LNN SPY

ඇස් පනාපිට තිබෙන සාක්ෂි මඟහැර මේ යන්නේ වෙන පාරක… මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ඊනියා විමර්ශනය මෙන්න

Published on: Sep 17, 2018- මාධ්‍යවේදී කීත් නොයාර් 2008 මැයි 11 වන දා ලියූ ලිපියත්, 2008 ජුලි 8 වනදා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සැලකිල්ලට ගැනීම සිතා මතාම පැහැර හරින බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේන බවත් එයට හේතුව අන් කිසිවක් නොව කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රබලයෙකු වන නිසා බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන ඊනියා විමර්ශනය

පසුගිය අගෝස්තු 17 වනදා පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් 2008 දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් එතුමාගේ නිල නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී. ඉන් පසුව ගතවූ කාළය තුළදී හිටපු ජනාධිපතිතුමා කීත් නොයාර් සිද්ධියට සම්බන්ධ බවට හැඟවෙන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමට ආණ්ඩුවේ දේශපාලඥයින්, ආණ්ඩුවේ ජන මාධ්‍ය, ආණ්ඩුවට පක්‍ෂපාත වෙබ් අඩවි හා රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරන ආකාරය අපට පෙනුනි. එයින් සති දෙක තුනකට පසුව සැප්තැම්බර් 12 වනදා පොලිස් අපරාධ විමර්ශන අංශය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන්ද කීත් නොයාර් සිද්ධිය ගැන ප්‍රකාශයක් ලබා ගත්තේය. කීත් නොයාර් සිද්ධිය කිසිවෙකුගෙත් ඇඟට නොදැනීම රාජපක්‍ෂවරුන්ගේ ගිණුමට බැර කිරීමේ උත්සාහයක් මෙයින් විද්‍යාමාන වේ. කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය මීට අවුරුදු 10කට කලින් සිදුවූවක් නිසා මෙම සිද්ධිය සම්බන්ධ වැදගත් කාරණා කීපයක් මහජනතාවට මේ අවස්ථාවේ මතක් කර දිය යුතුය.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සිදුකරනු ලැබුවේ 2008 මැයි 22 වනදාය. ඊට පසු 2008 ජුනි 30 වන දා නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර යන මාධ්‍යවේදීන්ට ද මහමඟ පහර දෙන ලදී. 2008 ජුලි 8 වන දා මෙම සිද්ධීන් දෙකම පාදක කරගනිමින් එකල විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් මයිකල් පෙරේරා මහතා ‘මාධ්‍යවේදීන්ට එල්ලවෙන තර්ජන’ යන මැයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කලේය. මෙකී විශේෂ ප්‍රකාශයේදී ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේ මේ පහරදීමේ සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ හමුදාපතිවරයා යටතේ සිටි විශේෂ කණ්ඩායමකින් බවත් තමන්ට ඒ සම්බන්ධ තොරතුරු එම විශේෂ කණ්ඩායමේ සාමාජිකයෙකු විසින්ම ලබාදී ඇති බවත්ය. මේ සිද්ධීන් සිදුවූ අවස්ථාවේදී යුද හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාය. මාධ්‍යෙවේදියෙකුට යම් තර්ජනයක් එල්ල වන්නේ නම් එය ඔහු විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද යම් කිසිවක් හේතුකොට ගෙන සිදු වූවක් බව අප උපකල්පනය කළ යුතුය.

මේ සම්බන්ධයෙන් ගත්කල, කීත් නොයාර් මහතාට පහරදීමට දින 10 කට කලින් එනම් 2008 මැයි 11 වන දා ‘ද නේෂන්’ පුවත්පතේ ‘මිලිටරි මැටස්ර්’ තීරුවේ “යුද හමුදාවක් යනු එහි හමුදාපතිවරයාගේ පුද්ගලික බූදලයක් නොවේ” යන මැයෙන් පලවූ ලිපියෙන් නොයාර් මහතාට පහරදීමට පෙළඹවීමක් තිබිය හැක්කේ කාටද යන්න ගැන යම් කිසි අවබෝධයක් අපට ලබාගත හැක. නමුත් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසිය කීත් නොයාර් 2008 මැයි 11 වන දා ලියූ ලිපියත්, 2008 ජුලි 8 වනදා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සැලකිල්ලට ගැනීම සිතා මතාම පැහැර හිරන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එයට හේතුව අන් කිසිවක් නොව කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් වගකිවයුත්තා වත්මන් යහපාලන ආණ්ඩුව තුළ ප්‍රබලයෙකු වන නිසාය.

කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් පහරදීමට සම්බන්ධ අය පෙන්නුම් කරන සාක්ෂි සියල්ල මඟහරිමින්, නොයාර් මහතාව බේරා ගැනීමට විවිධ පුද්ගලයන් අතර හුවමාරු වූවා යැයි කියන දුරකථන ඇමතුම් ගැන විමර්ශනය කරමින්, ඉතා වංක ආකාරයට අවධානය වෙනතකට යොමු කිරීමට පොලීසිය උත්සාහ දරමින් සිටින බව අපට පෙනේ. ඇස් පනාපිට තිබෙන සාක්ෂි මඟහැර මේ විමර්ශනය සිදු කිරීමට ඉඩ දී නිකම් සිටිය නොහැකි නිසා, කීත් නොයාර් මහතා 2008 මැයි 11 වදා ලියූ ලිපියත්, එකල විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා 2008 ජුලි 8 වන දා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් ඔස්සේ විමර්ශනය කරන මෙන් අපි පොලීසියෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙමු. මේ ඉල්ලීමට සතුටුදායක ප්‍රතිචාරයක් පොලීසියෙන් නොලැබුනොත්, අදාල කරුණු උසාවියේ අවධානයට යොමු කිරීමට අපි කටයුතු කරන්නෙමු.

ඩලස් අලහප්පෙරුම (පා. ම.)
ජාතික සංවිධායක
ඒකාබද්ධ විපක්ෂය

පසු සටහන – සියලුම මාධ්‍යෙව්දී සහෝදරයන්ගේ දැනගැනීම පිණිස අප මෙම මාධ්‍ය නිවේදනය සමඟ පහත දැක්වෙන ලියවිලිද මේ විද්‍යුත් තැපෑලටම අමුණා එවමු.

 

2008 ජුලි 8 වන දා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝසප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයේ හැන්සාඩ් වාර්ථාව. (854 තීරුව බලන්න)

2008 මැයි 11 වන දා කීත් නොයාර් මහතා විසින් ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගැන ‘ද නේෂන්’ පුවත්පතට ලියූ ලිපිය.

Top