LNN SPY

ට්‍රාන්ස්පේරන්සියේ තවත් දූෂණයක් මාට්ටු… නිකම් ගෙදර හිටපු යහඵවාගේ බිරිදට පන්ලක්ෂ විසිපන්දහසක් ගෙවලා !

Published on: Jun 25, 2018 – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තුළ නීති විරෝධීව සේවයේ යෙදීම නිසා ආගමන විගමන දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් අනතුරුව ගෙදර යැවූ විදේශීය කාන්තාවකට නිකම් ගෙදරට වී සිටි කාලයේ කෑම්-බීම් වියදම් වශයෙන් රුපියල් 5,25,000.00 ක් අයථා ලෙස ගෙවා ඇතැයි අභ්‍යන්තර විමර්ශනයකදී හෙළිවී තිබේ.

OSK STURLUDOTTIR නමැති අයිස්ලන්ත ජාතිකයෙකු බව කියන මෙම විදේශීය කාන්තාව ට්‍රාන්ස්පේරන්සියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් වශයෙන් සේවයට එක්වී ඇත්තේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකරගේ පුද්ගලික සබදතා අනුවය.ඇය අසෝක ඔබේසේකරගේ යහඵවෙකුගේ බිරිදක්වීම නිසා රැකියා කිරීමේ වීසා බලපත්‍රයක් නැතිව ට්‍රාන්ස්පේරන්සියට එක්වීමට හැකියාව ලැබී ඇත.එහෙත් ට්‍රාන්ස්පේරන්සියෙන් දූෂණ විරෝධය ගැන පුහුණුව ලැබූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් මෙම නීති විරෝධී බදවාගැනීම ගැන පැමිණිළි කිරීම නිසා 2017 ජනවාරි 09 දින ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව රැකියාවෙන් ඉවත්වී ගෙදර නැවතීමට OSK STURLUDOTTIR ට සිදුවී තිබේ.

එම විමර්ශනයේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ ලංකාව තුළ රැකියාවක නොයෙදෙන බවට ප්‍රකාශයකට අත්සන් තබමින් බවත්,තමා විධායක අධ්‍යක්ෂ අසෝකගේ යහඵවෙකුගේ බිරිදක් බවත් ඇය පිළිගෙන තිබේ. වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විසින් ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද තොරතුරු අයදුම්පතට ප්‍රතිචාර දක්වමින් එම දෙපාර්තමේන්තුවේ , වීසා සහ ප්‍රත්‍යන්ත පාලන කටයුතු භාර පාලක ඩබ්ලිව්.එම්එම්.බී.වීරසේකර මහතා ප්‍රකාශකර ඇත්තේ රැකියා කිරීමේ වීසාවකින් තොරව රැකියාවේ යෙදී සිටි බව ඇය පිළිගත් බවත් ඒ අනුව ඇයට අවවාද කළ බවත්ය .එසේම 2017 -06-01 දක්වාම ඇයට රැකියාවක යෙදීමේ වීසාවක් නොතිබූ බවද පාලකවරයා සිය ප්‍රතිචාරය මගින් සනාථකර තිබේ.(එම ප්‍රතිචාරය බලන්න.)

මෙම වංචාව හෙළිවී ඇත්තේ සභාපති ලක්ෂාන් ඩයස්ගේ පාලන සමය තුළ ට්‍රාන්ස්පේරන්සියේ සිදුවූ බවට චෝදනා එල්ලවන දූෂණ වලින් තෝරාගත් කිහිපයක් පිළිබදව සිදුකරමින් සිටින විශේෂ විමර්ශනයකදීය.එම විමර්ශනයේ නිරතව සිටින ට්‍රාන්ස්පේරන්සියේ සාමාජිකයින් සිදුකරන ලද සොයාබැලීමට අනුව ඉහත රුපියල් 5,25,000.00 අයථා ගෙවීම සිදුකර ඇත්තේ 2017 ජනවාරි -මැයි කාලයට අදාළවය. “ පැමිණීමේ ලේඛනය සහ දැනට අපි විමර්ශනය කරපු ලේඛන අනුව මේ කාලය තුළ OSK STURLUDOTTIR කියල සේවිකාවක් කාර්ය මණ්ඩලය තුළ සේවය කරල නැහැ. ජනවාරි 09 ට පෙර එහෙම කෙනෙක් නීති විරෝධීව ඉදල අහුවෙලා සේවය නතරකරල තියෙනව. මේ ගෙවීමේ චෙක්පත බැංකුවෙන් මාරුවෙලා තියෙනව.එම ගෙවීම් වවුචරයට විධායක අධ්‍යක්ෂක අත්සන් තබා තිබෙනවා.

සිද්ධවෙලා තියෙන සමහර දේවල්වල හැටියට අපි මුලින්ම සොයා බලන්නේ මේ මුදල යථාව හරි අයථාව හරි OSK STURLUDOTTIR ට ලැබිල තියෙනවද කියලයි.නීති විරෝධීව ඉදල අහුවෙලා අවවාද කළාට පසුවත් නැවත යහඵවාගේ බිරිද හොරෙන් සේවයේ යෙදෙව්වද ? නැත්නම් වෙනත් වංචාවක් සිදුවුණාද කියල ඊළගට බලන්න වෙනවා. මීට පෙර මිලියනයේ යුරෝපා සංගම් මූල්‍ය වංචාව ගැන අපි සභාපති ලක්ෂාන් ඩයස් මහත්මයාගෙන් පරීක්ෂණයක් ඉල්ලුවා.ඔහු සාමාජිකයින්ට සවන් දුන්නේ නෑ.ඊට පසුව එම ගෙවීම්වල සමහර චෙක්පත් වලට සභාපතිත් අත්සන් කරඇති බව හෙළිවුණා.මේව දූෂණ ගැන විමර්ශන කරනවා වෙනුවට දූෂණ වසන්කිරීමට උත්සාහ දැරීමේ අනිටු ප්‍රතිවිපාක.” ඉදිරි විමර්ශන වලට බාධා ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය නිසා මේ මොහොතේ තමන්ගේ අනන්‍යතාවය සුරකින ලෙස ඉල්ලා සිටි ට්‍රාන්ස්පේරන්සි සාමාජිකයින් අප හා පැවැසීය.

මෙම අයථා මුල්‍ය ගනුදෙනුව ගැන අධ්‍යක්ෂ මණ්ඩල පැහැදිළි කිරීමක් සිදුකරන ලෙස ද සියලු දූෂණ චෝදනා ගැන පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසද සාමාජිකයෝ ඉල්ලා සිටිති.

Top