Featured

ජාති ද්‍රෝහීන් හෝ දේශ ද්‍රෝහීන් පැමිණෙන්නේ පස්මහ බැලුම් බලා නොවේ

සංවෘත ආර්ථිකයක් තුළ, පීඩිත සීමා මායිම් සලකුණු කළ බවට මතයක් වැපිරූ එක්සත් ජාතික පක්ෂයේ කෛරාටික නායකයෝ 2015 මෙන්ම 1977 දීද රටේ පාලන බලය සියතට ගන්නට සමත්වූවෝය. බණ්ඩාරනායක පවුලේම සාමාජිකයින් දෙදෙනෙක් පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කළද අද මෙන්ම එදාද පවුල් ගසක් මැවීමට ඔවුහු සමත් වූහ. සේනානායක පවුල හා විජේවර්ධන පවුල විසින් කරන දේශපාලනය යට ගසා බණ්ඩාරනායක පවුල පමණක් මතු කර ගැනීමට හැකිවන ආකාරයට, අද මෙන්ම එදා ද අවශේෂ සිවිල් ව්‍යාපාරයන් නතු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකයෝ සමත් වූ හ.

ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට, පවුල් දේශපාලනය හෙවත් එකම පවුලේ හෝ එකම වාසගම්වලට හෝ හිමිකම් කියන ලේ ඥාතීන් සම්බන්ධවීම අද ඊයේ ඇති වූවක් නොවන බව ඉතිහාසය කියැවූවන්ට නොරහසකි. එකම පවුලට සම්බන්ධ වූවන්ට රටේ පාලනය හිමිවීම රාජාණ්ඩු ක්‍රමයෙන් මෙපිටට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල සිදු වූ බවට ද උදාහරණ ඇත. එහෙත් ලංකාවේ තරම්, අනෙකා තලා පෙළා පාලන බලය උදාරා ගැනීමේ දුෂ්ට චේතනාවෙන් එය වැපිරූ රටක් දකුණු ආසියාවේ ද නැති තරම් ය.
ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු 1931 වැනි කාලයේ සිටම පවුල් දේශපාලනය පැළපදියම් වී තිබෙන බවට සාක්ෂි ඇත.

“……නිදහසින් පසුව එක්සත් ජාතික පක්ෂය සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන හා කොරයා යන පවුල් සමූහයෙහි දේශපාලන සංවිධානය ලෙසට පරිවර්තනය වූහ. එකලදී එම පක්ෂය ( යූ.එන්.පී.) මාමාලාගේ සහ බෑනලාගේ (Uncle Nephew Party) ලෙසට පක්ෂය අපහාසාත්මක ලෙස හඳුන්වා ඇත. එම පදය ශ‍්‍රීමත් ජෝන් කොතලාවලට විසින් ද වරින් වර ප‍්‍රකාශ කර ඇත. එම පක්ෂය තුල නායකත්වය සහ තීන්දු ගැනීමේ කාර්ය ඉහත සඳහන් පවුල් මත තීන්දු වී ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විජේවර්ධන, වික‍්‍රමසිංහ, ජයවර්ධන හා සේනානායක යන පවුල් වෙතින් ක‍්‍රියාත්මක වේ. එහි අනාගත නායකත්වය විජේවර්ධන පවුල වෙත ලැබිය හැකිය. ඒ අනුව තවදුරටත් එජාප යනු මාමලාගේ හා බෑනලාගේ පක්ෂය ලෙසට හැඳින්විය හැකිය….“

මෙම යථාව කෙතරම් දුරකට වත්මන් ශ්‍රී ලාංකේය සමාජයේ කතා බහට ලක් වී ඇද්ද හෝ කතාබහට ලක්වන්නේ ද හෝ පැහැදිලිවම විමසුමට බඳුන් කළ යුතුය. “රාජපක්ෂ රෙජීමය“ යන භාවිතය අපහාසාත්මක ස්වරයෙන් සමාජ ගත වූ තරමට “හංස රෙජීමය“ වත් සමාජ ගත නොවන කල් හි, මාමාලාගේ සහ බෑනලාගේ පක්ෂය (Uncle Nephew Party – UNP) යූඇන්පී ලෙසට, සමාජගත කරන්නේ කෙලෙසක යන්න ඒ විමසුමේ මුඛ්‍යාර්ථය විය යුතුය.

