Anonymous Reporter

ණයට කහින එවුන්ට උදයංගගෙන් පිළිතුරක්

තායිලන්තයෙදී හිටපු ජනාධිපතිතුමා හමුවීම

රුසියාවේ හිටපු තනාපති උදයාංග වීරතුංග වන මම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් 23 සිට 26 අතර තායිලන්තයේ උඩන්-තානී නගරයේ සහ බැංකොක් නගරයේ කල සංචාරය අතරතුර එතුමාව හමු වුනෙමි. ඒ අවස්ථාව ලැබීම ගැන මම ඉතා සතුටුවෙමි. මම හිටපු ජනාධිපතිතුමා හමුවීම ගැන යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. මා නොයෙක් විමර්ශන සඳහා ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය වි තිබෙන පුද්ගලයෙක් හැටියට ඔවුන් හුවා දැක්වීමට උත්සාහ කරන බව පෙනේ. යහපාලන ආණ්ඩුවේන් මට සහ මා සේවය කල ආණ්ඩුවේ ප්‍රබලයින්ට සිදූවි තිබෙන දරුණු දේශපාලන පළිගැනීම් නිසා දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් යහපාලන දේශපාලකයන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල පට්ට පල් බොරු බව ලංකාවේ ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රකාශ කිරීමට කැමතියි.

යහපාලන ආණ්ඩුව මට එරෙහිව කරන ප්‍රධාන චෝදනාව වන, මා යුක්රේනයේ බෙදුම්වාදී කැරළිකරුවන්ට ආයුධ සැපයූ බවත්, ඒ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති පේත්රෝ පොරෝෂෙන්කෝගේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමත්‍යාංශයට පැමිණිලි කල බවයි. මේ ප්‍රචාරය සම්පුර්ණ අසත්‍යකී. මම දැන් ජිවත්වන්නේ යුක්රේනයේය. යුක්රේනයේ ඒ වගේ චෝදනාවක් හෝ විමර්ශනයක් මට එරෙහිව නැත. එවැනි චෝදනා ඇත්නම් යුක්රේනියානු ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බාධාවක් හෝ ලංකා රජයේ උදව් අනවශ්‍යය. නමුත් මා දැන් යුක්රේනියාවේ ප්‍රධාන ආරක්‍ෂිත විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරමින් සිටිමි. යහපාලනය රජයේ මේ කතා කිසිවිටක යුක්රේනියානු ආණ්ඩුව පිළිගන්නේ නැත, එබැවින් යහපාලනය නියෝජිතයන් යුක්රේනයට විමර්ශන කටයුතු සඳහා පැමිණ නැත. නමුත් අප්‍රේල් 4-8 කාලයේදී නීතිපතිතුමා ඇතුළු පිරිසක් මෙහි පැමිණ ඇත, ඒ එදා මා විසින් ආරම්භ කරන ලද දෙරටේ කෙටුම්පත් ගිවිසුමක ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහාය.

යහපාලන ආණ්ඩුව මට එරෙහිව කල තවත්‍ චෝදනාවක් වන්නේ මම රුසියාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ පනිවිඩකරුවකු ලෙස සේවය කල නොයෙල් රණවීර මහතාගේ මරණයට වගකිව යුතු බවයි. මෝටර් රථ ආපදාවකින් සිදූවූනු එම මරණය සම්බන්ධයෙන් එස්. වි. සැම්සනොව් නැමැති රුසියානු ජාතික රියදුරුට විරුද්ධව රෝස්තෝව් නා දොන් දිස්ත්‍රික් උසාවියේ ගොනුකරන තුබුණු අපරාධ පරීක්ෂණය අවසන් විය. එහි පිටු 34 නඩු වාර්තාව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වෙත රුසියානු රජය ලබාදී ඇත. එම වාර්තාවේ මා හට කිසිම චෝදනාවක් නැත. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම රණවීර මහතාගේ මුර්ථ දේහය ගොඩගනු ලැබූ අතර එම දේහය හොර රහසේම 2016 මාර්තු 25දින නැවතත් භූමිදානය කර තිබෙන බව මට ආරංචි වි තිබේ.

තානාපති සේවා කාලය අවසනයේ පෞද්ගලික භාණ්ඩ, ලංකාවට ගෙනැවිත් භාරදීමේ වගකීම හා ඒ සඳහා සියලු වියදම් දැරීමට බැදී ඇතිබව, විදේශ කටයුතු අමාත්‍යාංශය සමග අත්සන් කල ගිවිසුමේ පැහැදිලිව සඳහන්ව ඇත. එසේ වුවද රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කරමින්, හුදෙක් පළිගැනීමේ චේතනාවෙන්, අපගේ අතිශයින් පෞද්ගලික භාණ්ඩ, වසරකට වැඩි කාලයක් වරායතුල රදවාගෙන සිට දැන් එය විනාශ කිරීමට කටයුතු කරන, චිත්‍රාංගනි වාගීස්වර ලේකම්තුමියගේ ක්‍රියාකලාපය මා තරයේ හෙළා දකිමි. මේ පිළිබඳව නීතිගරුක හා සාධාරණ විසදුමක් බලාපොරොත්තුවෙන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් 2016 මාර්තු 24 දින ඉදිරිපත්කරන ලදී.

2015 අප්‍රේල් 29 දින, ශ්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂක විසින් කිසිම දැනුම්දීමකින් තොරවම අපගේ සියලුම ගිණුම් තාවකාලිකව අක්‍රිය කර ඇත. අපේ පවුලේ එකම ආදායම්ලාභියාගේ ගිණුම් පුරා වසරක්ම අක්‍රිය කරමින් බොරු චෝදනා හුවා දක්වමින් මෙහිදී සිදුකර තිබෙන්නේ දේශපාලන පළිගැනීමකී.

මෙම රජයේ අසාධාරණ පළිගැනීම් පිළිබඳව රුසියානු හා යුක්රේනියානු රජයන් නිරන්තරයෙන්ම දැණුවත් කිරීමට මම කටයුතු කරන බවත්, මේ දඩයමට එරෙහිව එතෙර ජීවත්වන ලාංකිකයන් පෙලගැස්විමට ඉදිරිපත් වෙන බවද, මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිමි.

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.

Top