Featured

(අව)ජාතික ආණ්ඩුව කොයිබට ද?

නව ආණ්ඩු සම්බන්ධයෙන් දින සිසයේ ස්වරණමය රීතිය යැයි කියමනක් තිබේ. ඉන් අදහස් කැරෙන්නේ ඕනෑම ආණ්ඩුවක් දින සිසයෙන් පසු කුණු වන්නට පටන් ගන්නා බවයි. ඊටම අදාළ තවත් කියමනකි. එනම් බලයට පත් වන ආණ්ඩු මහජනයා වන අපගේ ඒවා නොවන බවයි. එය අපගේ වන්නේ විපක්ෂයේ සිටින තුරු පමණය.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප ජීවත්වන සමාජය පදනම් වී ඇත්තේ අනෙකාගේ ශ්‍රමය සූරාකෑම පදනම වශයෙන් ඇතිව පවත්නා ධනේශ්වර ආර්ථික ක්‍රමය මතය. එහි ප්‍රධානතම ජවය සහ රීතිය වන්නේ ධනය ඉපයීමයි. අවසාන විග්‍රහයේ දී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ප්‍රතිසංස්කරණ මගින් අපේක්ෂා කැරෙන්නේ ද මෙම ක්‍රමය යහමින් පවත්වා ගෙන යෑමය. ධනේශ්වර ක්‍රමය නිසඟයෙන්ම අසාධාණෙ වන අතර ඍජු /වක්‍ර මර්ධනය හෝ රුවැටිල්ල හෝ නැතිව එයට පැවැතිය නොහැක. මන්ද යත් අසාධාරණය විසින් ඉබේම විරුද්ධකම් පෑම ඇතිවන නිසා ය. ( අද ලෝකයෙහි ධනේශ්වර ක්‍රමය පරයා යන වෙනත් සමාජ ආර්ථික ක්‍රමයක් නැති බව ද ඒ තරමටම ඇත්ත ය).

අනෙක් අතට ලොව මේ තාක් පැවත ඇති සෑම ආණ්ඩුවක් ම පැවැත ඇත්තේ බලය මත ය. බලය සකේතවත් කැරන්නේ රාජ්‍යය යන්ත්‍රය මගිනි. බලය පාවිච්චි කිරීමේ අධිකාරය බලයට පත්වන දේශපාලනඥයින්ට හිමිවේ. බලය සම්බන්ධ අවිවාදාත්මක කියමක් ද තිබේ. එනම් බලය විසින් දූෂණය ඇති කරන්නේ ය යන්නයි.

දින සියයේ ස්වරණමය නීතිය, ආණ්ඩු බලය සහ මහා ජනයා අතර ඇතිවන විරසකය සහ බලය විසින් දූෂණය ඇති කිරීම යන ප්‍රායෝගික සත්‍ය ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුවට අදාළ නොවන්නේ යැයි අප කල්පනා නොකළ යුතු ය.

රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු දැන් පිහිටුවා ඇති ජාතික ආණ්ඩුව මූලික වශයෙන් ධනේශ්වර ක්‍රමය මත පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකි. ලොව විවිධ රටවල ධනපති ආර්ථික සහ සමාජ ක්‍රම මානුෂීය මුහුණුවරේ සිට යක්ෂාරූඩත්වය දක්වා විවිධ මුහුණුවර ගනිති. එබැවින් ධනපති ක්‍රමය සමස්තයක් වශයෙන්ම දුෂ්ඨ එකකැයි කීම එතරම්ම නිවැරදි නොවේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයකින් සහ ස්වරූපයකින් යුතුව පවතින සමහරක් ධනේශ්වර සමාජ කොමියුනිස්ට් ආර්ථික ක්‍රමය මත මේ තාක් පැවැත ඇති සමාජවාදී සමාජයන්ට වඩා යහපත් සහ මානුශීය වේ.

එවැනි වඩා යහපත් සමාජ ක්‍රමයන් විසින් වැඩි දියුණු කරගෙන ඇති සමාජ දේශපාලන යාන්ත්‍රණයන් ගවේශණය කරමින් මෙරට ද වඩා යහපත් ක්‍රමයක් කරා ගමන් කිරීම රාජපක්ෂ පාලනය අහෝසි කිරීමෙන් පසු අද අප හමුවේ ඇති ප්‍රායෝගික අභියෝගය යි.

රාජපක්ෂගේ ධනේශ්වර ක්‍රමය පවුල්වාදය, දූෂණය සහ භිෂණය මත පදනම් වූ එන්න එන්නම අධිකාරිවාදී වූ එකක් බවට පත් වෙමින් තිබිණු. එය පෙරළා දැමිය යුතුවූ අතර රාජපක්ෂවාදයට යළි බලයට ඒමට කිසිදු අවස්ථාවක් නොදිය යුතුව තිබුණි. එම කාර්යය දේශපාලන තලයෙහි අන් කිසිදු කාර්යකට වඩා ප්‍රමුඛ වී තිබුණි. තමන්ට ම සීමා වූ දැවෙන ප්‍රශ්ණ මගින් පීඩා විදිමින් සිටි දෙමළ සහ මුස්ලිම් ජනයා රාජපක්ෂ පෙරළා දැමීමේ සත්කාර්යට එකාමෙන් නැගී සිට සහාය වූයේ ද එය සිය ජිවිතයට බලපාන මූලික කරුණ බව අත්දැකීමෙන් ම පසක් කර ගෙන සිටි නිසා ය.

