පසුගිය දහහත්වැනිදා කොළඹ පිලිප් ගුණවර්ධන පිටියට එක්වූ ජනතාවගෙන් සිංහල සංස්කෘතියේ එක් ලක්ෂණයක් විදහා දැක්වෙයි. එහෙත් ඒ ගැන කතාකිරීමට පෙර සිංහල උගතුන්ගේ සංස්කෘතියේ ලක්ෂණයක් ගැන යමක් කිව යුතු ය. මේ පිටිය හයිඩ් පිටිය ලෙස නම්කරනු ලැබුයේ සුද්දන් විසිනි. ඒ ලන්ඩන් නුවර ඇති හයිඩ් පිටිය අනුගමනය කරමිනි. එහෙත් පසුව මෙරට කම්කරුවන් නමින් ඇතිකළ පක්ෂ (කම්කරු පංතිය නො වේ. එවැනි පංතියක් ලෝකයේ කිසිම තැනක කිසිදා තිබී නැත) විසින් තම රැස්වීම් සඳහා මේ පිටිය යොදා ගැණිනි. ලංකා සමසමාජ පක්ෂයේ කථිකයෝ එකල මේ පිටිය දෙවනත් කළහ. පක්ෂයේ නායකයා වූ ද න්‍යායාචාර්යවරයා වූ ද පිලිප් ගුණවර්ධන මහතාට පිටිය තවත් පක්ෂ මධ්‍යස්ථානයක් විය. පිලිප් ගුණවර්ධන මහතා පක්ෂයේ න්‍යායාචාර්යවරයා ද වූ බව මා දැනගත්තේ ඩොරික් සූසා මහතාගේ ලිපියක් කියවීමෙනි. පිලිප් න්‍යායාත්මක කරුණක් ප්‍රකාශ කළ විට එයට ඇන් ඇම්, කොල්වින්, ලෙස්ලි ආදීන් සාවධානව ඇහුම්කන් දුන් බව ද ඒ ලිපියෙහි සඳහන් විය.
එදා මෙදා තුර පිලිප් වැනි වෙනත් විප්ලවීය නායකයකු බිහි වී නැත. විප්ලවීය නායකයකු විය හැක්කේ බුද්ධිමතකුට ය. පිලිප්ගේ බුද්ධිමත්කම නිසා ම ඔහු තරුණ කළ ට්‍රොට්ස්කිවාදියකු විය. ඔහු පිරනීස් කඳුවැටිය තරණය කර ට්‍රොට්ස්කිට ලිපියක් ගෙන ගියේ ය. මහු මෙරට මාක්ස්වාදයේ පියා ලෙස ද හැඳින්වෙයි. එහෙත් ඔහුගේ බුද්ධිය නිසා ම ඔහුට මාක්ස්වාදයේ නිසරුකම වැඩිකල් නොගොස් ම තේරුම්ගත හැකි විය. මාක්ස්වාදය මෙරට සංස්කෘතිය සමග නොගැලපෙන බව ඔහු දුටුවේ ය. ඔහුට ජාතිකත්වයක් විය. ඒ ජාතිකත්වය විසින් ඔහු බණ්ඩාරනායක මහතා සමග එකතු කෙරිණි. පනස්හයේ මැතිවරණයට ටික කලකට පෙර මහජන එක්සත් පෙරමුණ ගොඩනැගුනේ එලෙසිනි. මහින්ද රාජපක්ෂ මෙන් ම දිනේෂ් ගුණවර්ධන ද පනස්හයේ දරුවෝ වෙති. එහෙත් චන්ද්‍රිකා කුමාරතුංගට පනස්හයේ දරුවකු වීමට නොහැකි විය. ඇය සෝබෝන් අසළ ගැහැණියක වූවා ය.
