්‍යවරයා විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුලපුරමින් ඉදිරිපත් කරපු යෝජනාවේ ප‍්‍රස්තාවනාවේ අවධාරණය කරල තිබුණේ මේ සම්පාදනය කරන අලූත් ව්‍යවස්ථාවේ මූලික පරමාර්ථය වෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් වන බවයි. මේ අරමුණු සාක්ශාත් කර ගැනීම සදහා අපි කවුරුත් සහයෝගය දෙන්න  ඕන.

විධායක ජනාධිපතිකම කියන්නෙ මුල ඉදලම මතභේදයට ලක්වුණු තනතුරක්. මේක ඇතිකරනකොටත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධ වුණා. දැන් විධායක ජනාධිපති ධූරය ඇතිකරපු UNP එකම ඒ තනතුර අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරනකොට ඒකට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපිට විරුද්ධ වෙන්න බෑ. මේ තනතුරේ නිර්මාතෘ ජේ.ආර්.ජයවර්ධන මහතාගේම ඥාති පුත‍්‍රයෙක්ම තමයි ඒක අහෝසි කරන්න යෝජනාව ගෙන එන්නෙත්.

ඒ වගේම මම කියන්න  ඕන මේක තවත්සැරයක් ජනතාව මෝඩයට අන්දන උත්සාහයක් නොවිය යුතුබව. විධායක ජනාධිපති ධූරය අහෝසකරනවාය, ව්‍යවස්ථාව වෙනස්කරනවාය කියල මහ සද්දයක් දාලා, ආණ්ඩුව මුහුන දෙන දහසකුත් එකක් ප‍්‍රශ්න යට ගහන්න හිතාගෙන ඉන්නව නම් ඒක හරියන්නෙ නැහැ. ආණ්ඩුවෙ බොරු අහලම මිනිස්සුන්ට තිත්ත වෙලා තියෙන්නෙ. ඒ හින්දා ව්‍යවස්ථාව වෙනස්කරන එකවත් අවංකව සිද්ධ වෙන්න  ඕන. මාදුළුවාවේ සෝභිත හාමුදුරුන්ගේ ශ‍්‍රී දේහය ඉදිරියේ ජනාධිපතිතුමා ප‍්‍රසිද්ධියේම විධායක ජනාධිපති ක‍්‍රමය මුලූමනින්ම අහෝසි කරනවාය කියල දිවුරපු නිසා, මේවතාවේ නම් ආණ්ඩුව ඒ කාරණය ඉටුකරයි කියලා තමයි මට සිතුනේ.

ඒ වගේම කාලාන්තරයක් මුලූල්ලේ සමාජය තුළ පොදු එකඟතාවයක් ගොඩනැගිලා තියෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම යන මේ ප‍්‍රධාන කාරණා එක්ක වෙන ව්‍යවස්ථාමය සංශෝධන  කවලම් කරගතයුතු නැතැයි කියලා තමයි මට හිතෙන්නේ. අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන මේ ක‍්‍රියාදාමය අදියර කීපයකින් සිදුවෙන්න  ඕන. මුල් අදියරේ විධායක ක‍්‍රමය අහෝසි කිරීමත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමත් කරලා අනිත් වෙනස්කම් ඊට පස්සෙ තමයි කරන්න  ඕන.

මේකට පූර්වාදර්ශයක් තියෙනවා. විධායක ජනපති ක‍්‍රමය මුලින්ම හදුන්වලා දෙන කොට ඒක ආවේ 1972 ව්‍යවස්ථාවට සිදු කරපු දෙවන සංශෝධනය හැටියට 1977 ඔක්තෝබර් මාසයේ. ජේ.ආර්.ජයවර්ධන මහත්තයා 1978 පෙබරවාරි 04 වන දා ලංකාවේ පළමු විධායක ජනාධිපති හැටියට දිවුරුම් දුන්නේ ඒ සංශෝධනයට අනුවයි. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කලේ විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කළාට පස්සෙ. අලූත් ව්‍යවස්ථාවට අලූතින් ඇති කරපු විධායක ජනාධිපති ක‍්‍රමයත් ඇතුල් කළා. අද මේ රටේ පවතින සුවිශේෂ තත්වය නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේදීත් ඒ වගේම අදියර දෙකකින් කරන්න  ඕන කියලා තමයි මම හිතන්නෙ.