යුද්ධය අවසානයකට පැමිණිමෙන් පසු රාජපක්ෂ පාලනය සිය මර්ධනකාරී පැවැත්ම තහවුරු කර ගැනීමට යළි හිසඔසවන එල්ටීටීඊ බිල්ලකු නිර්මාණය කළේ ය. දැන් මෙම වසර තුලදීම දෙමළ ජනයා විසින් දෙවරක් ම එල්ටීටීඊ හිතවාදී බවත් පෙන්වා ජන්ද ගරා ගැනිමට පැමිණී බලවේග මැතිවරණ සිතියමෙන් අතුගා දමා තිබේ. ජනාධිපතිවරණයේ දී එම බලවේග ජන්දය වර්ජනය කරන ලෙස දෙමළ ජනයාට කියා සිටියහ. මහ මැතිවරණයේ දී මධ්‍යස්ථ සහ නම්‍යශීලී දෙමළ ජාතික සන්ධානය පරදවන ලෙස උද්ඝෝෂණ කළහ. එම දෙවතාවෙහිදී ම දෙමළ ජනයා විසින් ඔව්න් අතුගා දමන ලදී.

යුද්ධ අවසානයෙන් පසු යුද්ධයට හේතු වූ දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් ඉටුකිරීම වෙනුවට රාජපක්ෂ පාලනය උත්සාහ කළේ ඔවුන් යටිතල පහසුකම් පෙන්වා ගිනකන වැට්ටවීම මගින් මුලා කිරිමට ය. නමුත් ඔව්හු ගිනිකන නොවැටුනි. සිංහල ජනයා ගිනිකන වැටටවීමට රාජපක්ෂ පැලනය යොදා ගත්තේ එල්ටීටීඊ භිතිකාව, යුද්ධ ජයග්‍රහණය සහ මහින්ද රාජපක්ෂ පුද්ලගාභිවාදනයයයි. එය බොහෝ දුරට සාර්ථක විය. එම කරුණු තුන මත ගොඩ නගන ලද රාජපක්ෂ ජනප්‍රියත්වය තවමත් සහමුලින්ම අහෝසි වී නැත. අනෙක් අතට රාජපක්ෂ පාලනය සිය පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස සිය අනුගාමික දේශපාලනඥයින්ට සහ ව්‍යාපාරිකයිනට ඇති තරම වරදාන පිරි නමමින් වංචා දූෂණ මගින් සිත සේ සිය මඩි තර කර ගත හැකි ජාවාරම්කාර දේශපාලන සංස්කෘතියක් ඇති කළේ ය.

දැන් රාජපක්ෂ පරාජය කිරීමෙන් පසු අලුත් ආණ්ඩුව රාජපක්ෂගේ භිෂණයේ සහ දූෂණයේ දේශපාලනය ද පරාජය කරමින් වඩා යහපත් දිශාවක් කරා රට ගෙන යන බවට බව පෙන්වන දර්ශක කිසිවක් තිබේ ද?

19වන සංසෝධනය සම්මත කිරීම සහ යුද සමයේ සිදු කරන ලදැයි චෝදනා ලබන අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට සැමට පිළිගත හැකි ස්වාධීන දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බවට දී ඇති පොරොන්දුව හැරුණ විට ජයවේවා යැයි කිව හැකි අන් කිසි පියවරක් නැත. මේ වනාහි ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ අට මාසයක ප්‍රගති වාර්තාව ය.

වැඩි කරන ලද වැටුප් රුපියල කඩා වැටිම විසින් වාෂ්ප කර යවා තිබේ. ඉහළ නංවන ලද සහතික මිලට යල් කන්නයේ වී ගැනීම බොහෝ දුරට ම අසාර්ථක විය. විශ්‍රාමික වැටුප් වැඩි කිරීම තවම හරි හැටි කෙරී නැත. පසුගිය මාස තුනට පමණක් අච්චු ගසන ලද මුදල රුපියල් බිලියන සියයකි. කොටස් වෙළද පොළ දිගටම කඩා වැටෙයි.

ඒ අතර වාරයේ සියය ඉක්මවූ අමාත්‍ය මංඩලයකි.ඒ මදිවාට දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවා ඇමැතිවරයකුගේ බලය සහ වරප්‍රසාද සහිතව තවත් දේශපාලනඥයින් 22කට එවායේ සභාපතිකම් දීමට යන බව කියැවේ. මේ පළාත් සභාවන්ට අමතරව ය.