කෙසේ වෙතත් වසර කිහිපයකට පෙර හයිඩ් පිටිය පිලිප් ගුණවර්ධන පිටිය යැයි නම් කෙරිණි. එහෙත් ඒ නම ජනමාධ්‍යවේදීන් අතරට, එබැවින් ම සිංහලයන් අතරට ගොස් නැත. ඒ කෙතරම් ද යත් මා පසුගිය සතියේ ලිපියෙහි මේ පිටිය පිලිප් ගුණවර්ධන පිටිය ලෙස ලියා එවූ විට එය වැරදි යැයි සිතා කවුරුන් (ජනමාධ්‍යවේදියකු) විසින් හෝ දිනේ’්ෂ් ගුණවර්ධන පිටිය ලෙස සඳහන් කෙරී තිබිණි! ජනමාධ්‍යවේදීන් ද ඇතුලු සිංහල උගතුන්ගේ සංස්කෘතිය විසින් පිලිප් ගුණවර්ධන පිටිය යන්න ප්රතික්ෂෙප කෙරෙයි. ඒ පිලිප් ගුණවර්ධන නමට ඇති අකමැත්තක් නිසා විය නො හැකි ය. වික්ටෝරියා උද්‍යානය, විහාර මහා දේවී උද්‍යානය යනුවෙන් නම් කළ පසු ඒ ප්රතික්ෂෙප නොවිණි. තරමක් දිග වුවත් ජනමාධ්‍යවේදීහු ඒ නම භාවිතා කරති. සිංහල ජනමාධ්‍යවේදීන්ට හා උගතුන්ට පැහැදිලි නිශ්චිත සංගත සංස්කෘතියක් නැද්ද? ඔවුන්ගේ සංස්කෘතිය අසංගත අච්චාරුවක් ද?
දහහත්වැනි දා කොළඹ පැමිණි ජනතාව ගැන මම සටහනක් මුහුූණු පොතෙහි ද කාලය වෙබ් අඩවියෙහි ද පළ කෙළෙමි. ඒ උපුටා දක්වමි. “පසුගිය 17 වැනි දා කොළඹ පිලිප් ගුණවර්ධන (හයිඩ්) පිටියට පැමිණි පිරිස මහින්ද රාජපක්ෂගේ බැතිමතුන් යැයි වමේ යැයි කියන එක් පඬියකු කියා තිබිණි. එහි ඇත්තක් නැතිවා ම නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ප්‍රධාන සංරචකය යැයි කිවහැකි යක්ෂ සංස්කෘතියෙහි නායකයන් දේවත්වයෙන් පිදීම ද වෙයි. මහසෙන් දෙවියන් නමින් හැඳින්වෙන්නේ එවැනි රජෙකි. එයට බොහෝ කලකට පෙර කතරගම මහාසේන නමින් දෙවියකු වූ නායකයකු ගැන සඳහන් වෙයි. අද සිංහල බෞද්ධයන් දැනුවත් ව හෝ නොදැනුවත්ව හෝ කතරගම යන්නේ කිරිවෙහෙරට ද ගොස් මේ දෙවියන්ට ද පුද පූජා පැවැත්වීමට ය. දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් කිසිවකු නිවන් දැකීමට බලාපොරොත්තු වන්නේ යැයි පඬියකු හැරෙන්නට වෙනත් අයකු නොකියනු ඇත. ලෞකික ලාභාපේක්ෂාවන් සඳහා දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිංහල බුද්ධාගමෙහි අංගයකි.
මහින්ද රාජපක්ෂ දේවත්වයට පත් වී නැත. එහෙත් ඔහුට දේවත්වයට පත්වීමට සුදුසුකම් ඇත. මහසෙන් රජු මහාවිහාරය සමතලා කර එහි උඳු වැපිරී ය. එහෙත් ඔහු පසුව ඒ සියල්ලට සමාව ගෙන මින්නේරි දෙවියන් බවට පත්විය. ඒ යක්ෂ සංස්කෘතියෙහි ඵලයක් විය. මහසෙන් රජු දඹදිව සංස්කෘතික ආධිපත්‍යයකට විරුද්ධ ව සටන් කෙළේ ය. මහින්ද වැරදි කර ඇත. එහෙත් ඔහු මහාවිහාර භූමියෙහි උඳු වපුරා නැත. ඔහු ඉන්දිය දේශපාලන හා ආර්ථික ආධිපත්‍යයට හිස නො නැමී ය. මහසෙන් රජුට එංගලන්තයට හා පොදුවේ බටහිරට විරුද්ධව සටන් කිරීමට අවස්ථාවක් නො ලැබිණි. එකල ගී්රසියට හා රෝමයට උතුරෙන් සිටි සුද්දෝ පාන් කියා ගන්න බෑරි තත්ත්වයක සිටියහ. ඔවුන් එකල පාන් ගැන දැන සිටියේ දැයි විශ්වවිද්‍යාලයක පුහු ඇදුරකුට සොයා බැලිය හැකි ය. කෙසේ වුවත් උතුරේ සුද්දන් දැන සිටි පෙරදිගක් නැත. අද ග්රිසීයට හා ඉතාලියට පාන් කියා ගැනීම තරමක් අමාරු ය. මහින්ද එංගලන්තයට හා පොදුවේ බටහිරට හිස නොනමා ඇඹිලිපිටියට පාර පෙන්වී ය.