මෙම විමසුම පැහැදිලි කර ගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂ අතීශය බහුතර ව්‍යවස්ථාදායක බලයක් හිමිකරගත් 1977 ට අවම වශයෙන් යා යුතුමය. එදා සජීවි අද්දැකීම් ඇති, අදත් ජීවත්වන, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නෝ, 1977 ජූලි මාසයේ පටන් අතීතාවර්ජනයේ ජීවත්වන්නට, දිනකට විනාඩි කිහිපයක්වත් වෙන් කර ගත හැකිනම් මේ යථාර්තයේ කිමිදිය හැකි ය.
ජන සන්නිවේදන ක්‍රියාවලිය මෙතරම් දියුණු නැති යුගයක් වූ 1977 දී, එක්සත් ජාතික පක්ෂය වැනි සෞන්දර්යයවාදී ගුණාංගයන්ගෙන් දුප්පත් පක්ෂයක්, ජනතාව ආකර්ෂණය කර ගැනීමට යොදාගත් උපක්‍රම ගැන සිතන විට පුදුම සහගතය. අද රටේ තත්ත්වය ඊට බොහෝ වෙනස් ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට ආවේණික ගති ලක්ෂණ එතරම් වෙනස් වී නැත. අද ද එක්සත් ජාතික පක්ෂය (නායකයාගේ සිට පහළ සාමාජිකයා දක්වා) සෞන්දර්යයවාදී ගුණය අතින් අතීශය දුප්පත් පක්ෂයකි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ඒ දුර්ගුණය මගහරවා ගන්නේ අදාළ භාණ්ඩ හා සේවා කුලියට (Rent out) ලබා ගැනීමෙනි. පිරිස් බලය අවම පක්ෂයක් වුව ජනතා ආකර්ෂණය දිනා ගනු ලබන්නේ, එම පක්ෂය සතු සෞන්දර්යයවාදී ගුණාංග මනා ලෙස කළමනාකරණය කර ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයෙන් මේ සඳහා උදාහරණ ඕනෑ තරම් ලබා දිය හැකි ය. මෙම තත්ත්වයට සාපේක්ෂව අද වන විට “හංස රෙජීමය“ ට එරෙහි බලවේග ක්‍රියාත්මක වන්නේ පැහැදිලි තුරුම්පු අවට ගැවැසෙන වටපිටාවක ය.

“මහින්ද රාජපක්ෂ පවුල් පාලනය“ යයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ඈළි මෑළි ව තෙපළනවිට, “රාජපක්ෂ රෙජීමය“ යැයි මර හඬ තලන්නට පිරිසක්, එක්සත් ජාතික පක්ෂය විසින් කුලියට ගෙන තිබේ. අවම වශයෙන් ලක්ෂ 25 සිට අප නොදන්නා සහ අපැහැදිලි මූල්‍ය ගනු දෙනු හරහා ජනතා විමුක්ති පෙරමුණ ද එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණ සහ පැවැත්ම තහවුරු කරන භාවිතාවක නියැළී සිටී.

මේ සියල්ලට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ අධිරාජ්‍ය ගැති භාවය කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් තිබේ. එමෙන්ම ජාතිකත්වාදයට එරෙහිව, බෙදුම්වාදී මානසිකත්වය පෝෂණය කරන ක්‍රියාකාරකම් රැසකින් එක්සත් ජාතික පක්ෂය තම නිරුවත රට හමුවේ දිග හරිමින් තිබේ. වර්තමානය වන විට ගොඩනැගී ඇති සමාජ, දේශපාලනික හා ආර්ථික වර්ධනයන් තුල දී ඍජුවම නියෝ ලිබරල් හෝ මාක්ස්වාදී හෝ නොවන ඕනෑම කෙනෙකුට වුව ජාතිකවාදී විය හැකිය. නො එසේ නම්, මේ කිසිත් නැතිව ජීවත් වන්නා දේශපාලන අවලමෙක් ලෙස හැඳින්විය හැකිය. මෙවන් දේශපාලන අවලමුන් නැත්තේ නොවේ. තම අවලංකම නොදැන හෝ සඟවා ගෙන ජාතිකවාදීන් සමඟ සංවාදයට පිළිපන්නෝද සිටිය හැක.

