මැතිවරණ පවත්වන කාලයේ විවිධ දේශපාලන වේදිකාවල පොරොන්දු රැසකි. එනකොට සහ කරනකොට කෙසේ වූවද කියනකොට සහ යනකොට ඒවාට සීමා මායිම් නැත. රූපවාහිනී දේශපාලන වැඩසටහන් වලින් බොහෝ විට සිදුවනුයේ පොර කොටා ගැනීමකි. ඒ අනුව ගම්වල සිටින අහිංසක මිනිසුන්ද ඇණ කොටා ගනිති. දේශපාලන පොරොන්දු ගලේ කොටපු අකුරක් මෙන් ස්ථීර දෙයක් නොවන බව ඉතිහාසයෙන් පැහැදිලිය. බොහෝ දේශපාලනඥයන් කොට කජු ගස් හතෙන්ම පැනපු අය වේ.
එජාපයේ මෙවර මහ මැතිවරණ ප‍්‍රධාන පොරොන්දුවක් වන්නේ රටේ ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සියළු ගම්මාන එකතු කොට පොකුරු ගම්මාන 2,500ක් බිහිකර එම ගම්මානයන්හි ආර්ථිකය දියුණු කිරීමට උපදෙස් සහ ආධාර ලබාදෙන බවය. මෙය ගමට රටක් යනුවෙන් හැදින්වූවද ගම කන වැඩකි. ධර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමට යැයි කියමින් 1977 ජුලි මස බලයට පත්වූ එජාප ආණ්ඩුව අවසානයේදී ග‍්‍රාමීය තරුණයින් 60,000කට ආසන්න ප‍්‍රමාණයකට ජිවිත අහිමි කළේය.
ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 80ක් ජීවත් වන්නේ වතුකරයේ සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවලය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 160ක් ඇති අතර එය ග‍්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ විහිදී ඇත. ඒවායේ ඇති ගම්මාන සංඛ්‍යාව 35,440කි. පොකුරු ගම්මාන 2,500ක් ඇති කරන්නේ ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටලූ. අපනයන ගම්මාන නමින් එදා එජාපය ඇතිකල ප්‍රෝඩාවද ගම රැවටීමකි.
ගමක් යනු පරසර පද්ධතියකි. ගම සදාචාරය සහ ආර්ථිකයේ ප‍්‍රධාන අංගයකි. ගමට ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගිය හැක්කේ ග‍්‍රාමීය සම්පත් ඥානවන්තව උපයෝගි කර ගැනීමෙනි. ජන සහභාගිත්වය, ශිල්පීය ඥානය, නවතම දැනුම ඒ සදහා අතවශ්‍ය සාධකයින්ය. එය සිදුවිය යුත්තේ ගමේ සමබරතාවයට හානියක් නොවන පරිදිය. එජාපය 2002 ආණ්ඩුව ලබාගත් විට කීවේ කුඹුරුවල වී අස්වැන්නට වඩා වැඩි ආදායමක් ගර්කින් වගාකර ඒවා අපනයන කිරීමෙන් ලබාගත හැකි බවය. ඒ වී ගොවිතැනට ඇති එජාපයේ ආලේ තරමය. බුලත් වෙනුවට ආදේශකයක් ලෙස චුයින්ගම් හ`දුන්වා දීමට යෝජනා කළේය. එජාපය තංගුස් පට අල්ලාගෙන වැට නැති කටින් ඒවා කියාගෙන ආවද යන්නේ කිත්තං කඹ කඩාගෙනය. විජාතික වට්ටක්කා චින්තනය මත පදනම්ව ගමට රටක් කියා පොකුරු ගම්මාන 2,500න් සිදුවන්නේ ගම වැනසීමකි.
