Featured

දශක තුනක සාපයෙන් රටම මුදවාගත් අපිට අද සාධාරණය ඉටු කරන්නට රජයට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද

දශක තුනකට අධික කාලයක්‌ මෙරට ජනතාව ජාති, ආගම්. කුල බේදයකින් තොරව බිහිසුණු ත්‍රස්‌තවාදයකට ගොදුරු වි සිටි බව අප කවුරුත් දන්නා සත්‍යයකි. ත්‍රස්‌තවාදීන්ගේ සිහිනය වූයේ මේ රට දෙකඩ කර වෙනම රාජ්‍යයක ඔටුනු පැළඳීමය.

එහෙත් ඒ සිහින පරාජය කරමින් ත්‍රස්‌තවාදය වනසා දමා මේ මාතෘ භූමිය එක්‌සේසත් කරන්නට ඉකුත් 2009-05-19 වැනිදා අපේ වීරෝදාර රණවිරුවෝ සමත් වූහ. එය විශ්වයම විශ්මිත කළ විජයග්‍රහණයක්‌ද විය.

මේ අඳුරු යුගය තුළ ත්‍රස්‌තවාදයෙන් රට බේරා ගැනීම සඳහා සිදු කළ සටනේදී අපේ වීරෝදාර රණවිරුවන් 30000 කට අධික ප්‍රමාණයක්‌ උපන් බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළේය. එහිදී දේශයේ දෙමාපියනට තම ලෙයින් උපන් දරුවන් අහිමි වූ අතර රණවිරුවා වෙනුවෙන් ජීවිතයම කැප කළ කළ බිරිඳකට සැමියෙක්‌ද දරුවනට පිය සෙනෙහසද අහිමි විය.

මේ සටනේදී සිදුවූ තවත් ඛේදවාචකයක්‌ වූයේ සතුරා සමඟ සටනට ගිය රණවිරුවන් 60000 ක්‌ පමණ පූර්ණ හා අර්ධ ආබාධිත තත්ත්වයන්ට ගොදුරු වීමය. මෙසේ මිය ගිය සහ ආබාධිත යන දෙකොටස අතර ත්‍රස්‌තවාදයට එරෙහි සටනේදී කොටස්‌කාරියන් වූ කාන්තා වීරවරියන් රැසක්‌ද සිටින වග අප සිහි තබාගත යුත්තකි.

එහෙත් අද වන විට එවන් කැප කිරීම් කර ජාතියට රට බේරා දුන් රණවිරු ප්‍රජාව තුළ තමනට අනාගතයේ කුමන ඉරණමක්‌ අත්වේදොaයි ලෙසින් අවිනිශ්චිත හැඟීමක්‌ ඇතිවී තිබෙනුයේ ඉතාම අවාසනාවන්ත ලෙසිනි.

එයට ප්‍රධානම හේතුවක්‌ වී තිබෙනුයේ මියගිය රණවිරුවා සේම ආබාධිත රණවිරුවා වෙනුවෙනුත් ඔවුන්ට හිමි වැටුප ගෙවීමට රජය කටයුතු කළද ඔවුන්ගේ වයස අවුරුදු 55 අවසන් වූ පසු ඔවුන්ද සාමාන්‍ය රජයේ සේවකයන් මෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක වෙමින් තිබීමය.

මියගිය රණවිරුවාගේ දරු පවුල් සහ ආබාධිත රණවිරුවාද අන්ත අසරණ තත්ත්වයකට ඇද දමමින් මේ අන්දමින් කටයුතු සිදු කිරීම කොතරම් යුක්‌ති යුක්‌තදැයි යන්න පළමු පුරවැසියාගේ සිට සියලු බලධාරීන් සහ සමස්‌ත රටවැසියන්ම කලපනා කළ යුතු වන්නකි.

මෙසේ වයස අවුරුදු 55 න් පසු රාජ්‍ය සේවයේ යෙදුණු සාමාන්‍ය අයකු සේ සලකමින් කටයුතු නොකර තමන්ගේ ජීවිතය සුරක්‍ෂිත කර ගැනීම සඳහා වයස අවුරුදු 55 න් පසුවද නොකඩවා ඉදිරියටත් වැටුප ලබා දෙන්නැයි යන්න අද රණවිරුවන් රජයෙන් කරනු ලබන ප්‍රධාන ඉල්ලීමක්‌ වී තිබේ.

