විශේෂාංග

ඩයස්පෝරාවේ පිට කහන මංගල ගැන වහාම තින්දුවක් දෙනු!

අපේ රටේ පාලකයින් ගේ නිවටකම දඩමිමා කර ගනිමින් රටේ පරිපාලනයට සහ ජාතික ආරක්ෂාව අවදානමට ලක් කිරිමට සෘජුව මැදිහත් වන එක්සත් ජාතින් ගේ සංගමයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ නවතම යෝජනාව නම් ශ්‍රී ලංකා හමුදාව යුද්ධය අවසාන අදියරේ දි පොකුරු බෝම්බ භාවිතා කළාද නැද්ද පිළිබඳ අලුතින් විශේෂ පරික්ෂණයක් සිදුකළ යුතු බවයි.

පොකුරු බෝම්බ යනු යුද්ධයකදි මිනිසුන් විශාල වශයෙන් එකවර ඝාතනය කළ හැකි ආයුධයකි. දෙමළ සංහාරය, දෙමළ සමූල ඝාතනය යනාදිය අද අපේ හමුදාවන්ට එරෙහිව තිබෙන චෝදනාය. මේවා දෙමළ බෙදුම්වාදි ඩයස්පෝරාවේ දැඩි බලපැම් ඉල්ලිම් මත සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කරන ලද සහ මංගල සමරවිර විදේශ ඇමති ඇමරිකාව සමඟ ‘අගය කරමින්’ එකඟ වුණ ලද සාවද්‍ය අභුත චෝදනාය. ‍‍‍‍

පොකුරු බෝම්බ පිළිබඳ විශේෂ පරික්ෂණ යෝජනාවත් එයටම ඈඳීගත් අපේ හමුදාව ම්ලේච්ඡ ඝාතකයන්ය යන්න සාධාරණියකරණය කිරීමට ගත් තවත් එක් කුහක වැයමකි. එයට අපේම රටේ විදේශ ඇමතිවරයාගේ ප්‍රතිචාරය දකින විට යුධ නිති සම්මුතින් පිළිබඳ ඔහුගේ දැනිම, රටේ අභිමානය පිළිබඳ ඔහුගේ තැකිම සහ අපේ රණ විරුවන් පිළිබඳ ඔහු දක්වන පිළිකුල් සහගත ආකල්පය මනාව පිළිබිඹු වේ.

හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම යනු අතුරුදහන් වුවන් පිළිබඳ සහ යුධ අපරාධ පිළිබඳ පරික්ෂණ කිරිමට පත්කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ය. එහි දෙවන පැවරිමේ වාර්තාව පහුගිය වසරේ ඔක්තෝම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එහි අපේ හමුදාවන් පොකුරු බෝම්බ පිළිබඳ ප්‍රඥප්තිය නොහොත් ජාත්‍යන්තර සම්මුතිය සම්මත වුයේ 2010 වර්ෂයේ අගෝස්තු මස 01 වන දිනය. එබැවින් පරණගම මහතා කියා සිටිනුයේ අපේ හමුදා කිසි දිනක පොකුරු බෝම්බ පාවිච්චි කළත් ඔවුන්ට විරුද්ධව යුධ නීතිය උල්ලංඝනය කළ බවට ‍‍‍‍‍චෝදනා නැගිය නොහැකි බවත්ය. එබැවින් සෙයිඩ් හුසේන්ගේ පොකුරු බෝම්බ පරික්ෂණ යෝජනාවේ කිසිම පදනමක් නැති බවය. මෙයට මංගල සමරවිරගේ කතාව වූයේ ඒ පරණගමගේ පණ්ඩිත කතාවක් බවය.