අපේ ව්‍යවස්ථාවේ පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයක් ද නැතුව වෙනස් කරන්න බැරි වගන්ති එකොළහක් තියෙනවා. අලූත් ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන් කෙටුම්පත් කරලා ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගෙන ජනමත විචාරණයකට ඉදිරිපත් කළොත් මේ සුවිශේෂ වගන්ති එකොළහම වුනත් එකසැරේ වෙනස් කරන්න පුලූවන් වෙනවා. ඉතින් හුගක් අයට මේ ගැන සැක පහල වෙලා තියෙනවා. මේ ආකාරයට සියල්ල එක සැරේ වෙනස් කරන්න ඉඩ ලැබුණොත් ලංකාවේ ඒකීය භාවයට හානිකර වගන්ති අලූත් ව්‍යවස්තාවට ඇතුල් වෙයි කියලා සැකයක් පවතිනවා. මේ වගේ සැකයක් තුළින් ව්‍යවස්තා සම්පාදන ක‍්‍රියාවලිය ඇණහිටින තැනට වැඩ සිද්ධවෙන්න ඉඩ තියෙනවා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් පවත්වන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් ඒ ගැන මතයක් පළ කරලා ඉවරයි. අනෙක් අතට රටේ ඒකීය භාවයට හෝ බුදු දහමට තියෙන ප‍්‍රමුඛත්වයට කිසිදු වෙනසක් නොකරන බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වෙලා තියෙනවා. එනම් ජනමත විචාරණයක් නැතුව වෙනස් කරන්න බැරි ඒ සුවිශේෂී වගන්ති එකොළහ අතරින් ජනමත විචාරණයක් පවත්වන්න වෙන්නේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න විතරයි. ඉතින් මේ නව ව්‍යවස්තාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාදාමය අදියර දෙකකට කැඞීමෙන් ජනමත විචාරණයක් අවශ්‍ය වන කාරණා මුලින්ම ගෙනල්ලා ඉතුරු ටික පස්සෙ සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් වෙනස් කරන්න පලූවන්.