බටහිර බලවේගයන්ට අද අවශ්‍යව ඇත්තේ අපේකම නැතිකිරීමය. ඒ සමග එජාප යෝජනාවනම් කදිමට ගැළපෙන බවනම් සත්‍යයකි. සුනිල් සරත් පෙරේරාගේ පද රචනයකට අනුව සුනිල් එදිරිසිංහ ගායනා කරන ගීයක සඳහන් වන්නේ ‘‘කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා, දෙස බස රැකුමට නුවණින් වැඩකරපල්ලා’’ යනුවෙනි. අද පොකුරු ගම්මාන වෙනුවට එදා අධ්‍යාපන ධවල පත‍්‍රිකාවෙන් ගෙන ආවේ පොකුරු පාසැල්ය. අවසානයේ සිදුවූයේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමය. එදා කීවේ පාසැලක් විවෘත කිරීම යනු සිරගෙවල් දහසකට දොර අගුලූ දැමීමක් බවය. එහෙත් පොකුරු පාසැල් සංකල්පයෙන් සිදුවූයේ පාසැල් ඇරෙනවා වෙනුවට කුඩා පාසැල් වැසීයාමය.
එජාප මැතිවරණ තවත් පොරොන්දුවක් වන්නේ බස්නාහිර පළාතම නගරයක් කරන බවය. බස්නාහිර පළාතට කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කයන් අයත් වේ. කොළඹ දිස්ත‍්‍රිකයේ අවිස්සාවේල්ල ආසනයත්, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්ද අතිශයින් පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ගැමි සංස්කෘතියෙන් පිරිපුන් ප‍්‍රදේශයන්ය. එදා මේ පළාත් හැදින්වූයේ අලූත්කුරු කෝරළේ(මීරිගම අවට), සියැනෑ කෝරළේ(අත්තනගල්ල අවට), හේවාගම් කෝරළේ(අවිස්සාවේල්ල අවට), සල්පිටි කෝරළේ(පිළියන්දල අවට), රයිගම් කෝරළේ(හොරණ අවට* පස්දුන් කෝරළේ(මතුුගම අවට* ඇතුළු විවිධ නම් වලිනි.
බස්නාහිර පළාතේ මෙම ගැමිකම අදටද ඔවුනට ආභරණයකි. බස්නාහිර පළාතම නගරයක් කිරීමේ යටි අරමුණ ජනතාවගේ පොකැට් එකට තට්ටු කිරීමය. ඒ නගර සංකල්පය බිහිවූ පසු එහි වැසියන් ගෙන් අධික බදු අයකර ගැනිමට ආණ්ඩුවට හැකිවීමය. හැටේ දශකයේදී ශ්‍රීලනිපයෙන් කුමන්ත‍්‍රණකාරිව එජාපයට පැන්න නිවිතිගල මන්ත‍්‍රී ස්ටැන්ලි මොල්ලිගොඩ පාර්ලිමේන්තුවට යෝජනා කළේ නිවිතිගල පාරවල්වල වංගු වැඩි බැවින් ඒවා බිමට සමතලා කර අළුතින් පාරක් සැදිය යුතු බවය. එවිට ශ‍්‍රිලනිප කෝට්ටේ මන්ත‍්‍රී ස්ටැන්ලි තිලකරත්න, කථානායක ගෙන් අසා සිටියේ එක මොල්ලියක් තිබෙන තැනැත්තා ගොනා ලෙස හදුන්වන නමුත් මොල්ලි ගොඩකින් හදුන්වන තැනැත්තාට කියන නම කුමක්ද යන්නය.
