මෙම ලිපිය මගින්
>ජනතාව තෝරා ගන්නා ජනාධිපතිවරයකු ඉන්නා විට රටක ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය තහවුරු වීම සහ බලය බෙදා හැරියද ස්වාධීන රටවල් බවට පත් වීමට යම් කොටසකට නොහැකි වීම.
>ලොව බලවත්ම රටවල් ලෙස සැළකෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව වැනි රටවල් ජනතාව විසින් තෝරාපත් කර ගන්නා විධායක ජනාධිපති ක්‍රමය පිළිගෙන තිබීම.
>ආසියාවේ ඇති වියට්නාමය, දකුණු කොරියාව, පිලිපීනය විධායක ජනාධිපති ක්‍රමයෙන් රට පාලනය කිරීම….
>විධායක ක්‍රමය නැති වෙස්ට්මිනිස්ටර් මොඩලය අනුගමනය කළ ඉංදියාව රටවල් 3කට කැඩී යාම සහ වර්තමානයේ පවා ඉංදියාවේ පවතින බෙදුම්වාදී යුද්ධ
>ජනතාව විසින් සිය ප්රජාතන්ත්රවාදී බලය අනුව සෘජු ඡන්දයෙන් ජනාධිපති පත්කර ගැනීමට වෙස්ට්මිනිස්ටර් ආකෘතිය සහ ඒ මත සිය ජීවනෝපාය පවත්වාගෙන යන අය දක්වන විරෝධය.
>පාර්ලිමේන්තුවට මැතිවරණයෙන් පරාජිතයන් පවා නීතියේ පිහිටෙන් පත්වී ජනතාවගේ විධායක බලය පාලනය කිරීමට හැකි වීම.
>ජනතාව තෝරන ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පැවරිය නොහැකි බවට ඇති පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත.
>පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරයන් සිදුකරන නීති විරෝධී ක්‍රියාවන් පාලනය කිරීමට අධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ නොහැකි වීම සහ එම පනතෙන් පාර්ලිමේන්තුවට ලැබෙන මුක්තිය.
>අධිකරණය සහ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව එක්වී ජනතාව පෙළන විට ඉන් ජනතාව මුදා ගැනීමට ආයතනයක් නැති වීම යන කාරණා සාකච්ඡා කිරීමට අදහස් කරයි.
වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය මේ වන විට ලොව පුරාම වදවෙමින් පවතින අන්ත දූෂිත පාලන ක්‍රමයක් බවට මැසිවිලි නැගේ. ඉංදියාවේද වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අසාර්ථකය. එකීයව පැවති පෙරදිග ඉංදියාව අපරදිග වෙස්මිනිස්ටර් මොඩලය මගින් පකිස්ථානය සහ බංගලිදේශය නමින් අලුත් රටවල් ඇති කළේ ය.අද පවා ඉංදියාව ඒකීය නොවේ. ඉංදියවේ මේ විකෘතියට වෙස්මිනිස්ටර් මොඩලය අනුගමනය කරන රටවල් ආධාර අනුබල දුන්නේ ය.