1987 දී 13 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරනය පළ කරපු මතය නිසා පළාත් සභා වලට පවරල තියෙන බලතල හමුවේ රටේ ඒකීය භාවය රකින ආයතනය හැටියට ඇතැම් අය විධායක ජනාධිපති ක‍්‍රමය දකිනවා. ඉතින් මේ ආයතනය අහෝසි කර දැමීම ගැන ඒ අයතුළ බයක් තියෙනවා. ඉන්දියාවේ ප‍්‍රාන්ත සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපතිවරයාට, කැබිණට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට (ඉන්දීය උත්තර මන්ත‍්‍රී මණ්ඩලයත් ඇතුලූව) පවරා ඇති බලතල ගැන අපි හොදින් හදාරලා බලන්න  ඕන. ඒ බලතල අවශ්‍යනම් වැඩිදුරටත් ශක්තිමත් කොට අපේ පළාත් සභා ක‍්‍රමයට ආදේශ කරන්න  ඕන. අපේ මේ පළාත් සභා ක‍්‍රමය ඉන්දීයාවේ බලතල බෙදීමේ ක‍්‍රමය මත පදනම් වෙලා තියෙනවා කිවුවට ඉන්දීයාවේ ඒකීය බව රැකීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ලැබිල තියෙන බලතල සෑහෙන ප‍්‍රමාණයක් ලංකාවේ ආණ්ඩුවට දහතුන්වන සංශෝධනයෙන් ලැබිල නැහැ. මේ අඩුපාඩු ගැන හොයලා බලන්න  ඕන.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන එක හැරුණු කොට වත්මන් ආණ්ඩුව ජනතාවට දීපු තවත් ප‍්‍රධාන පොරොන්දුවක් වෙන්නේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කරන එකයි. 2008 දී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම ගැන සලකා බැලීමට ඇති කර තිබුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කරපු සමානුපාතික හා කේවල ආසන දෙමුහුන් මැතිවරණ ක‍්‍රමය පළාත් පාලන මට්ටමට හදුන්වලා දුන්නේ මාගේ ආණ්ඩුවෙන් බව මෙහිදී මතක් කරලා දෙන්න  ඕන. ඊළඟ පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ඒ අලූත් ක‍්‍රමයට. දැන් ඉතිරිවෙලා තියෙන්නේ මේ ක‍්‍රමය පළාත් සභා හා පාර්ලිමේන්තු මට්ටම් වලටත් හදුන්වලා දෙන එක. පළාත් පාලන මට්ටමෙන් ඡුන්ද කොට්ඨාශ නීර්ණය කිරීමේ දී ඇති වෙච්ච මතභේද වගේ තත්වයන් වළක්වන්න මැතිවරණ ක‍්‍රමයට සංශෝධන ගේන්න කළින් මැතිවරණ කොට්ඨාශ නීර්ණය කරලා තියෙනවනම් හොදයි කියලා තමයි මට හිතෙන්නෙ.

අලූත් ව්‍යවස්ථාවේ බලතල බෙදීම වර්තමානයේ ක‍්‍රියාත්මක කරලා තියෙන 13 වන සංශෝධනයේ වගන්ති වලින් ඔබ්බට නොයා යුතුයි. ඒ වගේම පළාත් ඒකාබද්ධ කිරීමත් කිසි ලෙසකින් නොවිය යුතුයි. 13 වන සංශෝධනයේ පළාත් සභාවලට දීලා තියෙන පොලිස් හා ඉඩම් බලතල ගැන නැවත සලකලා බලන්න  ඕන. ඉඩම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට තිබෙන බලතල 13 වන සංශෝධයෙන් ලංකාවේ ආණ්ඩුවට දීල නැහැ. ඉන්දීය ව්‍යවස්තාවට අනුව ඒ රටේ මධ්‍යම ආන්ඩුවට ආදාල කරුණු සදහා  ඕනෑම ප‍්‍රාන්තයකින්  ඕනෑම ඉඩමක් ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් කිසිම විමසීමකින් තොරව පවරාගන්න පුලූවන් කියලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 1962 දී විභාග කළ බටහිර බෙංගාල ප‍්‍රාන්තය එරෙහිව ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කියන නඩුවේ තින්දු කරලා තිබුණා. නමුත් අපේ ව්‍යවස්තාවේ 9 වැනි පරිශිෂ්ඨයේ දෙවන උප ලේඛනයට අනුව ලංකාවේ ආණ්ඩුවට යමිකිසි පළාතක තියෙන ඉඩමක් ආණ්ඩුවේ වැඩකට ගැනීමට නම් අදාල පළාත් සභාවේ අවසර පැතිය යුතු බව කියලා තියෙනවා.