මංගල සමරවිර සෙයිඩ් අල් හුසේන් කුමාරයාට එරෙහිව මෙවැනි වැදගම්මකට නැති යෝජනා නොකරන්නැයි කිමට තරම් කශේරුකාවක් නැති බව අපි හොඳින් දනිමු. නමුත් අපේ රටට සහ රටේ හමුදාවට එරෙහිව නොකඩවා කරන මෙවන් විදේශ අමාත්‍යවරයෙක් තවදුරටත් එවන් වැදගත් තනතුරක් හෙබවිම පිළිබඳ අපට ප්‍රශ්නයක් තිබේ. දේශයේ අභිමානය, දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේත් දෙමළ සන්ධානයේ හා මානව හිමිකම් කොමසාරිස් ගේ දෙපතුල් මත තැබිමට මෙවන් අමනෝඥ ඇමතිවරුන්ට කිසිම අයිතියක් නැති අතර ජනතාව ඒ සඳහා කිසිම බලයක් ලබා දී නොමැත.

රජය නියෝජනය කරන මංගල සමරවීර ඇමරිකාව සමඟ අගය කරමින් එකඟ වූ හුසේන් ගේ යෝජනා 38ක් අඩංගු වාර්තා‍‍‍වේ අපේ හමුදාවන්ට යුධ අපරාධ චෝදනා විභාග කිරිමට විදේශීය විනිසුරුවන් අභිවෝදකයන් පිළිබඳ සඳහන් ඇත. ඊයේ දින සමරවිර ඇමතිවරයා කිවේ ඒ පිළිබඳව විවිධ අදහස් තිබෙන අතර අවසාන තීරණයක් ගෙන නොමැති බවය.

නමුත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේය. 2015 ජිනිවා යෝජනා අප සාකච්ඡා කොට තීරණය කළ යෝජනාවලියකි. අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට දෙමුහුන් අධිකරණයකට එකඟ වුණා. යෝජනාවේ දෙමුහුන් යන වචනය නැතත් විදේශ විනිසුරුකරුවන් අභිචෝදකයන්, නීතිඥයන් පරික්ෂකවරුන් යැයි සඳහන් වෙනවා. එම විනිසුරුකරුවන් සඳහන් වන්නේ උපදේශකයන් හෝ වෙනත් රාජකාරි කරන අය ලෙස නොවේ. එය ඉතාම පැහැදිලියි. මා පුද්ගලිකව ඇමරිකාව සමඟ එම ක්‍රියාවලියට සහභාගි වුණා. ලංකාවේ පවතින ව්‍යවස්ථාවට අනුව එය කළ හැකි දැයි යන ප්‍රශ්නය මතු වූ විට එයද ගැඹුරින් සාකච්ඡා කොට එසේ කළ හැකි ක්‍රමය පිළිබඳවද සාකච්ඡා කළා. ඒ නිසයි ඒ වදන් දැම්මේ. රජය ඒකට එකඟ වෙලා දැන් එය වෙනස් කරනවා නම් එයට අපි එකඟ වන්නේ නැහැ. දෙමළ සමූල ඝාතන පිළිබඳව පරික්ෂා කිරිමට ජාත්‍යන්තර මැදිහත්විම අවශ්‍යයි.

මෙයින් ඉතාම පැහැදිලි වන්නේ මංගල සමරවීර තම බලය ඉක්මවා ගොස් දෙමළ බෙදුම්වාදීන්ට සහ එ.ජා මහ කොමසාරිස්වරයාට රටේ රණවිරුවන් හා ජාතිය පාවා දී ඇති බවය. සුමන්දිරන් යනු ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රීවරයෙකි. ද්‍රවිඩ සන්ධානය යනු එල් ටි ටි ඊ සංවිධානයේ දේශපාලන හස්තයයි. එසේ නම් අද ත්‍රස්තවාදය නිම කළ රණවිරුවන් ගේ අනාගතය රඳාපවතින්නේ ත්‍රස්තයන්ගේ නියෝජිතයන් අත නොවේද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදේශ විනිසුරුවන් ගෙන්වන්නේ නැතැයි පැහැදිලිවම කියා සිටින විට මංගල සමරවීර ගෝලීය දෙමළ සන්සදයේ බෙදුම්වාදීන් හමුවී කියා සිටිනුයේ එය ජනාධිපතිගේ නිකම්ම නිකම් ප්‍රකාශයක් මිස නිල නි‍‍යෝගයක් හෝ ආඥාවක් හෝ නොවන බවයි. එසේ නම් මංගල සමරවීර බෙදුම්වාදීන් ඉදිරියේ රණවිරුවන් පාවා දෙන බවට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?