ලොව බලවත්ම රටවල් ලෙස සැළකෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව, චීනය විධායක ජනාධිපති ක්‍රමය පිළිගෙන ඇත. ආසියාවේ ඇති වියට්නාමය, දකුණු කොරියාව, පිලිපීනය විධායක ජනාධිපති ක්‍රමයෙන් රට පාලනය කරති. දූෂිතයන් රොත්තක් අසුන්ගන්නා වෙස්ටිමිනිස්ටර් ආකෘතික පාර්ලිමේන්තුවට වඩා ජනතාව සෘජුව සිය ජනාධිපතිවරණ ඡන්ද බලයෙන් තෝරාපත් කරගන්නා ජනාධිපතිවරයා ජනතාව සහ රට ආරක්ෂා කරන බව විධායක ජනාධිපති ක්‍රමය පවතින රටවල ජනතාව කල්පනා කරති. පොදු රාජ්‍ය මණ්ඩල රටවල පාලනය වෙස්ටිමිනිස්ටර් ආකෘතිකට අනුව සිදුවුණද එකී රටවල ජනතාව අසරණභාවයේ දුගී භාවයේ ගිලී සිටිති. එම රටවල පාලනය අසාර්ථකය. අන්ත දූෂිතයන් සහ පවුල් කිහිපයක් විසින් පාර්ලිමේන්තුව අත්කරගෙන ඇති බවත් ජනතා කැමැත්ත යන සුදු පිරුවටයෙන් වැසී දූෂණය රජකරමින් රාජ්‍ය පාලනය කරන බවත් වත්මන් වෙස්මිනිස්ටර් ක්රමයේ සමාජ භාවිතයයි. ජනතාව විසින් සිය ඡන්දයෙන් සෘජුව ජනාධිපති තෝරා ගන්නා ක්‍රමය වෙස්ට්මිනිස්ටර් දූෂිත පාලනය පවත්වාගෙන යාමට ප්‍රධාන බාධාව වී ඇත.
ජනතාව විසින් සෘජුව තෝරන ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙ මගින් උත්සාහ ගන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිත තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමත් ඒකාධිපතියෙක් ලෙස නාමකරණය කරමින් ජනාධිපති ධූරය ඉවත් කරන මුවාවෙන් අන්ත දූෂිත, නඩු පැවරීමට යටත් නැති, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ මුක්තිය ලැබූ පවුල් කිහිපයක බල අධිකාරී මර්මස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව ශක්තිමත්ව පවත්වාගෙන යාමයි.
ලංකාවේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය පැවැති වකවානුව දෙස බැලුවහොත් එම කාලයේදී ජාතිවාදී කෝලාහල ආරම්භ විය. දකුණේ පළමු වැනි කැරැල්ල 1971 දී ඇති විය. උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරය මෙන්ම කොටි සංවිධානය ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා යාපනය නගරාධිපති ඝාතනයෙන් ආරම්භ විය.
යටත් විජිතත්ත්වය ශක්තිමත් කරන වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව
නිදහසෙන් පසු ලංකාව යටත් විජිතයක්ව පවත්වා ගැනීමට පදනම දමා ගන්නා ලද්දේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියෙනි. පූජ්‍ය දඹරාවේ රතනසාර හිමි භාෂා නිදහස වෙනුවෙන් ඝාතනය විය. ප්රජාතන්ත්රවාදය පසෙක තබා 1975 සිට 1977 දක්වා මැතිවරණය කල් දමා ගනු ලැබීය. එනිසා ජනතාව තෝරන විධායක ජනාධිපති ක්රමයක සිට අසාර්ථක වෙස්ට්මිනිස්ටර් ක්‍රමයකට වෙනස් වීමට තරම් ප්‍රධාන හේතුවක් පැන නැගී නැති වටපිටාවක 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතා වරමෙන් තොරව පත් වූ මන්ත්‍රීවරු සිටින පාර්ලිමේන්තුව කෙසේ ජනතා කැමැත්ත ඉටු කරන්නේද? යන්න වටහා ගත යුතුය.
යටත් විජිතත්ත්වය ස්ථිර කරන පාර්ලිමේන්තු වෙස්ටිමිනිස්ටර් මොඩලය ශක්තිමත් කරනවාට වඩා එංගලන්තයේ රාජ්‍යත්වය මගින් රට පාලනය කරන ආණ්ඩුකාර ධූරය නැවත ඇති කරනු ලැබුවද,රටේ පිරිසක් එයට කැමති විය හැකිය. සිය රටේ ජනතාව විසින් සිය සෘජු කැමැත්තෙන් ජනාධිපති පත් කරගන්නා ක්‍රමය ශිෂ්ඨ සම්පන්න නොවන්නේ කෙසේද? යන්න වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට කටයුතු කරන අය පැහැදිලි කරන්නේ නැත. වෙස්මිනිස්ටර් පාලන ක්‍රමය හදුන්වාදුන් එංගලන්තයේ රාජකීය පවුල විරාජිතව පවුල් පාලනයෙන් රජ පෙළපත සහ රාජකීය උරුමය පවත්වාගෙන යද්දී ලොව අනෙක් රටවල ජනතාව විසින් සිය ඡන්දයෙන් රාජ්‍යත්වය හසුරුවන්නේ කවුද? යන්න ජනසම්මතයෙන් පත්කර ගැනීම වැරදි බව ජනතාවට කට පාඩම් කරවති. මේ සදහා ජනතාව තෝරාපත් කරගන්නා ජනාධිපති හොරෙක්, වංචනිකයෙක්, ඒකාධිපතියෙක් බවට ඒත්තු ගන්නවා ජනතාවගේ ජනාධිපතිවරණ ඡන්ද බලය අත් කර ගැනීමට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව උත්සාහ දරති.