මහින්දට දේවත්වයට පත්වීමට නම් කළ යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ලබා දීම ය. මෙකල ඒ කළ හැකි නායකයකු සිටී නම් ඒ මහින්ද ය. මහින්ද ඔහුගේ බටහිර ගැති හා ඉන්දීය ගැති, බටහිර ඔත්තුසේවාවල හා ඉන්දීය ඔත්තුසේවයේ ඊනියා උපදේශකයන්ට ඇහුම්කන් නොදී ඒ කළ යුතු ය. අවශ්‍ය නම් මේ උපදේශකයන් නම් වශයෙන් සඳහන් කළ හැකි ය. එමෙන් ම එහි දී වාසුදේව, තිස්ස, ඩිව් ත්‍රිත්වයට ද මහින්ද ඇහුම්කන් නො දිය යුතු ය. ත්‍රිත්වය යම්තම් දේශපාලනයේ එල්ලී සිටින්නේ මහින්දට හා සිංහල බෞද්ධ ඡන්දවලට පින්සිදුවන්නට ය.
මෙරට ජනගහණයෙන් 75%ක් සිංහල වන අතර 70% ක් සිංහල බෞද්ධ වෙත්. 17 වැනි දා කොළඹ පැමිණි ජනගහනයෙන් 95%කට වඩා සිංහල වන අතර 90%කට වඩා සිංහල බෞද්ධ වෙයි. මහින්දට දෙමළ හා මුස්ලිම් ජනයා අතර යම් ඡන්ද ප්‍රමාණයක් ඇත. එහෙත් ඔහුගේ ඡන්ද පදනමෙන් අති විශාල ප්‍රතිශතය සිංහල වෙයි. ඉනුත් සිංහල බෞද්ධ වෙයි. මහින්ද අද තැත්කළ යුත්තේ කසිකබල් තුට්ටු දෙකේ උපදේශකයන්ට සවන් නොදී සිංහල බෞද්ධයන්ගෙන් 80%කට වඩා ඡන්ද ලබාගැනීමට කටයුතු කිරීම ය. දැනටමත් ඔහුට සිංහල බෞද්ධයන්ගෙන් 70%ක් පමණ ඡන්දය දෙන්නේ යැයි සිතිය හැකි ය. අද කුමන ආකාරයක මැතිවරණයක් පැවැත්වුවත් ජයග්‍රාහකයා වනු ඇත්තේ මහින්ද ය. මෛත්‍රිපාල සිරිසේන සීමා නිර්ණ බොරුවට මුවා නොවී පළාත් පාලන මැතිවරණ පවත්වා ඒ බව ප්‍රායෝගිකව ම දැනගැනීමට කැමති ද?
17 වැනි දා කොළඹ පැමිණි ජනතාවගෙන් පිළිබිඹු වූයේ මෙරට යක්ෂ සංස්කෘතික සංරචකය ය. එදා යක්කු කොළඹ පැමිණියහ. ඔවුන් පැමිණියේ ඉන්දීය මෙන් ම බටහිර ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ආධිප්යයන්ට එරෙහිව ය. එට්කා ගිවිසුම මේ ආධිපත්‍යයෙහි එක් කොටසක් පමණකි. ඉන්දියාවේ ජනයාට අවශ්‍ය ප්‍රමාණයට ගිලන් රථ නැතිව තිබිය දී ඔවුන් අපට ගිලන් රථ දෙන්නේ අප ගිලනුන් කිරීමට ය. ඉන්දීය හා බටහිර ඔත්තුසේවාවල නියෝජිතයෝ ලංකාව පුරා, විශේෂයෙන් කොළඹ හා යාපන දිස්ත්‍රික්වල, ගැවසෙති. ඔවුන්ගෙන් යම් පිරිසක් ගිලන් රථවල ද යනු ඇත.