ශ්‍රී ලාංකික ගෝලීය සංසදය ‘ඩුබායි’ විසින් එ.ජා ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන සියළුම රටවල් හි තානාපතිවරුන්ට මංගල සමරවීර ඇමතිතුමාගේ ශ්‍රී ලාංකීය ව්‍යවස්ථාවට එරෙහිව ගන්නා ලද ක්‍රියා කලාපයන් පිළිබඳ පහත සඳහන් අයුරින් දන්වා යවා ඇත.

අ/ මංගල සමරවීර 1933/13 දරණ 2015 සැප්තැම්බර් 15 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විදේශ ඇමැතිවරයකුගේ බලතල අබිබවා කටයුතු කිරීම

ආ/ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සහ මානුෂීය නීති කඩ කිරීම සම්බන්ධයෙන් ස්වාධින කොමිසම් රැසක් පත්කර තිබියදීත් එම වාර්තා කිසිවක් මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලයට හෝ අන්තර් ජාතික ප්‍රජාවට හෝ ඉදිරිපත් නොකොට ශ්‍රී ලංකා රජය වගවීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවලියක් සිදුකර නැතැයි යන සාවද්‍ය චෝදනාව ජාත්‍යන්තරය ඉදිරියේ සත්‍යයක් ලෙස පිළිගැනීම.

ඇ/ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් හුසේන් විසින් ලංකා හමුදාවන්ට විරුද්ධව නගා ඇති ප්‍රධාන චෝදනා නිෂේධ කිරීමට ඉතා ප්‍රබල සහ විද්‍යාත්මක/තරකානුකුල කරුණු /සාක්ෂි අඩංගු උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් වාර්තාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්වරයා සහ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් දැනුවත් කිරීමට ක්‍රියා නොකිරීම.

ඈ/ මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සඳහා දක්ෂ, සුදුසු, විශ්වාසනීය, මැදහත් සාධාරණ අධිකරණ පද්ධතියක් රටේ නොමැති බව සෘජුව සහ වක්‍රව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීම.

ඉ/ එ.ජා.ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් රටේ රණවිරුවන්ට එරෙහිව යුධ අපරාධ සිදු කළේය යන වාර්තාව ඇමරිකාව සමඟ ‘ අගය කරමින් ‘ පිළිගැනීම. මේ සම්බන්ධයෙන් මංගල සමරවීර ඇමතිතුමා අද වන තෙක් කිසිදු පිළිතුරක් හෝ ප්‍රතිචාරයක් හෝ ලබා දී නොමැත.

අද මංගල සමරවීර එකඟ වී ඇති ජිනීවා යෝජනා සහ සෙයිඩ් අල් හුසේන් ලංකාව පිළිබඳ දක්වන දේශද්‍රෝහි ආකල්පය සම්බන්ධයෙන් සතුටු වන්නේ හෝ ඊට ප්‍රශංසා කරන්නේ කවුද? ත්‍රස්තවාදයට සෘජුව සහයෝගය දුන් පසුගිය රජය විසින් තහනම් කරන ලද මංගල සමරවීරගේ උපදෙස් මත එම තහනම ඉවත් කළ ‘ගෝලීය ද්‍රවිඩ සංසදය’ යි. ඔවුන් කරන ලද ප්‍රකාශ මෙසේය.

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් විසින් ජුනි 29 වන දින ජිනිවාහිදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව අප සතුටින් පිළිගනිමු. ඔහු විසින් ලංකා රජය විසින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සහ යුක්තිය පසිඳලීමේ සංක්‍රාන්ති වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන බවට කරන ලද ප්‍රකාශයට අප ප්‍රශංසා කරමු. රජය විසින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මෙතෙක් ගෙන ඇති පියවරයන් සහ සංහිඳියාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරයද , එ.ජා ගේ සංගමය සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන ආකාරය ගැනද සතුටු වන නමුත් තවමත් ඉක්මන් පියවර ගෙන නොමැති කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැක. එනම් යුධ හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් යළි අයිතිකරුවන්ට භාරදීම, අත්අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර හමුදා පුද්ගල සංඛ්‍යාව අඩු කිරීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල ආරක්ෂක විධිවිධාන ප්‍රතිසංස්කරණය කිරීම යනාදියයි. එසේම කොමසාරිස්වරයා යුධ අපරාධ පිළිබඳ ‘ වගවීම’ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදියහත්වීමක් අවශ්‍යය යන ස්ථාවරයේ දැඩිව සිටීම සතුටට කරුණකි.