බස්නාහිර පළාතේ මෙම සංස්කෘතිය විදේශ ආක‍්‍රමණ වලට පවා වෙනස් කල නොහැකි විය. එජාප රජය 2002 සිට වසර දෙකක් ආණ්ඩුව කරද්දී කෝට්ටේ ඇමතිවරයෙකුගේ යෝජනාවක් අනුව කෝට්ටේ බංගලා හන්දියේ පිහිටි ශ‍්‍රී ජයවර්ධනපුර විදුහලේ නාමය එහි කලින් තිබූ ක‍්‍රිස්තියන් කොලේජ් නමින් නම් කිරීමට තීරණය කළේය. දැඩි ජනතා විරෝධයක් පැන නැගිණි. පුරාවිද්‍යා ඉතිහාසය අනුව එදා ක‍්‍රිස්තියන් කොලේජ් පිහිටුවීමට අඩිතාලම යොදා ඇත්තේ රජකාලයේ සිට එහි තිබූ පිරිවෙනක් මුළුමනින් විනාශ කර බෞද්ධ භික්ෂූහු සිය ගණනක් ඝාතනයෙන් පසුවය. එම උද්ඝෝෂණය හමුවේ පාසැලේ නාමය පෙර පරිදිම විය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගම දියුණු කළේ ගම තුළින් ලැබූ දැනුම, පළපුරුද්ද සහ ගම තුළ ජීවත්වූ අත්දැකීම් ඔස්සේය. ඉන් පැහැබර අනාගතයක වරුණ මතුවිය. වැහැරී ගිය ශ‍්‍රමය යළි පුනර්ජීවන චින්තනය ඵල දැරීය. වැළලී ගිය සම්පත් යළි උදා කර ගැනිමේ සංකල්පය මතුවිය. ගැමි ජනතාවගේ සැ`ගවුණු හැකියාවන් ප‍්‍රතිඋද්දීපනය කිරීමේ ප‍්‍රාර්ථනාවන් විකසනය විය. ගම් දොරට දියුණුවේ රන් දොරටු විවර විය. ගැමි ජනතාව වෙනුවෙන් සිදුකල එම වැඩසටහන් සියල්ලම අද ඇණහිට ඇත. ලක්ෂ සංඛ්‍යාතික පිරිසකට ජීවන මංපෙත් ඇහිරී ඇත. ඒ ගම කෙරෙහි ඇති එජාප ආණ්ඩුවේ කෙරුවාවය.
‘යහපාලන’ ආණ්ඩුව යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හදපු ගොඩනැගිලි විවෘත කිරීම අතරතුර හිටපු රජයෙන් කිසිදු සංවර්ධනයක් නොකර හොරා කෑවායැයි බොරු අවලාද නගන ආණ්ඩුවකි. ඉකුත් මාස 6 තුළ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් ලෙස සිදු නොවු අතර මුදල් වැයකළේ රජයේ වියදම් පියවා ගැනීමටය. එම මාස 6 තුළ ලබාගත් ණය ප‍්‍රමාණය 2015 වසර වෙනුවෙන් සම්මතවූ මුළු ණය මුදලින් සියට 96කි. සමස්ත කොටස් වෙළෙදපොළේ අගය 2009දී ඇමරිකානු ඩොලර් බිලියන 5.2ක් විය. එය 2014වන විට ඩොලර් බිලියන 28 දක්වා ඉහළ ගෙන ඒමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකිවිය. ඉකුත් මාස 6 තුළ පමණක් එය ඇමරිකානු ඩොලර් බිලියන 23 දක්වා පහත වැටී ඇත. ‘යහපාලන’ ආණ්ඩුවේ මතට තිත වැඩසටහනද අන්න නයා, මෙන්න පොල්ල, මං සිල්ගත්තා වගේ ඇග බේරාගෙන කරන නර නාටකයකි. මෙරටට ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය 2014 වසරේ මාස 12 ඇතුළත මිලි ලීටර් ලක්ෂ 14.7කි. අලූතෙන් ලබාදුන් එතනෝල් බලපත‍්‍ර සංඛ්‍යාව 26කි. මෙම වසරේ මුල් 6 මාසය තුළ මෙරටට ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය මිලි ලීටර් ලක්ෂ 13.9කි. ‘යහපාලන’ ආණ්ඩුවේ ඇත්තෝ මේවා ඉදිරියේ හැසිරෙන්නේ ආදා මාළු ඉරට්ටෙන් කනවා වගේය.