යක්කු විදේශීය ආධිපත්යවල ද සහායෙන් ආණ්ඩුව සිංහලයන්ට කරන අඩත්තේට්ටම්වලට, රණවිරුවන් සිරගත කර දෙමළ ත්රස්තවාදීන් මුදාහැරීමට, බුද්ධි අංශය දියාරු කිරීමට, භික්ෂූන්වහන්සේට හිරිහැර කිරීම්වලට, බුදුසසුන ඊනියා ථෙරවාදී කතිකාවත් මගින් පාලනය කිරීමට, ආර්ථික පීඩනයට, ජනමාධ්‍යවලට බලපෑම් කර ඒ නිහඬ කිරීමට, ආදී වශයෙන් කරන සියළු කටයුතුවලට විරුද්ධ ව කොළඹ පැමිණියහ. පොදුවේ ගතහොත් ඔවුහු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යයට එරෙහිව කොළඹ පැමිණියහ. බටහිර හා ඉන්දීය ගැති රනිල් සිරිසේන ආණ්ඩුවට බලයේ රැඳී සිටීමට දැනට හැකි වී ඇත්තේ ශ්‍රි ල නි පක්ෂයේ යැයි කියන මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුන්ගේ පාවාදීම හේතුවෙන් පමණකි.”
සිංහල සංස්කෘතියෙහි යක්ෂ සංස්කෘතියෙන් ලබාගත් තවත් සංරචකයක් වෙයි. ඒ විමධ්‍යගත භාවය ය. ඒ ඊනියා බලය බෙදීමක් නො වෙයි. සිංහල සංස්කෘතියෙහි (උගතුන්ගේ අසංගත සංස්කෘතියෙහි නොවේ) යම් යම් දේ තීරණය කෙරෙන්නේ පහතිනි. නායකයන්ගේ කාර්යභාරය වනුයේ ඒ තීරණ ක්‍රියාත්මක කිරීම ය. වීර කැප්පෙටිපොළ මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයකි. කැප්පෙටිපොළ නිළමේ 1815 ගිවිසුමෙන් පසු ඉංගිරිසින්ට සේවය කෙළේ ය. සුද්දෝ ගිවිසුම කැඩූහ. සිංහලයෝ නිදහස් සටන පටන් ගත්හ. ඉංගිරිසින් විසින් කැප්පෙටිපොළ නිළමේ යැවුණේ සටන මර්දනය කිරීමට ය. සිංහලයෝ ඔහුට කරුණු කීහ. සිංහලයන්ගේ නායකත්වයට පත් කෙරුණු කැප්පෙටිපොළ නිළමේ ජනතාවට අවශ්‍ය දේ කෙළේ ය. ඉන් පසුව 1848 දී භික්ෂූන් වහන්සේ වීර පුරන් අප්පු නායකත්වයට පත්කර ගත්හ. එයටත් පසු කලෙක 1956 දී මෙත්තානන්ද මහතා ඇතුලු පිරිසක් බණ්ඩාරනායක මහතා සිංහල ජාතික සටනේ නායකත්වයට පත්කර ගත්හ. 1960 දී හේන්පිටගෙදර ඥානසීහ හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ බණ්ඩාරනායක මැතිණිය සිංහලයන්ගේ නායිකාව බවට පත්කර ගත්හ. මෙරට ඉතිහාසයේ බොහෝ අවස්ථාවල භික්ෂූන් වහන්සේ නායකයන් (රජවරුන්) පත්කර ගෙන ඇත. උන්වහන්සේ විසින් නියෝජනය කෙරුණේ ජනතාව ය.
මහින්ද රාජපක්ෂ නායකත්වයට පත්කෙරුණේ ද ජනතාව විසිනි. ඔහු දෙමළ ත්රස්තවාදයට එරෙහිව හමුදාවට දේශපාලන නායකත්වය දීමට පෙළඹුයේ ද ජනතාව විසිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව හා පරාජය කළ යුතු බව ජනතාවගේ මතය හා තීරණය විය. විජාතික බලවේග විසින් මහින්ද රාජපක්ෂ පරාජය කෙරිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීම ය. එහෙත් ජනතාවට අවශ්‍ය වූයේ අනෙකකි. මහින්ද නැවතත් දේශපාලනයට ගෙන එනු ලැබිණි. ඔහු පාර්ලිමේන්තුවට පත්කරගනු ලැබිණි. අද සිංහල ජනතාවට (යක්ෂයනට) අවශ්‍ය මහින්ද මෙරට රාජ්‍ය නායකයා වී සිංහල බෞද්ධ සංස්කෘතියට නිසි තැන ලබා දීම ය. පිලිප් ගුණවර්ධන පිටියට මහින්ද ගෙනෙනු ලැබුයේ ඒ සඳහා ය.
නලින් ද සිල්වා
2016 මාර්තු 27