විශේෂාංග

ජනපති සිරිසේන “ජෙන්ටල්මන්”ට බයද?

රනිල් විසින් එළවා දැමුනේ දෙරණේ සංඛ පමණක්ද? නැත. ආයතනයේ විකාශන බලපත්‍ර්ය අහෝසි කරන්නට තරම් වරදක් සංඛ කළේද? මේ තර්ජනය රිචඩ්ද සොයිසා මරා දැමීමට නොදෙවෙනි වන්නේ මේ සමස්ත මාධ්ය ප්‍රජාවම බියවද්දා එකවර ඝාතනය කළ ක්‍රියාවක් නිසාවෙනි.

ප්‍රබාකරන් එක්ක කිසිම ගිවිසුමක් අපි අත්සන් කරන්නේ නෑ යයි කියූ වි ජ මු ලොකු බණ්ඩාර මහතාගේ කටේ කෙළ වියළිමටත් පෙර රනිල් “මහතා” ප්‍රභාකරන් “මහතා” සමඟ ගිවිසුමක් අත්සන් කළේය. ඒ බව පාර්ලිමේන්තුව, කැබිනට්ටුව තබා ආණ්ඩු පක්ෂ්යේ සභානායකයා වූ ලොකු බණ්ඩාර මහතාවත් දැන සිටියේ නැත. එදා විධායක බලය තිබූ චන්ද්‍රිකා ද ඒ බව ඇය දැන සිටි බවක් ප්‍රකාශ කළ බවට මතක නැත. ඇය විධායකය ඉසිළුවද ඇයගේ විධායකයේ නිල බලය මහ මැතිවරණයේ දේශපාලන පරාජය උඩ අහෝසි වී ගිය පසුබිමක් තිබුනි. එදා ඇය විධායක ජනාධිපතිවරියව සිටියදී, පාර්ලිමේන්තුවට පිවිසෙන විට අත්බෑගයේ බෝම්බ ඇත්දැයි පරීක්ෂා කෙරුනි.

මුල්ය පොලිස් පරීකෂණ දෙපාර්තුමේන්තුව අගමැතිවරයා යටතේ පිහිටවු බව සිරිසේන මහතා දැන සිටියේ නැත. එය අහෝසි කරන බව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනට පොරොන්දු වුවද එය අහෝසි වූයේ නැත. අයවැය සම්බන්ධයෙන් වුව ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයන් සලකා බලා ඒවා නීතිගත කිරීමක් සිදු නොවින. රනිල් “මහතා” පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කවුරු අකමැති වුවත් තමන් ඉන්දු ලංකා එට්කා ගිවිසුම අත්සන් තබන බවකි. ඉන් පසු දින එම ගිවිසුම රටට අහිතකර නිසා එය වහා හකුළා ගනිව් යන මතය ප්‍රකාශ කරමින් දවයිනේ සියළුම වෘත්තීන් නියෝජනය කරමින් පහළොස් දහසකට ආසන්න වෘත්තිකයන් පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානය වටා දැවැන්ත පෙළපාලියක් සහ රැළියක් පැවැත්වීය. එදිනම රෑ ජනපති සිරිසේන ප්‍රකාශ කළේ රටට අහිතකර ගිවිසුම් තමන් අත්සන් නොකරන බවයි. නමුත් රනිල් අත්සන් කළොත් “මම ඒ ගැන දැනන් හිටියේ නැත.” යයි ඔහු පවසනු ඇතැයි ඔහුගේ මෑතකාලීන භාවිතාව දන්නෝ පවසති.

රනිල් “මහතා”, කවුරු අකමැති වුනත් එය අත්සන් කරන බව පවසද්දී එය පැවසූයේ සිරිසේන මහතා අකමැති වුවත් ඔහු එය අත්සන් තබන බව අඟවන්නටද විය හැකිය. එය ඔහු සිරිසේන මහතාටද එල්ල කළ තර්ජනයක් විය හැකිය.