මොන්ටෙස්ක්යූ දාර්ශනික මතය අනුව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එක් පුද්ගලයෙක් අත දරා සිටීම ඒකාධිපතීත්තවයට අතවැනීමක් බව කීවද වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව උත්තරීතරයැ කියමින් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට ලබා ගැනීමට උත්සාහ ගැනීම ජනසම්මතය ප්‍රකාශ කිරීමක් විය හැකිද?
වෙස්මිනිස්ටර් යටත්විජිත ආකෘතියට අභියෝගයක් වූ ජනතාවගේ ජනාධිපතිවරණය
1977 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක්ම ජනතාව විසින් විධායකය සෘඩුවම ජනතා ඡන්දයෙන් තෝරාපත් කර ගන්නා ක්‍රමයක් නොවීය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාව විසින් සිය සෘජු ඡන්ද බලයෙන් තමන්ගේ විධායක ප්‍රධානියා තෝරා ගන්නා ක්‍රමය නීතියට ඇතුළත් කර පසුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පනත පවා සම්මත කරමින් ජනතාවට අලුත් ඡන්ද ක්රමයක්ද හදුන්වා දී ජනසම්මතයට අනුව විධායකයේ ප්‍රධානියා තොරාපත් කර ගැනීම සිදු විය. ඒ සමගව වෙස්මිනිස්ටර් ක්රමයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩලය විසින් ජනතාව තෝරාගත් ජනාධිපතිවරයා සමග බද්ධ වී සහ රාජ්‍ය සේවය සමග රටේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලැබීය. පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරයන් ව්‍යවස්ථාදායක කටයුතුවලට අතිරේකව විධායක බලයද අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කරමින් ජනතාව පත්කරගත් ජනාධිපති ඉවත් කිරීමේ දෝෂාභියෝග බලය ශ්‍රේෂ්ඨාධිකරණය සමග හවුලේ භාවිතා කරමින් ශ්‍රී ලංකා රාජ්‍ය පවත්වාගෙන යන පාලන ක්‍රමයක් වර්තමානයේ පවතී. මෙය වෙස්මිනිස්ටර් යටත් විජිත පාලන ක්‍රමය මගින් බ්‍රිතාන්‍යය විසින් ලංකාවට හදුන්වාදුන් පාලන ආකෘතිය නොවන අතර නමුත් ජනතා පරමාධිපත්‍ය භාවිතා කිරීමේ වර්ධනයක් වේ.
ජනතාව විසින් සිය රාජ්‍ය නායකයා ජනසම්මතයෙන් පත්කර ගැනීම පෙරදිග චින්තනයේ එක් සාධනීය පාලන ක්රමයකි. පෙරදිග චින්තනය අනුව ජනසම්මතයෙන් රාජ්‍යත්වය තෝරා ගැනීම වෙස්මිනිස්ටර් පාලනයේ සම්මත අදහසට පටහැනි තත්ත්වයකි. වෙස්මිනිස්ටර් ආකෘතිය අනුව ජනතාව විසින් තෝරා ගන්නා නියෝජිතයින් විසින් විධායකය හැසිරවිය යුතු අතර අධිකරණය ස්වාධීනව බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දුන් නීතියට අනුව යුක්තිය පසිදලිය යුතුය.