වත්මන් ආණ්ඩුවේ දේශපාලන සටන් පාඨ වී ඇත්තේ යහපාලනය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. දූෂිතයා, හොරා, අපරාධකාරය යන පාදඩ දේශපාලන සටන් පාඨය. මෙම සටන් පාඨ එජාපයේ 1977 ආරම්භ කල දුර්දාන්ත පාලනයේ ක‍්‍රියාකාරකම්වල නිරුවත වසා ගැනීමක් පමණි. එබැවින් මෙම හුඹස් සටන් පාඨවල ඉලක්කය වන්නේ ඉතිහාසය ගැන නොදන්නා අය සහ හිතාමතාම ඉතිහාසය අමතක කල අය වේ. මෙවැනි අය උදේට ගල් ගසති. ?ට පොල් ගසති. උදෑසන මල් කඩති. රාත‍්‍රීයේ වල් නෙලති.
ශ‍්‍රිලනිප නායක මෛත‍්‍රීපාල සිරිසේනගේ විශේෂ ප‍්‍රකාශයෙන් වින්දනයක් ගත්තේ එජාපයේ සහ ජවිපෙ අය පමණි. අවම වශයෙන් ශ‍්‍රිලනිප මෛත‍්‍රී කල්ලියේ දඹුල්ලේ ජනක තෙන්නකෝන්, හිනිදුම පියසේන ගමගේ, කටානේ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ වැනි අයට පවා එය අරහන්ය. ශ‍්‍රිලනිප සමාජිකයින් ඇතුළු රටපුරා ප‍්‍රගතිශීලින්ට එය තවත් චූන් පාන් කථාවක් පමණි. මෛත‍්‍රීපාලගේ එම විශේෂ ප‍්‍රකාශය එජාප නායකයා වන අගමැති රනිල් වික‍්‍රමසිංහට නම් කොහොඹ ගසට කරවිල වැල ගියා වගේ වැඩකි.
ශ‍්‍රීලනිපයේ සියයට 99යක ගේ අගමැති අපේක්ෂකයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. ශ‍්‍රිලනිපයේ සියයට 99ක ගේ බලය ඇත්තේ මහින්ද රාජපක්ෂට බව ජනාධිපති සිරිසේනද පිළිගෙන ඇත. මෙම වෙනස වෙනස් කල නොහැකිය. ශ‍්‍රිලනිප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ වදනකින් කියනවානම් ගලන ගඟ ආපසු හැරවිය නොහැකිය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටද සිදුකල යුත්තේ පරණ ශේෂ පත‍්‍ර පරික්ෂා කරනවා වෙනුවට මහ මැතිවරණයේ සන්ධාන ජයග‍්‍රහණයෙන් පසු අලූත් හවුල් ගිණුමක් මහින්ද රාජපක්ෂ සම`ග ඇරඹීමය.