ලංකාවේ තත්වය හැටියට ඒ වගේ වගන්තියකින් ඇති විය හැකි ප‍්‍රශ්න කාටත් පැහැදිලි වෙන්න  ඕන. ඒ නිසා මම මෙහිදී යෝජනා කරනවා 2013 දී විභාග වුණු වැවිළි කර්මාන්ත අමාත්‍යංශය එරෙහිව සොලෙයිමුත්තු රාසු යන නඩුවේ තීන්දුව අලූත් ව්‍යවස්ථාවට අන්තර්ගත කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේ දි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ රජයේ ඉඩම් බලතල ලංකාවේ ආණ්ඩුවට මිස පළාත් සභා වලට අයිති නැති බවයි. ඒ නඩුවේදී එවක අගවිනිසුරු මොහාන් පීරිස් මහතා හා වත්මන් අගවිනිසුරු ශ‍්‍රී පවන් මහතා හා ඒවා වනසුන්දර විනිසුරුතුමිය එකිනෙකා සමග ඒ කරුණ සම්බන්ධයෙන් එකඟ වෙමින් වෙන වෙනම නඩු තීන්දු ප‍්‍රකාශයට පත් කිරීම විශේෂත්වයක් හැටියට අපි සලකන්න  ඕන.

අපේ ව්‍යවස්ථාවේ 9 වැනි පරිශිෂ්ඨයේ පළමුවන උප ලේඛණයේ 13 වන සංශෝධනය ප‍්‍රකාරව පළාත් සභාවට ලැබී ඇති පොලිස් බලතල ගැන සදහන් වෙනවා. මේ වගන්ති ක‍්‍රියාත්මක වුනොත් දැනට පවතින ජාතික පොලිස් සේවාව නැති වෙනවා. සියලූම වැදගත් පොලිස් කටයුතු  වෙනම ක‍්‍රියාත්මක වන පළාත්බද පොලිස් සේවාවන් 9 කට හිමි වෙනවා. මේ වගේ ක‍්‍රමයක් ඉන්දියාව වැනි විශාල රටක ක‍්‍රියාත්මක කරන්න පුලූවන්. ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහෝ ජාතික රාජ්‍යයන් වලටත් වඩා විශාලයි. ලංකාව වගේ කුඩා රටක ඒ වගේ දෙයක් ක‍්‍රියාත්මක කරන්න බැහැ. ලංකාවට වඩා කිහිප ගුණයක් විශාල තමිල්ණාඩු ප‍්‍රාන්තයේ ක‍්‍රියාත්මක වන්නේත් එක පොලිස් සේවයයි. ඉන්දියාව වැනි රටක උප මහද්වීප මට්ටමෙන් ක‍්‍රියාත්මක වන ක‍්‍රමයක් ඇතැම් කුඩාම ඉන්දීය ප‍්‍රාන්ත වලටත් වඩා කුඩා ලංකාව වැනි රටක් තුළ ක‍්‍රියාත්මක කරන්න හදන එක නුවණට හුරු දෙයක් නෙවෙයි කියලයි මටනම් හිතෙන්නෙ. පළාත් සභා ක‍්‍රමය ඇති කරලා ගතවුණු දශක තුන මුලූල්ලේ ආණ්ඩු වෙනස්කම් ගණනාවක්ම සිදුවුණා. නමුත් 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට දුන් පොලිස් බලතල කිසිම නායකයෙකු ක‍්‍රියාත්මක නොකලේ එයින් මේ රට සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වන නිසයි. ඉතින් මේ කටයුත්තේ දී බොහොම පරිස්සමින් ක‍්‍රියා කරන්න  ඕන. අලූත් ව්‍යවස්ථාවක් සෑදීමේ දී පවතින ව්‍යවස්ථාවේ තිබෙන ක‍්‍රියාත්මක කරන්න බැරි වගන්ති ඉවත් කරන්න  ඕන.

ඒ වගේම බලතල බෙදිමේ දී අපි පළාත් පාලන ආයතන වැනි බිම් මට්ටමේ ආයතන හැකිතාක් දුරට බලාත්මක කළ යුතු බවට මම යෝජනා කරනවා. ඒ ඒ ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාවට සැබෑ බලයක් ලැබෙන්නෙ ගම් මට්ටමට බලය බෙදුනොත් විතරයි. ප‍්‍රධාන පක්‍ෂ දෙකේම නායකයන් මේ කාරණය ගැන විවිධ අවස්ථාවල අදහස් දක්වලා තියෙනව. අලූත් ව්‍යවස්ථාව හදන කොට ඒ අදහසුත් සලකලා බලන්න  ඕන.