අනෙක් අතට කවුරු අකමැති වුනත් අපි කරනවා වැනි ප්‍රකාශ කළ හැක්කේ ප්රාජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරන මහත්මයෙකුට නොවේ. එසේ පැවසිය හැක්කේ නග්න ඒකාධිපතියෙකුට පමණි. ඒකාධිපතියෙකු යැයි ඔවුන් විසින් චෝදනා කළ මහින්ද මහතා ජනතාව විරෝධය පෑ නිසා සීපා ගිවිසුම අත්සන් නොකළේය. ඒකාධිපති පාලනයට තිත තබා යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට පැමිණි මහත්වරුන් විසින් මෙවැනි ප්‍රකාශ කරද්දී, මාධ්යට තර්ජනය කරද්දී එදවස සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් ගැන කත කළ ආචාර්ය මහත්තුරු ටික යමක් පවසනවාද, නැතිනම් ගලේ පැහැරූ බළලුන් මෙන් සිටිනවාද යන්න ගැන අවධානය යොමු කිරීම කාලකන්නි විනෝදයක් සපයන්නකි.

මේ රටේ වාසනාවට රනිල් මෙරට විධායක ජනපති වී නැත. අගමැතිව සිටියදි රටම අකමැති ගිවිසුමකට සිය කැබිනට් මණ්ඩලයටවත් නොදන්වා අත්සන් කළ ‘ජෙන්ටල්මන්’ කෙනෙකි ඔහු. එදා චන්ද්‍රිකාගේ මන්ත්‍රීන් සිටියේ විපක්ෂයේය. අද සිරිසේනගේ මන්ත්‍රීන්ට සිදුව ඇත්තේ රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්නටය. සිරිසේනට සහය දීම යනු රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමකි. එපමණක් නොව අද චන්දිර්කාද රනිල් ගේ දෑත් ශක්තිමත් කරමින් සිටින්නීය. සිරිසේන ජයගත්තේ රනිල්, සම්බන්ධන්, අනුර, චම්පික යන සියළු දෙනා නිසාවෙනි. අද ඒ සියළු දෙනාගේ දෑත් ශක්තිමත් කිරීම සිරිසේනට පැවරී ඇත. කිසිදු ජන බලයක් නැති ප්‍රථම විධායක ජනපති බවට අද සිරිසේන මහතා පත්ව තිබේ. ඔහු සතුව කිසිදු දේශපාලන බලයක් නැත. ඔහු සතුව ඇත්තේ නිකම්ම නිකම් නෛතික බලයක් පමණි. මේ තත්වය යටතේ අද කවුරු අකමැති වුනත්, රනිල් නම් වු නග්න ඒකාධිපතියා හිතුමතේ කටයුතු කරන භයානක හිට්ලර් කෙනෙකුගේ භූමිකාවට පණ දෙමින් සිටියි. සිරිසේන මහතා දෝරේ ගලායන මාධ්ය නිදහසක් තිබෙනවා යයි කියා කට ගන්නට පෙර රනිල් දෙරණේ විකාශන බලපත්‍ර්ය අහෝසි කරනවා යැයි තර්ජනය කොට සංඛ ගෙදර යැව්වේය. රනිල් මාධ්යවේදීන් බය කරන අතරම සිරිසේන මහතාටත් කොකා පෙන්වා බිය වැද්දුවා විය නොහැකිද?

රනිල් ජෙන්ටල්මන් කෙනෙකු යයි කියූ අය සිටි කාලයක් තිබුනේය. මේ ජෙන්ටල්මන්ට අද වුවමනා වී ඇත්තේ තරවටුවෙන්, තර්ජනයෙන් මිනිසුන් පාලනය කිරීමටය. දැන්නම් රනිල් ජෙන්ටල්මන්ට්වරයෙකු යයි කිසිවෙක් නොකියති. බැලූ බැල්මට පෙනෙන්නේ ජනාධිපතිතුමාත් මේ ජෙන්ටල්මන්ට්ට බිය බවෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයනට මේ ජෙන්ටල්මන්ට බය නැති නායකයකු වුවමනා කර ඇත.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

Top