මෙරට රාජවංශයට අයත් ඉතිහාසය ගෙන බැලුවද මෙවන් දේ සිදුව ඇත. දුටුගැමුණු රජ සමයේදී එළාර පරදා මේ බිම එක්‌සේසත් කිරීමෙන් පසු එයට දායක වූ සියලු සෙන්පතියන්ට සැඳෑ සමය සුවසේ ගත කිරීම සඳහා ගම්වර ලබා දුන් බව පැරණි පොත්පත්හි සඳහන්ව ඇත.

එහෙත් අද සිදු වෙමින් තිබෙන්නේ ගම්වර දීම වෙනුවට යුද්ධයේදී සුවිශාල කැපකිරීම් කළ රණවිරුවන් සිරගත කිරීම සහ මියගිය රණවිරුවාගේ දරු පවුල් සහ ආබාධිත රණවිරුවා රජයට එරෙහි විරෝධතාකරුවකු ලෙස පාරට ගෙන ඒමට රජය විසින්ම කටයුතු කිරීමය.

යුද්ධය නිමා වීමට පෙර සිටම රණවිරු ප්‍රජාව රැකබලා ගැනීම සඳහා රණවිරුසේවා අධිකාරිය නමින් රාජ්‍ය ආයතනයක්‌ පිහිටුවා මේජර් ජෙනරාල් නීල් ඩයස්‌ නමැති වීරෝදාර සෙන්පතියා එහි සභාපති කර පුරාණ රජ සමය වර්තමානයේදී ද යථාර්ථයක්‌ කිරීමේ වැඩපිළිවෙළක්‌ පසුගිය කාලයේ ක්‍රියාත්මක විය.

මේජර් ජෙනරාල් නීල් ඩයස්‌ගේ සමයේ රණවිරු ප්‍රජාව වෙනුවෙන් කළ හැකි සියලුම සුබසාධන කටයුතු සිදු කර රණවිරු සේවා අධිකාරිය කෙරෙහි අචල විශ්වාසයක්‌ රණවිරුවන් තුළ ඇති කිරීමට හෙතෙම පියවර ගත්තේය.

නීල් ඩයස්‌ මහතාගෙන් පසුවද ඔහු ඇති කළ ව්‍යාපෘති හරහා රණවිරු ප්‍රජාවේ සුබසාධනයට රණවිරු සේවා අධිකාරිය ඔස්‌සේ නොකඩවා කටයුතු සිදු කෙරුණද අද වන විට එය දේශපාලන අධිකාරියක්‌ බවට පත්ව තිබීම හේතුවෙන් රණවිරු සුබසාධනය යන්න ඇත්තේ ශූන්‍ය තුළ සිරවීය.

අපේකම සහ රණවිරුවාගේ දුක වේදනාව නොහඳුනන සහ ඕනෑම දෙයක්‌ හමුවේ ආත්මය පාවා දිය හැකි වුන් රණවිරු සේවා අධිකාරිය සිය සුඛවිහරණය සඳහා වෙන්වූ අරුම බුදලයක්‌ බවට පත්කරගෙන තිබීම එයට ප්‍රධානම හේතුව වී තිබේ.

මෙසේ රණවිරුවාගේ සුබසාධනය වෙනුවට රණවිරු සේවා අධිකාරිය අද පවතින්නේ බලධාරීන්ගේ සුබසාධනයට බව වැටහීමේදී රජයෙන් සිය ජීවිත සුරක්‍ෂිතතාව අයෑද සිටි රණවිරුවන් තමන්ගේ අයිතිය දිනා ගැනීම සඳහා කරනු ලැබුවේ නොයෙකුත් සංවිධාන පිහිටුවා ගැනීම විය.

වර්තමානයේ තිබෙන සමස්‌ත ලංකා දිවි පිදූ හා ආබාධිත රණවිරු එකමුතුව යනු එසේ බිහිවූ සංවිධාන අතරින් අද වන විට රට පුරා දිස්‌ත්‍රික්‌ක 18 ක රණවිරුවන්ගේ ආශීර්වාදය මැද ඉකුත් 2016 වසරේ මාර්තු මස 23 වැනිදා ආරම්භ වූවකි. එතැන් සිට රණවිරුවා තමන්ගේ අයිතිය වෙනුවෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවේ සමූහ වශයෙනි.

වර්තමානයේ මෙරට බලධාරීන්ට නොවැටහෙන එක්‌ සත්‍යයක්‌ තිබේ. ඒ රණවිරු ප්‍රජාව යනු දිනෙන් දින ක්‍ෂය වන කණ්‌ඩායමක්‌ බව ඔවුන් වටහා නොගැනීමය. අද රණවිරු ප්‍රජාව මුහුණ දෙන ගැටලු ගණනාවක්‌ම ඔවුන්ගේ සිත්වලට වද දෙමින් ඉදිරියට පැමිණ තිබේ.