වෙස්මිනිස්ටර් පාලන ආකෘතියේදී ජනතාව විසින් සෘජුව සිය රාජ්‍ය නායකයා එනම් විධායකයේ ප්‍රධානියා තෝරා ගන්නා ක්‍රමයක් නැත. ජනතාව විසින් තෝරා ගන්නා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව විධායකයේ කටයුතු සිදුකිරීම වෙස්මිනිස්ටර් පාලනයේ දී සිදු වේ. බ්‍රිතාන්‍යය යටත් විජිත රටවල් නිදහසෙන් පසුත් යටත් විජිත තත්ත්වයෙන්ම පවත්වා ගැනීම සහ ජනතාව විසින් සිය නිදහස ලබා ගැනීමට සමත්වන නායකයෙක් සෘජුවම රාජ්‍යත්වයට පත් කිරීම වැළක්වීම වෙස්මිනිස්ටර් ආකෘතික පාර්ලිමේන්තුවේ මූලික අරමුණ සහ අභිප්‍රාය විය.
එනම් වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය සකස් වී ඇත්තේ ඒකාධිපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිර්මාණය වන ආකාරයටය. ඔවුන් නඩු පැවරීමෙන් නිදහස්ය. පාර්ලිමේන්තුව නීති විරෝධී ක්‍රියාවන් සිදුකළද නඩු පැවරිය නො හැකිය. ඒ සදහා ආසන්නතම උදාහරණ තිහිපයක් ඇත.
1වන උදාහරණය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුව නිර්මාණය කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කිරීමට කටයුතු කිරීම
2වන උදාහරණය
පළාත් සභා මැතිවරණ ඡන්දය කල් දැමීම සදහා අදාල පනත සංශෝධනය කිරීමේදී 2වන සහ 3වැනි වර කියවීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකළ වගන්ති රාශියක් ඇතුළත් සංශෝධන ගෙනවිත් සම්මත කරමින් කථානායකවරයා විසින් සහතික කරවීම.
3වන උදාහරණය
පසුගියදා සම්මත කර ගත් 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 27iii) වගන්තිය මගින්“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියේ” ප්‍රතිපාදන ලංකාවේ නීතියට අදාල කර ගෙන ඇත්තේ එකී ජාත්‍යන්තර සම්මුතියේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි පිටපතක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් තොරවය.
4වන උදාහරණය
පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන පනත් කෙටුම්පත් සම්බන්ධව එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂා කිරීමෙන් පසු එවන තීරණය රාජ්‍ය භාෂාවන් ලබා ගැනීමට පාර්ලිමේන්තුවට හෝ එහි මන්ත්‍රීවරයන්ට අවශ්‍ය නැති අතර ඒ අනුව එහි සිටින ජනතා නියෝජිතයන්ගේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වටහා ගත හැකි අතර ජනතාවෙගෙන් නීතිමය තොරතුරු සැගවීමට පාර්ලිමේන්තුව කොතෙක් ප්රයත්න දරන්නේද යන්න ඉන් කියවා ගත හැකිය.
මෙමගින් සිදු වන්නේ මහ බැංකු බැදුම්කර ගණුදෙනු වැනි කුප්‍රකට ගණු දෙනු පාර්ලිමේන්තුව හරහා සිදුවීමේ අවධානම තවත් ඉහළ යාමත්, මැතිවරණයෙන් පරාජයට පත් වූ තැනැත්තන් මන්ත්‍රීවරු විමෙන් ජනමතය විකෘති කරන තත්ත්වයක් ඇති වීමත්, ජනතා මතය අනුව නොව ප්‍රධානීන්ගේ මතය අනුව පාර්ලිමේන්තුමේ ධූර බෙදී යාමත් නිරන්තරයෙන් සිදු වීමයි.
