Anonymous Reporter

කූජිතගේ පොලිසියට මදකිපේ …’දිවයින’ මාධ්‍යවේදියාට පොලිස් මැර ප්‍රහාරයක්

පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් පිරිසකගේ පහර කෑමකට ලක්‌වූ බව කියන දිවයින අරලගංවිල මාධ්‍යවේදී රොෂාන් තුෂාර තෙන්නකෝන් මහතා පෙරේදා (9දා) රාත්‍රියේ ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

කදුරුවෙල නගරයේ ඔහු පදිංචිව සිටින නිවසේ සිට රාත්‍රී 9.00 ට පමණ කෑම පාර්සලයක්‌ රැගෙන ඒම සඳහා යතුරුපැදියකින් කදුරුවෙල නගරය දෙසට යමින් සිටියදී නිවෙස අසලදී ජංගම පොලිස්‌ මුර සේවා ජීප් රථයකින් පැමිණි පොලිසියේ සිව් දෙනකු සිය යතුරුපැදිය නවතා ප්‍රශ්න කොට බීමත්ව සිටින්නේ දැයි අසා පහර දුන් බව තුෂාර තෙන්නකෝන් මහතා කියයි.

තමා මාධ්‍යවේදියකු බවත් රාත්‍රී ආහාරය රැගෙන ඒම සඳහා යන බවත් ප්‍රකාශ කළද සිය යතුරුපැදියද අත්අඩංගුවට ගෙන තමන්ට එම පොලිස්‌ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව ඔහු කියා සිටී.

ඉන් අනතුරුව තමන් හැඳ සිටි කමිසයද ගලවා පොලිස්‌ ජීප් රියේ දමාගෙන පොළොන්නරුව පොලිස්‌ ස්‌ථානයට රැගෙන ආ බවත් ඉන් පසුව වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා යොමුකිරීමට බව පවසා පොළොන්නරුව මහ රෝහලට රැගෙන ආ බවත් පොලිස්‌ නිලධාරීන් පහරදුන් බව තමන් පරීක්‍ෂා කළ වෛද්‍යවරයාට දැනුම් දුන් පසුව තමන් රෝහල්ගත කළ බවත් ඔහු පැවැසීය.

මාධ්‍යවේදී රොෂාන් තුෂාර මහතා දැනට පොලොන්නරුව මහ රෝහලේ අංක 20 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සිරි විඡේසේන මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වේ.

කරුණාරත්න ගමගේ – පොළොන්නරුව

Top