එය ස්වාධීන මැදහත් තීරණ ගැනීමට ඉවහල්වන අතර රටේ වර්තමාන අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසනීය තත්ත්වයක් තවම ඇති වී නොමැති නිසා එවන් ක්‍රියාමාර්ගයකට යා යුතු වේ. ඇමරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, කැනඩාව, ඔස්ට්‍රේලියාව හා ඝානා යන රටවල්වල නියෝජිතයන් කළ ප්‍රකාශ වලින් ජාත්‍යන්තර ප්‍රජාවගේ ද මේ පිළිබඳ අදහස් දක්වා ඇත. ගෝලීය ද්‍රවිඩ සංසදය ලෙස අප මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම කැපවීම ඉතා අගය කරන අතර ලංකාවේ දේශපාලන බලය බෙදීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය තවදුරටත් ලැබේ යැයි බලාපොරොත්තු වෙමු.

මේ අනුව බලන විට වර්තමාන වැඩපිළිවෙලෙහි න්‍යාය පත්‍රය සකසන්නේ කවුද යන්න ඉතා පැහැදිලි වේ. අද මංගල සමරවීර ජාතිය පාවා දෙමින් කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන්ගේ කුළුපග මිතුරන් සමඟ බව රහසක් නොවේ. එසේම ජූලි 06 වැනිදා ඔහු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ඔහුගේ ඉලක්කය කුමක් දැයි පැහැදිලි වුණාත ‘අපේ හමුදාවන් යුධ අපරාධ කිරීම තරම් විකෘති මනසක් නැ. එහෙම කළා නම් කර ඇත්තේ ඉහළින් ආ නියෝගයන්ට අනුවයි. ඒ අයට දඬුවම් පැමිණ විය යුතුයි’ එම ප්‍රකාශයම අද රනිල් වික්‍රමසිංහගේ අතවැසියෙකු වී සිටින ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ද පහුගිය දිනක කළ බව අපට මතකය. ‘ සුදු කොඩි ඔසවා එන අයව මරන්න මගේ යටතේ අයට මා කිසි විටකත් උපදෙස් දී නැ. එහෙම කළා නම් කර ඇත්තේ මට වඩා ඉහළින් සිටි අයගේ උපදෙස් මත. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙයන්ම විදේශීය මැදිහත් වීමක් සමඟ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි’ යනුවෙනි.

එසේ නම් මංගල සමරවීර නියෝජනය කරන වර්තමාන පාලකයන් තමන්ගේ රණවිරුවන් කැබිනට් ඇමතිකමට පාවා දෙන සරත් ෆොන්සේකා සමඟ මේ කිරීමට අර අදින්නේ කුමක් ද? රට බේරාගත් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෙහෙයුම් දියත් කළ ජ්‍යෙෂ්ඨ ජනරාල්වරුන් දංගෙඩියට යැවීමට පිඹුරුපත් සැකසීමයි. ත්‍රස්තවාදය නිම කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්ද රජපක්ෂ ජනාධිපතිතුමා සහ ත්‍රිවිධ හමුදාවන් පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඒකරාශි කොට යුධමය නායකත්වය දුන් අන්දමේ අන්තර්ජාතික මැදහත්වීම පැමිණියත් එය නිෂ්ප්‍රභා කොට දේශද්‍රෝහීන්ට කදිම පාඩමක් ඉගැන්වීමට රටේ දේශප්‍රේමී ජනතාව දැනටමත් සුදානමින් සිටින බවද මෙහිදී මතක් කර දිය යුතු වේ.