ජනතාව විසින් තෝරා ගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට වරප්‍රසාද සහ වරදාන ලබා දී එංගලන්තය ඇතුළු බලවත් රටවලට අවශ්‍ය ආකාරයට නීති සම්මත කර ගැනීම වෙස්මිනිස්ටර් ආකෘතියේ අවශ්‍යතාවයයි. එයට ඇති ප්‍රධාන බාධාව වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ වෙස්මිනිස්ටර් යටත් විජිත ආකෘතියට අනුකූල නොවන නමුත් ජනතාව විසින් සෘජුව සිය නායකයා තෝරා ගන්නා ජනාධිපතිවරණනයි.
ජනාධිපති සෘජුව තෝරන ජනාධිපතිවරණය බැහැර කර ජනාධිපති පාර්ලිමේන්තුව විසින් නම් කිරීම නීතියට අනුකූලද?.
1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ පොරොන්දු රාශියක් ලබා දෙන ලද අතර ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් ඒවා අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමත් ඒ අතර විය. ඒ අනුව අතිවිශාල බහුතර ඡන්දයෙන් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය එකී පොරොන්දු අතරින් ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරයක් ඇති කිරීමත් ජනතාව විසින් නීති පැනවීමේ සහ සිය මතය ප්‍රකාශ කරන ජනමතවිචාරණ පැවැත්වීමත් අතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව හමුවේ තබන ලද අතර එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස මේ දක්වා බලාත්මකව පවතී.
1977 මැතිවරණයෙන් පසු ඉදිරිපත් කළ එකී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව විසින් නැවත අනුමත කිරීමක් අවශ්‍ය නොවූයේ ඒ සදහා 1977 මැතිවරණයෙන් ජනවරමක් එවකටත් එක්සත් ජාතික පක්ෂයට ලැබී තිබූ හෙයිනි. ඒ අර්ථයෙන් ගත්විට ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයා තෝරා ගන්නා ජනාධිපතිධූරය ජනතාවට අනවශ්‍ය බවට 2015 දී ජනතාව විසින් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන ජනවරම් 2ක් මගින් තීරණය කර ඇති හෙයින් සහ ප්‍රකාශකර ඇති හෙයින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට නීති පැනවීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවට සහ වත්මන් ජනාධිපතිවරයාට හැකියාව ඇති බව බැලූ බැල්මට පෙනී යයි. එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද වැඩිදුර හැදෑරීමේදී එහි ඇති බාධාවන්ද ඒ සමගව පෙනී යයි.
ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව හොදින් අධ්‍යයනය කළ යුතුය.
(83) 82 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානයන්හි පටහැනිව කුමක් සඳහන්ව ඇත ද –
(අ.) 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප්රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකටසහ
(ආ) 30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද, අවස්ථාවෝචිත පරිදිජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට, පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දීඑය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන්නේ ය.
30.2 ව්‍යවස්ථාව යනු “ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය”
ඉහත 30.2 ව්‍යවස්ථාව පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ 83 ව්‍යවස්ථාව සහ 62.2 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ දපනත් කෙටුම්පතක් පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන් ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම් ද, ජනමත විචාරණයක දීඑය ජනතාව විසින් අනුමත කොට ඇත්නම් ද, 80 වැනි ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම් ද, ඒ පනත් කෙටුම්පත නීතිය බවට පත් වන බව දක්වා ඇත.
එනම් 83 ව්‍යවස්ථාව මගින් ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට නියම කර ඇති වගකීම් රාශියක් පවරා ඇත.1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රටට හදුන්වා දුන් ජනමතවිචාරණවල වගකීම ප්‍රධාන වශයෙන් 83 ව්‍යවස්ථාව මගින් පවරා දී ඇත්තේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාටය. එමෙන්ම එකී ජනමතවිචාරණයේ ප්‍රතිඵලය අනුව එය නීතියක් බවට පත්වන්නේ ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කොට ඇත්නම්ය. එමෙන්ම 86, 87 සහ 88 ව්‍යවස්ථා අනුවද ජනමතවිචාරණවලදී ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු ජනාධිපතිවරයාට ඇති වගකීම දක්වා නියම කර ඇත.
