Featured

එන්ජීඕ චක්‍රවර්තිලා හෙලුවෙන් ,විග්නේශ්වරන්ගේ සහ ඊළාම් ඩයස්‌පෝරාවේ අපූරු සංහිඳියාව

33 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව නිමාවට පත්වී ඇත. එහෙත් මෙරට සංහිඳියාව ගැන හඬ නඟද්දී සුපුරුදු එන්. ජී. ඕ. කල්ලිය සිය පුරුදු ක්‍රියාදාමය තවදුරටත් ජිනීවාහිදී දියත් කරනු ලැබීය.

ඊළාම් ඩයස්‌පෝරාව පිටු 7 කින් යුත් රහස්‌ ලියවිල්ලක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට භාර දී ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකරන බවට පැමිණිලි කළේය.

එහි මූලික කරුණු මෙසේය. පුනරුත්ථාපනය කළ හිටපු කොටින් විෂ එන්නත් මගින් මරාදමා ඇත. අතුරුදන්වූවන් විශාල ලෙස අතුරුදන් කළ ලොව දෙවැනි රට ශ්‍රී ලංකාවයි. හමුදාවට භාරවූ කොටි හමුදා නායකයන් 41 ක්‌ අතුරුදන් වී ඇත.

මෙයට පෙර හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මිත් සුකා පැවසුවේ කොටි හමුදා නායකයන් 200 ක්‌ අතුරුදන්වී ඇති බවයි. ද්‍රවිඩයන් 100 කට අධික පිරිසක්‌ රැඳවුම් භාරයේ තබාගෙන ඇත. හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත නොකරන බව රජය ප්‍රකාශ කර ඇත. උතුරේ අක්‌කර 67000 ක ප්‍රදේශයක හමුදාව රැඳී සිටියි.

ඊළාම් ජාලය වෙනුවෙන් මෙම රහස්‌ ලිපිය ඉදිරිපත් කර ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයයි. මේ නිසා ජිනීවාහිදී සිදු වන්නේ කුමක්‌දැයි මෙරට බලධාරීන් නොදනී.

මොවුන් මෙලෙස මානව හිමිකම් කොමසාරිස්‌ට රහස්‌ ලිපියක්‌ භාරදෙද්දී තවත් එන්ජීඕ කල්ලියක්‌ උතුරේ හමුදාව රැඳී සිටින බවත් ඉඩම් පැහැරගෙන ඇති බවත් කියමින් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය පැවැත්වූ සමුළුවකට සහභාගි වී ඇත. මේ සමුළුව මැද උතුරු මහ ඇමැති විග්නේශ්වරන් රජයේ සංහිඳියා පිළිවෙතට කාලබෝම්බයක්‌ පතිත කළේය. ඔහු ප්‍රභාකරන් දියත් කළ පොංගු තමිල් උළෙලට සමානව දෙමළ පිබිදීම නමින් බෙදුම්වාදී උද්ඝෝෂණයක්‌ දියත් කළේ රජයේ සම්පත් නීති විරෝධීව භාවිතකරමින්ය. යාපනය විශ්වවිද්‍යාල සිසුන් ද එම උද්ඝෝෂණයට එක්‌වී තිබේ.

මේ බෙදුම්වාදී පිළිවෙත කොතරම් දුරට වර්ධනය වූවාද කීවොත් යාපනය හින්දු විදුහලේ සිසුන් තිලීපන් නැමති කොටියා සැමරීමටද එක්‌විය.

මෙලෙස විග්නේශ්වරන් දෙමළ පිබිදීම නම් වූ උද්ඝෝෂණය උතුරේ මෙහෙයවද්දී ඊට සමානව ජිනීවා නුවරදී ඊළාම් ඩයස්‌ පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත.

එම උද්ඝෝෂණයෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. මේ උද්ඝෝෂණයේ ඡායාරූප අප මිත්‍රයකු වූ ප්‍රැන්කොයිස්‌ සේරා එවා ඇත.

මෙම ඊළාම්වාදීහු එම උද්ඝෝෂණය පැවැත්වූ සැප්තැම්බරය විශේෂත්වයක්‌ උසුලයි. ඒ වසර 18 කට පෙර කොටි ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකින් වැනසීමයි. 1998 සැප්තැම්බර් 28 දා සිදුවූ මෙම ලයන් එයාර් ප්‍රහාරයෙන් මගීන් 55 ක්‌ මරණයට පත්වූහ. එසේ නම් ජිනීවාහිදී උද්ඝෝෂණ පවත්වා ඇත්තේ සැබෑ යුද අපරාධකරුවන් නොවේද?

මේ පසුබිම මැද ජිනීවාහිදී සංහිඳියාව ගැන හඬනැඟීමෙන් ඵලක්‌ තිබේද? ඊළාම් ඩයස්‌පෝරාව සහ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් දියත් කර අත්තේ එකම ක්‍රියාදාමයකි. ඒ සංහිඳියා මුවාවෙන් බෙදුම්වාදී ඉලක්‌කය සපුරා ගැනීමයි. මේ පසුබිම මැද බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමනට සමාන සිද්ධියක්‌ එළිවිය. එය අතුරුදන් වූ බව කියන කොටි හමුදා නායකයන් 200 කගෙන් 159 ක නම් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වූ වාර්තාවකින් ඉවත්වී තිබීමයි.

එහි තේරුම නම් එම කොටි 159 ක පිරිසට යුරෝපයේ රටවල් කීපයක දේශපාලන රැකවරණ ලැබීමයි. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව විසින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත ඉදිරිපත් කළ පිටු 7 ක වාර්තාවේ මේ බව දක්‌වා තිබිණි.

එහෙත් දේශපාලන රැකවරණ ලත් මේ කොටි 159 ක පිරිස කවුදැයි යුරෝපා රටවල් හෙළි කරන්නේ නැත. මේ තත්ත්වය මැද ද්‍රවිඩ සංධානය ද්විත්ව චරිතයක්‌ මවයි. අපි උතුරේ උද්ඝෝෂණයට සම්බන්ධ නැතැයි ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්ධන් ප්‍රකාශ කර තිබේ.

එහෙත් ද්‍රවිඩ සංධානයේ සටන්පාඨ වූ “හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කරනු, පෙඩරල් පාලනය දෙනු, හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරනු” යන ප්‍රකාශ විග්නේශ්වරන්ගේ උද්ඝෝෂණයේ දක්‌නට ලැබිණි. එහෙත් සංහිඳියාව ගැන හඬ නඟන එන්ජීඕ චක්‍රවර්තිලා විග්නේශ්වරන්ට එරෙහිව කිසිදු හඬක්‌ නඟා නැත. රජයේ දේශපාලකයන් කිහිප දෙනෙක්‌ ඊට එරෙහිව විරෝධය පළකර ඇතත් සංහිඳියා කාර්ය සාධන බළකායද කිසිම ප්‍රකාශයක්‌ කර නැත.

මෙලෙස විග්නේශ්වරන් උතුරේ ගිනි ඇවිළවීමට උත්සාහ කරද්දී සංහිඳියා කාර්ය සාධක බළකායේ ක්‍රියාකාරිකයකුට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දැකබලාගැනීමේ පින පෑදී තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

Top