එක් පසෙක මහ බැංකු පේ‍්‍රතයෝය. අනෙක් පසින් බෙදුම්වාදී කුම්භාණ්ඩයෝය. මහින්ද රාජපක්ෂ දේශපාලනය අත්නොහැරීම ප‍්‍රශ්නයක් වී ඇත්තේ ශ‍්‍රිලනිප පාක්ෂිකයින්ට හෝ රටේ බහුතර ප‍්‍රගතිශීලි ජනතාවට නොවේ. ඇමරිකාවට සහ ඉන්දියාවටය. ඔවුුන්ගේ ගැත්තන් සහ ඉත්තන්ටය. එන්.ජී. ඕ. ඩොලර් කාක්කන්ටය. කළගුණ දන්නා ජාතියක් ලෙස කොටි ත‍්‍රස්තවාදීන් පරදවා මව්බිමට විජයග‍්‍රහණය ගෙන දුන් මහින්ද රාජපක්ෂට කරපිංචා න්‍යායෙන් සැලකීමට ජනතාව කිසිසේත් සූදානම් නැත. මහින්ද රාජපක්ෂ අගමැති කල යුත්තේ දිනූ දේශය රැක ගැනීමටය. මව්බිමේ ආර්ථික පුනරෝදය යළි විකසිත කිරීමටය. එබැවින් ගමේ ජනයා මහින්ද අගමැති කිරීමේ සටන ජවයෙන් මදකුදු අඩු නොකර අධිෂ්ඨානයෙන් ඉදිරියට ගෙන යයි. එය හරියට ගෞතම බුදුන් මම බුදුවී මිස මෙම ඇසතු බෝරුක මුලින් නොනැගිටිමි කියා කල අධිෂ්ඨානය හා සමානය. ගම දිනාගැනීම සදහා පොකුරු ගම්මාන 2,500 ඇරඹීමේ සහ බස්නාහිර පළාත නගරයක් කිරීමේ එජාප මැතිවරණ කැරට් අලයෙන් සිදුවන්නේ අතීසාරයට අමුඩ ගැසීමක් පමණි.
කුරුණෑගල දිස්ත‍්‍රික්කෙන් ඉදිරිපත්වන මහින්ද රාජපක්ෂ පිටගම්කාරයෙක් යැයි පවසා කරන චෝදනා, වැල වරකා වැනි දෙලොවටම නැති කථාය. චන්ද්‍රීකා කුමාරණතුංග 1994 ගම්පහ දිස්ත‍්‍රිකයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් තර`ගකර ඡන්ද 464,588ක් ලබා ගත්තාය. බැසිල් රාජපක්ෂ 2010දී ගම්පහ දිස්ත‍්‍රිකක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර ඡන්ද 425,861ක් ලබා ගත්තේය. එජාප නායකයා වශයෙන් 2004දී කොළඹ දිසත‍්‍රික්කයෙන් තරඟ කර රනිල් වික‍්‍රමසිංහ ඡුන්ද 329,524ක් ලබා ගත්තේය. මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,266,443කි. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ සන්ධානයෙන් තරඟ කරමින් ලක්ෂ 8ක ආසන්න වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබාගනු ඇත. එබැවින් කුරුණෑගලට මහින්දගේ ආගමනය ගැන දොස් දෙවොල් තබන අයට අගොස්තු 18වැනිදා සිදුවනු ඇත්තේ වැල වහල්ලේ කෝදුරුවෝ මෙන් ඒකටම වැදී දේශපාලන වශයෙන් අනාථ වීමටය.
තැටිය රත්වුණු වේලේ රොටිය පුච්චාගන්නට සිතුවේය. දින 168ක් තුළම හිඟන්නාගේ තුවාලය මෙන් රොටිය විකුණාගෙන කෑමට සිතුවද අවසානයේදී රොටිය කරවිය. ‘යහපාලන’ බොරුවෙන් සැමදා රට රැවටිය නොහැකිය. පොකුරු ගම්මාන 2,500 සහ බස්නාහිර පළාත නගරයක් කිරීමේ යෝජනා දේශපාලන ඡන්ද කඩා ගැනිමේ කලගෙඩි සෙල්ලම් පමණි. ජනමත විචාරණය 1982දී පැවැත්වුයේ මේ කලගෙඩි සෙල්ලම් එජාපයට හොදටම හුරු පුරුදු බැවිනි. වසර 1815දී සිදුවු වරද නිවැරදි කිරීමට බොහෝ කලක් සිටීමට සිදුවිය. වසර 2002 සිදුවූ වරද නිවැරදි කිරීමට වසර 2ක් ගතවිය. ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා සිදුවූ වරද නිවැරදි කිරීමට මාස 7කින් හැකිවීම පූරුවේ පිනකි. ඒ සඳහා කල් යල් බැලිය යුත්තේ අගෝස්තු 17වන තෙක් පමණි.
ධර්මන් වික්‍රමරත්න
(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)