Featured

ඇවන්ගාඩ් වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරණ මෙහෙයවූ රඛිත රාජපක්ෂ ICTA අධ්‍යක්ෂ මණ්ඩලයට

වහාම ක්‍රියාත්මක වන පරිදි මුහුන්දන් කනගී මහතා තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ (ICTA ) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්කර, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ පත්කර ඇතැයි වාර්තාවේ.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මේ බව දැනුම් දෙමින් එම ආයතනයට ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඔහු මුහුන්දන් කනගී මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමක් ද කර ඇති බව වාර්තාවේ.

මීට අමතරව තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කල නීතිඥ උපුල් කුමාරප්පෙරුම හා මාධ්‍යවේදී චානුක වත්තේගම යන දෙදෙනා ද එම තනතුරුවලින් ඉවත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලද විගස මොවුන් කිසිවකුට ඉල්ලා අස් නොවන ලෙසත්, අගමැතිවරයා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ඔවුන් තවදුරටත් රඳවා ගැනීමට කටයුතු කරන බවටත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු දැනුම් දී තිබේ.

මුහුන්දන් කනගී මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතකු වන අතර, පසුගිය මැතිවරණ වලදී එ.ජා.ප. සන්නිවේදන අංශය බාර ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කලද මුහුන්දන් කනගී තොරතුරු තාක්ෂණික නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත.

අළුතින් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති රඛිත රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් මුදල් පරිහරණය සම්බන්ධව කටයුතු කළ අයෙකු වන අතර එම කාලය පුරාවට ඔහු විසින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එම සමාජ ජාල ප්‍රචාරණ ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිටි බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල විය.

එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද ඔහු විසින් මෙහෙයවන ලද ඔහුගේ පියාගේ සමාජ ජාල පිටු මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීම් නොතකමින් කටයුතු කළ අතර ඇවන්ගාඩ් සම්බන්ධ සිදුවීමේ දී ද රඛිත රාජපක්ෂ විසින් නොයෙකුත් වෙබ් මාධ්‍ය ආයතන හරහා ඇවන්ගාඩ් සමාගමට විරුද්ධ පුද්ගලයන් හට ඉතාමත් පහත් ආකාරයෙන් පහරගැසීමට කටයුතු කළ පුද්ගලයෙකු ලෙස දැඩි චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.

මෙවැනි චෝදනා රැසක් එල්ලවී ඇති පුද්ගලයෙකු නියාමන ආයතනයක අධ්‍යක්ෂ ධූරයට පත්කිරීමට කටයුතු කිරීම තුල අනාගතයේ අන්තර්ජාලය හා සම්බන්ධ ප්‍රජාවගේ දැඩි අවධානයට පාත්‍රවී තිබේ. එමෙන්ම මේ තත්වය තුල තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාකාරීත්වයේ පවතින විනිවිධ භාවය සහ විශ්වාසනීයත්වය පිළිබඳ දැඩි සැකයක් ඇතිවනු ඇති.

Top