රට හැදිමට නම් ඇමැතිකම් මෙතරම් අවශ්‍ය ද යන ප්‍රශ්ණයට ඇති පිළිතුර ඉතා සරළය. එනම් නැත යනුයි. ජාතික ආණ්ඩුවේ දේශපාලන පක්ෂයන්හි ඇත්ත අරමුණ රට හැදීම නම් දේශපාලනඥයින්ට මෙතරම් වරදාන සැපයෙන අලි සයිස් ඇමැති මණ්ඩලයක් කුමට ද? ඇත්තේ කැපවීමක් නොව වරප්‍රසාද සඳහා සටනක් බව පැහැදිළි ය.

ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී රාජපක්ෂ පාලනයට එරෙහිව එල්ල කරන ලද ප්‍රධාන චෝදනා ගණනාවක්ම දැනටමත් වසා දමා තිබේ. කේපී නොහොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්ටීටීඊ නායකත්වයට පත් පුද්ගලයා සතු වූ එල්ටීටීඊ ධන සම්පත් රාජපක්ෂවරුන් විසින් කොල්ල කෑ බව කීවේත් එම ධන සම්පත් මෙරටට ගෙනෙන බවට කීවේත් අප නොව අගමැති රනිල් වික්‍රමසිංහය. දැන් කේපී නිදහස් ය!

එමෙන්ම ගාලු වරායේ පවත්වා ගෙන ගිය පාවෙන අවි ගබඩාව සහ රක්නා ලංකා සහ ඇවන්ට් ගාඩ් ආයතන ගැන අද ආණ්ඩු කරවන එජාපය කොතරම් විවේචන කළේ ද? ඇවන්ට් ගාඩ් ආයතනය වෙනුවෙන් නීති සහය දුන් බවට කියැවෙන තිලක් මාරපන දැන් නීතිය සහ සාමය පිළිබද ඇමැති ය. රාජපක්ෂ විරෝධී සටන් සමයන්හි මේ පුද්ගලයා සිටි තැනක්වත් දැනගන්නට තිබුණේ නැත. ඊටත් වඩා දැන් ඇවන්ට් ගාඩ් නිදහස් ය!

සිරිලිය ගිනුම ගැන අහන්නටවත් නැත. තාජුඩීන් ඝාතනයටත් ඒ ඉරණමම අත් වෙයි ද? ප්‍රගීත් ඝාතනය වසා දැමීමට දැවැන්ත යුද හමුදා මෙහෙයුමක් ජනමාධ්‍ය හරහා දියත් වී තිබේ.

තවද එජාප මුදල් ඇමැතිවන රවි කරුණානායකගේ මැතිවරණ ප්‍රචාරයයන්ට නමගිය පාතාල පිරිස් සම්බන්ධව සිටි බව දැන් පොලිස් වාර්තා අනුව හෙළිදරව් වී තිබේ. ඔහු වෙනුවෙන් ජන්දය ඉල්ලීමට ගිය අසරණ ගැහැණියක් සහ මිනිසකු මිය ගියේ මෙම පාතාලයන් ඊට සම්බන්දව සිටි නිසා ය.

පාර්ලිමේන්තුවට ඇඳගෙන යෑමට මස්සවන ලද සිය ඇඳුම් කට්ටලය ඇමැතිවරයකු විසින් රුපියල් 5000ක් අඩුවෙන් දී බලයෙන් රුගෙන ගිය බව සති අන්ත ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කර තිබු‍ණේ ඔහු ‘ක්‍රිස්තියානි’ බවට ඉඟි කරමිනි.

දැන් කොරේ පිට මරේ කීවා සේ ආණ්ඩුවේ නමහර නියෝජ්‍ය ඇමැතිවරු දෙස බලන විට ජනාධිපතිවරණයෙන් සහ මහා මැතිවරණයෙන් මෙරට මහා ජනයා යළි පැරදී නැත්දැයි අසන්නට සිදුවේ. මැරවර බොරුකාර කුඩුකාර නියෝජ්‍ය ඇමැතිවරු සමඟ කෙසේ යහ පාලනයක් ඇති කරන්නද?

ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අද මෙම තනතුරු ලබා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට දූෂණය සහ භිෂණය පැරදවීමට වසර ගණනාවක් සටන් කළ මහා ජන බලවේගයන්ට ස්තුතිවන්නට ය. එම මහජනයාගේ අපේක්ෂා විනාශ නොකර යළිත් සෙක්කුව සේ එකතැන කැරකැවෙන්නේ නැතිව පොරොන්දු ඉටු කිරීම එම දෙදෙනාගේම වගකීමයි. එම පොරොන්දු ඉටු කැරෙන බවට වගබලා ගැනීමේ අයිතියක් සහ වගකීමක් සිවිල් සමාජ ව්‍යාපාරයන්ට ද ඒ තරමටම තිබේ.

වත්මන් ආණ්ඩුවට සාධනීය විවේනයන් ඉදිරිපත් කරමින් එය නිවැරදි මාර්ගයේ පවත්වා ගැනීම අප විසින් අත හැරිය යුතු නැත. ශ්‍රී ලංකාව හමුවෙහි ඇති මෙම අවස්ථාව අපතේ නොයැමට නම් අප නිශේධාත්මක නොවී ඍජුව මෙන්ම සාධනීය ලෙස කටයුතු කිරීම අද දවසේ අවශ්‍යතාවයයි.

සුනන්ද දේශප්‍රිය

Top