අද දශක තුනක් රට පෙළු ත්‍රස්තවාදය දිවි කැපකර නිම කළ රණවිරුවන් සිරගත කරමින් සිටියි. මායිම් ගම්මාන වලට පැන ම්ලේච්ඡ අයුරින් සිංහල ගැබිණි මව්වරුන් පවා කපා කොටා ඝාතනය කළ ත්‍රස්තයෝ අද නිදහස් කරමින් සිටී. යුද්ධයේදී මිය ගිය 29000ක් සහ ආබාධිත තත්ත්වයට පත්ව ඇති 14000ක ගෙන් 25% පමණ මිය ගියේ අහිංසක දෙමළ ජනතාවගේ ජිවිත ගැන සිතමින් ඔවුන්ගේ ආරක්ෂාවට මුල්තැන දුන් බැවිනි.

අද කොටි ත්‍රස්තයන්ට විරුද්ධව එකම වචනයක් වත් මංගල සමරවීරගේ කටින් පිටවන්නේ නැත. ඔහු පවසන්නේ යුද්ධය නිමකළ මහින්දට හා ගෝඨාභයට දඬුවම් කළ යුතු බවයි. ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු ඇමරිකාව , එංගලන්තය, ප්‍රංශය, කැනඩාව යුද්ධය අවසාන දින කීපය තුළ ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් බේරා ගැනීමට දැරූ ප්‍රයත්නයන් අපි හොඳින් දනිමු. එම ජාත්‍යන්තර ප්‍රබල බලපෑමට යටත් නොවී යුද්ධය දිගටම කරගෙන ගොස් ත්‍රස්තවාදය නිම කළේ ලක්වැසි සියලුම ජනතාවට නිදහසේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීම සඳහාය.

මංගල සමරවීර ඊට කළගුණ සළකන ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් අප ඉතාම ලැජ්ජාවට පත්ව සිටිමු. ජාත්‍යන්තර නීති විද්වතුන් වන සම ජාත්‍යන්තර යුධ අපරාධ පිළිබඳ ලොව කීර්තියක් උතුරන ජෙෆ්රි නයිස් සහ රොඩ්නි නික්සන් යන දෙපළ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ වාර්තාවේ යුධ අපරාධ පිළිබඳ දක්වා ඇති කරුණු ඉතා සාවද්‍ය බව පැහැදිලිව කරුණු සහිතව ඔප්පු කොට තිබේ. එසේම මහ ලේකම්වරයාගේ දැනගැනීමට පුද්ගලිකව පත්කළ මණ්ඩලයක් විසින් සැකසූ වාර්තාවක් එක් සාමාජික රටකට විරුද්ධව නගන යෝජනාවලියකට පදනම් කරගන්නේ කෙසේද යන්නත් ඔවුන් ප්‍රශ්න කර සිටී.

එසේ නම් මංගල සමරවීර මේ කරන්නේ තමන්ගේ රජය බලයට ඒමට අතහිත දුන් බටහිර රටවල් වල සහ දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොළ පිනවීමට කටයුතු කිරීම මිස රටේ අභිමානය, ජාතික ආරක්ෂාව, ඒකීයභාවය රැකීම නොවේ. ප්‍රංශයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ විට එරට හමුදාව සහ දේශපාලන නායකයන් ත්‍රස්තයන්ට සහ ඔවුන්ට සහය දුන් රටවලට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය සහ එයින් සිය ගණනක් සිවිල් ජනයා ඝාතනය වූ අන්දම අපි දුටුවෙමු. එරට විදේශ ඇමති වරයෙක් මතු දිනක හෝ තම හමුදාවනට එරෙහිව යුධ අපරාධ කළේ යැයි ජිනීවා නුවර දී එකඟ වෙයි ද? එසේ නම් තමන්ගේම රණවිරුවන් මෙසේ නින්දිත ලෙස ජාත්‍යන්තරය හමුවේ පාවාදෙන මංගල සමරවීර වහාම විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. එසේ නොකළහොත් ඉදිරි දිනක ජනාධිපතිතුමාටද දේශයට ද්‍රෝහි වීමේ ආදීනව අත් විඳීමට සිදුවනු නොඅනුමානය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර
රිවිර පුවත් පතේනි

Top