Featured

ගලගම ශ්‍රී අත්‍ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා

ශෝක පණිවිඩය

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිගෞරවාර්හ රාජකීය පණ්ඩිත ගලගම ශ්‍රී අත්‍ථදස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වූ පුවත අසා මම බලවත් සංවේගයට පත්විමි.

වර්ෂ 1922 ජනවාරි මස 11 වෙනි දින ජන්මලාභය ලැබ ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වීමෙන් අනතුරුව සිය ගුරුදේවයන් වහන්සේලා වෙතින් පැවිදි දිවියට අවශ්‍ය මුලික බණ දහම් හදාරා පරිවෙණාස්ථානවලින් සිය අධ්‍යාපන කටයුතු හදාරණ ලදී. උන්වහන්සේ ශ්‍යාමෝපාලි මහා නිකායේ 22 වෙනි මහානායක පදවියට පත්ව වසරක් ඉක්ම නොගියත්, එම පාර්ශවයේ විවිධ තනතුරු දරමින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ ගෞරවණීය නායක ස්වාමින් වහන්සේ නමකි.

මෙරට බොදු ජනතාවගේ මෙන්ම භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරයන් වෙනුවෙන් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට විශාල කාර්යභාරයක් හිමි වන්නේ ය. අප මහානායක ස්වාමින් වහන්සේ ද එකී කාර්යභාරයන් මැනවින් ඉටුකරමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් කැප වී කටයුතු කළ ආකාරය මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍රවන කරුණකි.

එසේම උන්වහන්සේ දේශීයත්වය අනුගමනය කරමින් ක්‍රියා කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි. රටට ජාතියට සම්බුදු සසුනට විපතක් වූ සෑම අවස්ථාවකදී ම උන්වහන්සේ පෙරමුණ ගත්හ. අප මහානායක ස්වාමින් වහන්සේ උන්වහන්සේ හමුවට එන දෙස් විදෙස් රාජතාන්ත්‍රිකයන්ට අවවාද අනුශාසනා ලබා දුන්හ. රටට බලපාන දෙස් විදෙස් සතුරු ආක්‍රමණවලදී නොබියව අදහස් ප්‍රකාශ කරමින්, නිසි කලට නිසි උපදෙස් ලබාදෙමින් ජාත්‍යන්තර මානව හිමිකම් නියෝජිතයින්ට පවා අනුශාසනා කළේ ‘‘අපේ රටේ ප්‍රශ්න අපට විසඳා ගත හැකිය, ජාත්‍යන්තර අතපෙවීම් සිදු නොකරන ලෙසටය” එසේ ම භික්ෂු කතිකාවත් සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ගෙන ආ යෝජනාවට විරුද්ධවීම මෙන්ම  ශ්‍රී දළදා මාළිගාව අසල මාර්ගය විවෘත කිරීමට ද එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම මෑත යුගයේ මහානායක ස්වාමින් වහන්සේලා අතර උන්වහන්සේට ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ප්‍රණාමය නිතැතින් ම හිමි වේ.

පුරා වසර 94 ක සිය ජිවිතයත්, වසර 80 ක පැවිදි ජිවිතයත් අර්ථවත් කර ගනිමින් රටට, ජාතියට හා සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවාවක් ඉටුකළ මෙබඳු යතිවරයාණන් වහන්සේ නමකගේ අපවත්වීම ලෝක ප්‍රජාවට මෙන් ම, ශ්‍රී ලංකාවාසි අපට සිදු වූ මහත් පාඩුවක් ලෙස මම දකිමි. අපවත්වී වදාළ අතිගෞරවාර්හ ගලගම ශ්‍රී අත්‍ථදස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා යි !  ප්‍රාර්ථනා කරමි !

මහින්ද රාජපක්ෂ (පා.ම)

හිටපු ජනාධිපති

 

Top