විශේෂාංග

ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න

ඒ කාලෙ ඔය මායිම් ගම් කියල හඳුන්වපු සිංහල ගම්මානවලට කොටි ත්‍රස්තවාදීන් පැනල දරු පැටව් කැතිගාපු වාරයක් වාරයක් ගානෙ ඔබටත් කොටින්ව මරාගෙන මැරෙන්න හිතෙන්න ඇති. ඔබට පමණක් නොවේ හිතක් පපුවක් තියෙන මේ රටේ හැමෝටම එහෙම හිතුනා. නමුත් අපි හැමෝටම එහෙම කැක්කුමක් තිබිලත් අවුරුදු තිහක් තිස්සේ අපිට කොටි පරද්දන්න නොහැකිවුනේ ඇයි? ඒ මොකවත් නිසා නෙවෙයි අපි කාටවත් තනි පුද්ගලයින් හැටියට ක්‍රියා කරල රටේ නිදහස රැක ගන්න බැරි නිසයි. රටේ නිදහස රැක ගත හැක්කේ රාජ්‍ය බලයටයි. රාජ්‍ය බලය මෙහෙයවන්න සුදුසු රාජ්‍ය නායකයෙක් සිටිය යුතුයි. රටක නිදහස රැකෙන්නෙ රාජ්‍ය නායකයා ක්‍රියාකරන ආකාරයටයි.

එකේ අනිත් පැත්තත් එහෙමයි. රටේ මිනිස්සු නිදහස පිළිබඳව මොන ආකල්ප දැරුවත් රාජ්‍ය නායකයෙකුට අවශ්‍යනම් රටේ නිදහස පාවල දෙන්නත් පුළුවන්.

මෙවර ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඡන්දය දෙන්න හිතාගෙන සිටින බොහෝ දෙනෙකුට රට ගැන කැක්කුමක් තියෙන බව සැකයක් නැහැ. ඔවුන් බහුතරයක් රට බෙදනවට විරුද්ධයි. ඔවුන් ඡන්දය දීමට බලාපොරොත්තුවෙන මන්ත්‍රී අපේක්‍ෂකයින් බහුතරයකුත් එහෙමයි. නමුත් ඊලඟට මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න නායකයා රටේ නිදහස පාවා දෙන ආකාරයට ක්‍රියා කලහොත් ඔබටවත් මටවත් අපි කිසි කෙනෙකුටවත් රාජ්‍ය බලයට විරුද්ධව ගිහින් තනි තනියෙන් රටේ නිදහස රැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනෙ.

අද කොටි ත්‍රස්තවාදය නැතිවුනත් දෙමළ ජාතිවාදී සංවිධාන මේ රට බෙදන උත්සාහය නවත්වල නැහැ. දෙමළ ජාතික සංධානය 13 වෙනි සංශෝධනයෙන් ඔවුන්ගේ අභිලාශ ඉටුවෙන්නේ නැති බව දැන් ප්‍රසිද්ධියේම කියනව. ඔවුන්ට ඉංදියාවේත් එංගලන්තයේත් ඇමරිකාවේත් ආශිර්වාදය ලැබෙනව. මේ හැම බලපෑමටත් වඩා වැඩියෙන් භයානක ලෙස රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි නායකයින් සුළු පිරිසක් දෙමළ ජාතියට ස්වයං නිර්ණීය අයිතියක් තිබිය යුතුය යන මතයේ සිටිනව. ඒ බව ජනතාවට වසන් කරමින් තිරයේ පිටුපස සිටන් ඔවුන් ක්‍රියාත්මක වෙනව. මේ පිරිස අතීතයේත් වර්තමානයේත් ක්‍රියාකරන අකාරයෙන් ඒ බව ඔප්පු වෙනව.

රනිල් වික්‍රමසිංහ භාරයේ අද උතුරේ හමුදා ශක්තිය අවම කෙරෙමින් පවතිනව. උතුරේ කොටි සැමරෙන කොට දකුණේ රණ විරු සැමරුම නැවත්තුව. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙන කොට මෙහෙ රණ විරුවන්ට මරණ දණ්ඩනය නියම කරනව. මේවට බටහිර රටවල් වල ආශිර්වාදය ලැබෙනව. රණ විරුවන්ට විරුද්ධව යුධ අපාරාධ චෝදනා ගෙන ඒම දැනට නවත්තල තියෙන්නේ එහෙම කලොත් මේ දේශද්‍රෝහීන්ට මැතිවරණයෙන් අවාසි වෙයි කියල හිතලයි. බටහිර රටවල් කාටද මේ උදව් කරන්නෙ? මොනවටද උදව් කරන්නෙ? වර්තමානයේ පමණක් නොවෙයි රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අතීතයේත් ක්‍රියාකලේ මෙහෙමයි. ප්‍රභාකරන් “මහත්තයා” යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියල ඔවුන් මතයක් ගොඩනැඟුව. රට වෙනුවෙන් ජීවිත දානය කරපු රණ විරුවන්ට අපහාස කලා. ඒ ඔක්කොමත් කරල දෙමළ ජාතිවාදීන් සමඟ රට පාවා දෙන්න ගිවිසුම් ගැහුවෙත් මේ පිරිසමයි.

මේ රටේ නිදහස ආරක්‍ෂා කරන්නේ යැයි ජනතාවට සහතිකයක් දීමට සුදුසු කමක් ඇති එකම එක නායකයා මහින්ද රාජපක්‍ෂයි. රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අඩු තරමින් ජනතාවට එවැනි සහතිකයක් දීමට ඉදිරිපත්වෙන්නේවත් නැත. ඔවුන් පිළිබඳව එවැනි සහතිකයක් ඔබට දිය හැකිද?

යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි. රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න.

වංශපුර දේවගේ ජානක : මගේ රට

යුතුකම සංවාද කවය

Top