1977 න් පසුව එක්සත් ජාතික පක්ෂය විසින් උත්තරාරෝපිත ආර්ථික හා සමාජ ශෝධක ක්‍රියාවලියෙන් බිහි වූ පිරිසක් සිටිති. එමෙන්ම එය ආදර්ශයට ගෙන ජීවන රටාව වෙනස් කරගත් පිරිසක් ද සිටිති. මෙම පිරිසෙන් බහුතරය නිත්‍ය වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මතවාදය හා එම පක්ෂය පෝෂණය කරන්නෝ වෙති. එය රටේ සංස්කෘතියට එල්ල කැර ඇත්තේ ප්‍රබල බලපෑමකි. එම පිරිසට ජාතිකත්වය නොතේරෙන වදනකි. ජාතිකවාදය නොතේරෙන වදනකි. අනගාරික ධර්මපාල, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ, සුනිල් ශාන්ත, පමණක් නොව අමරදේව හා නන්දා මාලිනිය වුව ඔවුනට තුට්ටුවක වටිනාකමක් නැත්තෝය. ඒ අනුව බලන විට, නලින්ද සිල්වා සහ ගෙවිඳු කුමාරතුංග වැන්නෝ ගැන ඔවුන්ගේ අදහස් විමසුමට ළංවීමවත් අනවශ්‍ය ය. ඇතැම්විට එය බියකරු අද්දැකීමක් වන්නට ද බැරි නැත.

1977 ජූලි මාසයේ සිට කාලයේ ජීවත් වූවන්ට, දිනකට විනාඩියක්වත් මනෝකායිකව යළි එහි ජීවත්වන්නට යැයි පෙර සඳහන් කළේ, මෙම බියකරු අද්දැකීමෙන් සැබැවින්ම හානියක් සිදු කර නොගෙන ඉදිරි පියවර තබන්නට ය.

එදා ජේ ආර් ය. මෙදා ජේ ආර් ගේ බෑනා ය. එදා ප්‍රජා අයිතිය අහෝසි කළේ සිරිමා බණ්ඩාරනායක නම් වූ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ගේ ය. මෙදා සිරගත කරන්නට වෙර දරන්නේ, ලොව භයානකම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ය. එදා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ය. මෙදා ලොව භයානකම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආරක්ෂක සේනා සම්බන්ධීකරණය කළ හිටපු ආරක්ෂක ලේකම්, ඝෝටාභය රාජපක්ෂ ය. මේ ආදී වශයෙන් නම් වැලක් සඳහන් කළ හැක.

1977 සහ 2015 අතර සමානකම් රැසක් සේ ම, 1977 ට වඩා අනේකවාරයක් කනගාටුව දැනිය හැකි ඛේදයන් රැසක් ද වෙයි. 1977 දී හාල් පොලු, මිරිස් පොලු ආදිය ගැන පමණක් නොව බාසුමතී සහල් ගැනද කතා කළේ ය. අද කතා කරන්නේ බංකර් ගැනය. පාවාදීමට වඩා ජාතියේ ආරක්ෂාවම පාවා දී තමන්ද පාවා ගන්නා තත්ත්වයට පත්වන්නේ බංකර්, මාළිගා ලෙස හුවා දැක්වීමෙනි. මෙම හෙළි කිරීම තුළ ඇත්තේ දැඩි කුහකකමකි. එය නිහීන ය. එය තිරිසන් ය. එය තිරිසන් වන්නේම, තමන්ද එම උගුලේ හසුවන බව නොදැනෙන තරමට අමානුෂීය හැඟීමෙන් හෝ වෛරයෙන් හෝ මුසපත්ව අවිචාරවත්ව හැසිරීමෙනි.