4.(අ) ව්‍යවස්ථාවේද ජනමතවිචාරණ සම්බන්ධව දක්වා ඇත. එනම් ව්‍යවස්ථාදායක බලය ජනමතවිචාරනයකදී ජනතාව අත ඇත. එකී ව්‍යවස්ථාදායක බලය ජනමතවිචාරණයකදී ක්‍රියාත්මක කර ගත හැක්කේ ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට පමණි. 3 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය සහ ජනමතවිචාරණය ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසකි ජනමතවිචාරණයක් කැදවීමේ බලයක් හෝ අධිකාරයක් ජනතාව විසින් තෝරා ගන්නා ජනාධිපතිවරයාට හැර වෙනත් කිසිවකුට හිමිකර දී නැති අතර එවැනි බලයක් හා අධිකාරයක් ආරෝපනය කර ගැනීමටද වෙනත් කිසිවකුට ජනමතවිචාරණයකින් තොරව නොහැකි බව 3 සහ 4වන ව්‍යවස්ථාද, 83 ව්‍යවස්ථාවත් පැහැදිලි කරති.
එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වෙස්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තුව නම් කරන නියෝජිතයෙකුට ජනමතවිචාරණයක් කැදවීමට හැකියාවක් නැති අතර ඒ සදහා ජනමතයක් 2015 වර්ශයේ පැවති ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී වර්තමාන ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තුව ලබා ගත්තේ නැත.
2015 ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව විසින් සෘජුවම සිය රාජ්යනායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරිය බවට කිව හැකි වුවද, කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බවත් විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ඉල්ලා සිටීමෙන් සහ ජනමතවිචාරණ අයිතිය අත්හැරීමට ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා නොසිටීමෙන් ම ඒ බව සනාථ වේ. ඒ අනුව ජනතාව විසින් සෘජුවම සිය රාජ්‍ය නායකයාව තෝරා ගැනීමට තිබූ අයිතිය අත්හැරියද කිසිම අවස්ථාවක ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනමතවිචාරණ අයිතිය අත්නොහැරි බව පැහැදිලිය.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ජනාධිපතිධූරය ඉවත් කිරීමට ජනවරමක් ලැබී තිබුණද ජනමතවිචාරණය සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් සිදු කිරීමට ජනවරමක් ලැබී නැත. 83 ව්‍යවස්ථාවේ ජනතාව තෝරාගන්නා ජනාධිපතිට අදාල කොටස් සංශෝධනය කිරීම පාර්ලිමේන්තුව විසින් පමණක් කිරීමට ජනවරමක් ලැබී නැත.
ජනාධිපතිධූරය ඉවත් කිරීමට යාමේදී ජනමතවිචාරණය සම්බන්ධව සිදුකරන්නට යන වෙනස් කම් සිදුකළ යුත්තේ අලුතින් ජනතාවගෙන් ජනවරමක් ලබා ගෙන පමණි. මන්ද විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ලබා ගත් ජනවරම වෙනත් ක්ෂේත්‍ර සදහා ව්‍යාප්ත කිරීමට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට හැකියාවක් නැති අතර එසේ සිදුකරන්නේ නම් එය ප්රජාතන්ත්රවාදයටත්, යහපාලනයටත් ප්‍රතිවිරුද්ධ වේ. ජනමතවිචාරණ සම්බන්ධව සිදුකළ යුතු වෙනස්කම් පාර්ලිමේන්තුවට පමණක් තනිව සිදුකළ නොහැකි අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට සහ 1977 ජනවරමටත් 2015 ජනවරමටත් පටහැනි වේ.
ඒ අනුව විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට යාම සහ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට විධායක බලය එකතු කරන්නට යාම 2015 ලැබූ ජනවරමට පටහැනි තත්ත්වයක් බව නිතැතින්ම පත්වේ.
ඒ අනුව ජනාධිපති සෘජුව තෝරන ජනාධිපතිවරණය අහෝසිකර ජනාධිපති පාර්ලිමේන්තුව විසින් නම් කිරීමට යාමේදී ජනමතය විමසීම අවශ්‍යම වේ.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
2018.06.03