ලංකාවේ බෙදුම්වාදය වැලැක්වීමට ගෙනාපු 6 වැනි සංශෝධනය ගැන අපි විමර්ශනය කරලා බලන්න  ඕන. ඉන්දියාව තුල බෙදුම්වාදය පාලනය කිරීමට ජවහර්ල්ලාල් නේරු විසින් ඒ රටේ ව්‍යවස්තාවට හදුන්වා දීපු 16 වන සංශෝධනය අපේ 6 වන සංශෝධනයට වඩා සාර්ථක වෙලා තියෙන බව පේනවා. ඉන්දියාවේ ජයලලිතා ජයරාම්ගේ පක්‍ෂය හීනෙකින් වත් නොගන්නා ස්ථාවර අපේ රටේ දෙමළ ජාතික සංධානය දෙවරක් නොසිතා කිසිදු පැකිලීමකින් තොරව ගන්නේ ඇයි කියලා තමයි අපි විමසලා බලන්න  ඕන. ඒ අය ඉන්දියාවේ 16 වන සංශෝධනය වැනි නීතියකට යටත් වුණා නම් ඔය ස්ථාවර ගන්නේ නෑ.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක‍්‍රියාපටිපාටිය ගැන දැනට ප‍්‍රකාශ වෙලා තියෙන අදහස් දිහා බලන කොට ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණයේ  මැදිහත් වීමක් ඇතැම් අය බලාපොරොත්තු වන බව පේනවා. ඒ අයට  ඕන අලූත් ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය වෙනස් වෙනවා ද නැද්ද කියන එක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගන්න. අපේ ව්‍යවස්ථාවේ 120 (ආ) වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය විසින් යම්කිසි ව්‍යවස්ථා සංශෝධනයක් “පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයට අමතරව ජනමත විචාරණයකනුත් සම්මත වෙන්න  ඕන” කියලා ප‍්‍රකාශ කලොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ පනත් කෙටුම්පත පිළිබදව විමර්ශනය කරන්න බලය නැති වෙනවා. ඒ වගේ තත්වයක් යටතේ බොහෝ අයතුල නොයෙක් සැකයන් පහළ වෙන්න ඉඩ තියෙනවා.

ඉතින් අර මම කලින් ප‍්‍රකාශ කළ ආකාරයට මෙම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය අදියර කීපයකට කඩන අතරම ඒ එක් එක් අදියර සම්බන්ධයෙන් අවශ්‍ය කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසන්න ඉඩ ඉතුරු කරගන්න  ඕන. ඒ නිසා නව ව්‍යවස්ථාව අදියරෙන් අදියර සම්මත කර ගන්නකොට අදාල කෙටුම්පත් වර්තමාන ව්‍යවස්ථාවේ 120(අ) වගන්තිය ප‍්‍රකාරව “ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා කෙටුම්පතක්” හැටියට පමණක් කැබිනට් මණ්ඩලය විසින් නම්කල යුතු යැයි මම යෝජනා කරනවා. 120 (අ) වගන්තිය යටතේ කෙටුම්පතක් නම් කරනු ලැබීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ කෙටුම්පත සම්බන්ධයෙන් හොයලා බලන්න ඉඩ ඉතුරු වෙනවා. රටේ ඒකීය භාවය ගැන සැලකිළිමත් වන ජනාතාවට ඒක ලොකු අස්වැසිල්ලක් වේවි කියල මම හිතනවා.

අලූත් ව්‍යවස්ථාව සම්පාදනය කෙරුවට පස්සෙ ඒ යටතේ අලූත් ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා ඡන්දයක් පවත්වන එකත් සුදුසුයි කියලා මම යෝජනා කරනවා.

ස්තුතියි.

 

Top