බොහෝ සේ අක්‍රමවත්ව හා දුගඳ හමන කසළ ගොඩක්ව පැවැති කොළඹ නගරය සේම දිවයිනේ මාර්ග සහ නගර රැසක් අලංකරණය කළ රාජපක්ෂ පාලනය, ලොව භයානකම ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීම සඳහා තැනූ බංකරය නවීකරණය කිරීම වරදක් සේ සලකා ලොවට නිරාවරණය කිරීම තරම් පහත් ක්‍රියාවකට සමාන ක්‍රියාවක්, ආරක්ෂක නියාමයන් පාර්ශවයෙන් ජේ ආර් ගේ හා ප්‍රේමදාසගේ කාලයේ දී වත් සිදු නොවන්නට ඇත.

ගැටලුව ඇත්තේ මෛත්‍රීපාල නම් පක්ෂ ද්‍රෝහියාගේ සිට රනිල් නම් ජාති ද්‍රෝහියා දක්වා නොවේ. මෙම ද්‍රෝහී ක්‍රියාවන්ගේ සැබෑ තතු දකුණේ බහුතරයක් වන තම පාක්ෂිකයින්ට වටහා දීමට අසමත් “හංස රෙජීමය“ ට එරෙහි “පසේ බුදුවරු“ වැන්නන්ගේ ය.

ආසන්න වශයෙන්, 1970 දශකයේ ශ්‍රී ලාංකේය ජනයාගේ ජීවන රටාව ඒ ආකාරයටම පැවැතිය යුතුය යන්න, සංස්කෘතීන් හා ජාතිකත්වයන් පිළිබඳ අතීතානුස්මරණ හැඟීම්බරව සිදුකරන්නන්ගේ මතය නොවේ. සංස්කෘති තුළවන අනන්‍යතා ආරක්ෂාවන සමාජ, ආර්ථික, දේශපාලනික වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාව ජාතිකවාදීන්ගේ අභිප්‍රායය විය යුතුය. උදාහරණයක් ලෙස, භාෂාවක් ගත හැකිය. ලොව කිසිඳු භාෂාවක් මුල් ස්වභාවයෙන්ම නොපවතී. නිරන්තරයෙන්ම භාෂාවන් විවිධ විකාශනයන් තුළ සංවර්ධනයටද බඳුන් වෙයි. එහෙත් එය ආරක්ෂා නොවන්නේ නම්, එය ලැබූ සංවර්ධනයෙන් ඵලක් නැත.

මේ තත්ත්වයන් ද සැළකිල්ලට ගනිමින් වත්මන් අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ජන සංවේදී ක්‍රියාන්විතයක් වහ වහා දියත් කළ යුතු ය. 1977 ට වඩා වැඩි වේගයකින් රට ව්‍යසනයන් ළඟා කර ගනිමින් සිටීම එයට හේතුව යි. එම ව්‍යසනය උදෙසාම කැප වූ අධිරාජ්‍ය ගැති පාලකයින් රොත්තක් සහ ඊට අනුබල දෙන අරිට්ටකීවෙණ්ඩුලා පරදන කේවට්ටයින්ද, කේවට්ටයින් පරදන අරිට්ටකීවෙණ්ඩුලා ද බුරුතු පිටින් නඩත්තුවෙමින් සිටිති. මේ තත්ත්වයට මුහුණ දීමට පමා වීම, 1977 රට කර ගත් අත් වැරැද්දට වඩා සිය දහස් ගුණයක විනාශයන් ළං කරනු ඇත.
එබැවින්, රටට ආදරය කරන ඔබට 1815 ට මොහොතක් ගමන් කළ නොහැකිනම්, 1977 දිනක් ගත කිරීමට, අද ගෙවෙනා දවසින් සුළු වේලාවක්වත් වෙන් කර ගන්න. එය ඔබේ නමින් මතු උපදින දරුවන් සහ මතු යහතින් පවතින රටක් වෙනුවෙන් කරන මහත් වූ ආයෝජනයක් වනු ඇත.
– ජනිත් විපුලගුණ –
2015 නොවැම්බර් 05
මාතර දී.

Top