LNN SPY

ගිහි බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ අනතුරේ..! අශ්වයන් පෝෂණය කරන්න සුමති පවුල බෞද්ධ සම්මේලනය උලා කාලා..! රු.කෝටි 317ක් ගහලා..! ආණ්ඩුව අහක බලා ගනී..!

Published on: Jul 11, 2018 – සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ රුපියල් කෝටි 317 ½ කට අධික මුල්‍ය සහ දේපොළ අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය හෙළි කර සිටියි.

මේ මහ පරිමාණ මුල්‍ය සහ දේපොළ වංචාවට වග කිව යුත්තේ සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය බව ද එම සංවිධානය චෝදනා කරයි.

ජගත් සුමතිපාල මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ මේ දුෂණ,වංචා, අක්‍රමිකතා වගේම අත්තනෝමතික සහ ශාසන විරෝධී ක්‍රියා කලාපයට එරෙහිව අද (10) සවස 2.30 ට සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටදී දැවැන්ත සත්‍ය ග්‍රහයක් පවත් වන බව පැවසූ බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය ගිහි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන බෞද්ධ මහ සම්මේලනය “රේස් ඔට්ටුකරයින්ගෙන්” බේරා ගන්නා තුරු මේ සටන ඉදිරියටම ගෙන යන බව ද අවධාරණය කර සිටියි.

මේ මහ පරිමාණ මුල්‍ය සහ දේපොළ වංචාව හේතුවෙන් 2018 -01-06 දින පැවැති බෞද්ධ මහ සම්මේලනයේ 98 වන සංවත්සර සභාවේදී සහ 91 වන මහ සභාවේදී හිටපු සභාපති ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඉදිරිපත් කළ මුදල් වාර්තාව සභා සම්මත වී නොමැත.

ඒ අනුව බෞද්ධ මහ සම්මේලනයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ජගත් සුමතිපාල මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලය තාවකාලිකව, එනම් තෙමසක් සඳහා පමණක් යළි පත් කෙරුණු අතර ඒ අයගේ එම තාවකාලික නිල කාලය 2018 අප්‍රේල් මස හය වනිදගෙන් අවසන් වී තිබේ.

එසේ තිබියදී ජගත් සුමතිපාල මහතා ප්‍රධාන ඔහුගේ නිලධාරී මණ්ඩලය නීති විරෝධී ලෙස බෞද්ධ හිමිකම් පිළිබඳව කොමිසමක් පත් කරමින් සහ වාර්ෂික මුදල් වාර්තාව සම්මත වූ බවට තහවුරු කෙරෙන කූට ලේඛනයක් සකස් කර ඉදිරිපත් කරමින් බෞද්ධ මහ සම්මේලනයේ බලය අයුතු ලෙස අල්ලා ගෙන සිටීමට කටයුතු කරමින් සිටින බව බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය පවසයි.

ජගත් සුමතිපාල මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලය බෞද්ධ සම්මේලනය සතු කොළඹ 07 පිහිටි රුපියල් කෝටි තුනක් සහ කොළඹ,ස්වර්ණ පෙදෙස, කාසල් වීදියේ පිහිටි රුපියල් කෝටි 17.05ක් වටිනා දේපොළ නීති විරෝධී ලෙස විකුණා මුදල් ලබා ගෙන අන්සතු කර තිබේ.
සමස්ථ ලංකා බෞද්ධ මහ සම්මේලනයේ ප්‍රචාරක කටයුතු පිළිබඳ ජාතික සභාවේ හිටපු සභාපති ජයන්ත පීරිස් මහතා මේ සම්බන්ධව 2018-04-12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් සිදු කර ඇත.

මීට අමතරව ජගත් සුමතිපාල මහතා සමස්ථ ලංකා බෞද්ධ මහ සම්මේලනය යටතේ විදේශ ආධාර ලබා ගත හැකි ගිණුමක් සිය නිලධාරී මණ්ඩලය ඇතුළු කිසිවකුට නොදන්වා කූට ලේඛණ ඉදිරිපත් කරමින් ඔහුගේ දුවගේ සහ බෑනාගේ නමින් සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගොස් ඇති අතර පසුව එම ගිණුම වසා ඇති බවට ද මේ වන විට කරුණු හෙළිදරව් වී තිබේ.

මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ එවකට සංස්කෘතික විෂය භාරව සිටි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් වෙත සියලු සාක්කි සහ සාධක ඇතිව පැමිණලි කිරීමට ද බෞද්ධ සම්මේලනය සුරැකීමේ සංවිධානය පියවර ගෙන තිබේ.

(උපුල් බණ්ඩාර)

Top