වයස අවුරුදු 55 ඉක්‌මවා ගොස්‌ විශ්‍රාම වැටුප් ලබන සහ නොලබන ආදී ලෙසින් වූ රණවිරුවන් 400 ක පමණ පිරිසක්‌ මේ මොහොත වන විට සමාජයේ වෙසෙති. නූතනයේ දේශපාලනඥයන් සඳහා දරණ වියදම් දෙස බැලීමේදී මොවුනට වැටුප් ගෙවීම යන්න රජයකට ඒ හැටි ගැටලුවක්‌ නොවන බව පැහැදිලි කරුණක්‌ වුවද ඔවුහු අද බොහෝ දුෂ්කරතා මැද සිය සැඳෑ සමය ගෙවමින් සිටිති.

පශ්චාත් යුද සමයේ රණවිරුවන් අරබයා මතුව තිබෙන තවත් බරපතළ ගැටලුවක්‌ ලෙස යුද්ධය නොවන හේතූන් මත මියගිය බව සඳහන් කරමින් මරණයට වර්ගීකරණයක්‌ දුන් රණවිරුවන්ගේ පවුල්වල ගැටලුවය. මෙම තත්ත්වය හමුවේ රණවිරුවා වෙනුවෙන් ලැබිය යුතු බොහෝ දේ ඔවුනට අහිමි වී ඇති අතර ඔවුන් අද යුද්ධයට සහ සියල්ලන්ට ශාප කරමින් අසරණව ජීවත් වන රණවිරු ප්‍රජාවේ එක්‌තරා කොටසක්‌ බවට පත්ව ඇත.

මෙකී වෙනත් හේතූන් මත මියගිය රණවිරුවා මරණයට පත්වන්නේද යුද බිමේදීය. එහෙත් ඔවුන්ගේ මරණය යුද්ධය නිසා නොවේ යෑයි ලෙසින් වර්ගීකරණ වී ඇත්තේ යම් අනතුරක්‌, හෘදයාබාධයක්‌, ආදී ලෙසින් සතුරු ප්‍රහාරයකින් සිදු වූවක්‌ නොවන නිසාය. එහෙත් එය කොතෙක්‌ අසාධාරණදැයි යන්න බලධාරීන්ගේ ඔලුගෙඩිවලට මේතාක්‌ වැටහී නොමැත.

අද වන විට රණවිරුවාන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති, ආරක්‍ෂක ලේකම් සහ අගමැති ලේකම්තුමිය ආදී වශයෙන් බොහෝ බලධාරීන් සමඟ රණවිරුවන් සාකච්ජා පවත්වා ඇතත් ඒවායෙහිදී රණවිරුවාට ලබා දෙන පොරොන්දු කිසිවක්‌ ඉටු කෙරෙන බවක්‌ පෙනෙන්නට නැත.

එහෙයින් තමන්ගේ ඉල්ලීම් උපක්‍රමශීලීව ප්‍රතික්‍ෂේප කරමින් අදාළ බලධාරීන් තමන් රවටනවාද යන සැකය රණවිරුවන් තුළ ඇති වී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට මාස කිහිපයකට ඉහතදී ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක්‌ රණවිරුවන්ට වැටුප් ගෙවන බවට ප්‍රකාශ කරනු ලැබීය. එය ඇසූ සමස්‌ත රණවිරුවන් බොහෝ ප්‍රීතියට පත්වූහ. එහෙත් දැන් ඇති වූ විශ්වාසය මෙන්ම ප්‍රීතියද සුණු විසුණු වී ගොස්‌ හමාරය.

එහෙයින් අද රණවිරු ප්‍රජාවේ එකම ඉල්ලීම වී තිබෙන්නේ රට නිදහස්‌ කර ගත් තමන්ට තම බිරිඳ සහ දරුවන් සමඟ නිදහසේ සැඳෑ සමය ගත කිරීමට හැකි පසුබිමක්‌ සකසා දෙන්නයි යන්නය. මේ මොහොතේත් මෙතෙක්‌ වීදි බැස නැති සමස්‌ත ආබාධිත රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් විමසා සිටිනුයේ එසේ තමන් තුළ ඇතිව තිබෙන සැකසංකා අවසන් කොට සාධාරණය ඉටු කරන්නට රජයට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාදැයි යන්නය.

සමස්‌ත ලංකා දිවි පිදූ සහ ආබාධිත රණවිරු එකමුතුව

Top