Anonymous Reporter

දැනුම මත පදනම් වන ලිච්ඡවි සමාජ වෙළඳපොල ආර්ථිකය සහ මී උගුල

එක්සත් ජාතික පක්ෂයේ පචවිද සමාවන්න පංචවිධ ක්‍රියාවලියේ පදනම ලෙස සැලකෙනුයේ ඉහත මාතෘකාවය. ලිච්ඡවින් නම් පුරාණ ඉන්දියාවේ ජීවත්වූ රජ පිරිසක් වන අතර සප්ත අපරිහානී ධර්ම ගුරුකොටගනිමින් ඔවුහු රාජ්‍යය විචාළහ.  ලිච්ඡවි යන්න පැහැපත් සමක් ඇති අර්ථයෙන්ද යෙදේ.      බුද්ධ කාලයේදී ගංගා නදී නිම්න ප්‍රදේශය සහ නේපාලයේ ටෙරායි කලාපය පාලනය කළ රජදරුවනට පැහැපත් සමක් උරුමව තිබීම නිසා එම පිරිස ලිච්ඡවින් ලෙස හැදින්වූ බවට ඉතිහාසඥයෝ පවසති. පැහැපත් සමක් තිබීම නරක දෙයක් නොවන නමුත් පැහැපත් සමක් තිබීම නායකත්වයට පත්වීමට හෝ නායකත්වයට සමීපවීමට හේතුවක් නොවේ. රනිල් වික්‍රමසිංහයන්ටද තරුණකළ පැහැපත් සමක් තිබුණ මුත් දැන් එතුමන් දුටුවිට සිහිවනුයේ  අනිත්‍යයයි. බුදුන් වදාල පරිදි  ඒ මේ ශරීර කුණපයේ හැටිය. නමුත් එතුමන් වටා සිටින පැහැපත් සමින් යුතු පිරිස දුටුවිට අපට නිගමනය  කළ හැක්කේ නිසැකවම එතුමන් ප්‍රථමයෙන් සාකච්ඡාවටද දෙවනුව  සම්මුතියටද  කදිම ලිච්ඡවින් පිරිසක් තෝරාගෙන ඇති බවය. ඒ පෙර සිටම එතුමන්ගේ හැටිය. එතුමන් පෙර සිටම  ලිච්ඡවින්ට රිසිය.

වික්‍රමසිංහයන් විද්වත් පිරිසකට සිරිකොතට ඇරයුම් කළේ සමාජ වෙළඳපල ආර්ථිකය පිලිබඳ කතිකවකටය. සංවාද මණ්ඩපය උණුසුම් වෙද්දී සිරිකොතේ පියන් කොලුවෙකු පැමිණ වික්‍රමසිංහයන්ගේ කණට කොඳුරා යමක් පැවසූ අතර  ඉන් කෝපගත් සෙයක් පෙනුණු වික්‍රමසිංහයෝ ඒ අවස්ථාවේදී විද්වත් කතිකාවත අසලින් යමින් සිටි ආහාර සුරක්ෂිතතාව පිලිබඳ ඇමත්තාණන් වන  ගාමිණී ජයවික්‍රම පෙරේරානන්ට  සන් කොට සමීපයට කැඳවූහ. වික්‍රමසිංහයන් මහත් රොසින් යුතුව ජයවික්‍රම පෙරේරානන් වෙතින් විචාළේ සිරිකොත මැදුරේ  ආහාර සුරක්ෂිතතාව සහතික කළ නොහැකි පෙරේරානන් රටක ආහාර සුරක්ෂිතතාව සහතික කරණුයේ කෙසේද කියාය. පෙරේරානන් දුර්මුඛ වූ අතර විමසිලිමත්වූ විද්වත් පිරිසට දැනගැනීමට ලැබුණේ තමනට අහර පිණිස සූදානම් කර තිබූ කෙටි අහර සියල්ල මූසිකයන් නොහොත් මීයන් විසින් කා දමා ඇතිබවයි. නමුදු සිරිකොත මැදුර ඉදිරිපිට වන කළු මුදලාලිගේ වෙළඳසැලෙහි අවශ්‍ය පමණටත් වඩා හුලං විස්කෝතු සහ විස්කිරිංඥා තිබුණු නිසා විද්වත් පිරිසට කෙරුණු සංග්‍රහයෙහි කිසිදු අඩුවක් නොවීය.

විද්වත් කතිකාවතේ දී කතිකාවට බඳුන් වූ එක් මාතෘකාවක් වූයේ දැනුම මත පදනම්ව, යෝග්‍ය තාක්ෂණය භාවිතා කෙරෙන නිෂ්පාදන ක්‍රමවේදයක් තුළින් නිෂ්පාදන පිරිවැය සැළකිය යුතු ලෙස අවම කර, නිෂ්පාදකයාටද පාරිභෝගිකයාටද සාධාරණ වන සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. මේ විද්වත් මුලුවෙහි සිටි ආලාපාලු ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකිය හැකි  චම්පික රණවකයන්ගේ අදහස වූයේ සිරිකොත මී උවදුරම දැනුම මත පදනම්ව යෝග්‍ය තාක්ෂණය භාවිතා කෙරෙන නිෂ්පාදන ක්‍රමවේදයක් තුළින්, සැළකිය යුතු ලෙස අඩු  නිෂ්පාදන පිරිවැයකින් යුතු භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත හැකි බවයි. එතුමෝ මී කුණක් විකුණා ව්‍යාපාර කටයුතු අරඹා සිටුවරයකු වූ තරුණයෙකු පිලිබඳ විස්තර කෙරෙන චුල්ලසෙට්ඨි  ජාතකය ගෙනහැර දක්වමින් සුළු ලෙස පෙනෙන කිසිදු දෙයක් අවතක්සේරු නොකළ යුතු බවට දෙසමින් මී උවදුර දුරලන නවතම මී උගුලක් නිෂ්පාදනය කරමින් යහපාලන ආර්ථික සංකල්පය සනාථ කළහැකි බවට ශපථ කළහ. මුළුවෙන් නැගී මහා ඔල්වරසන් හඬක් මැදින් රණවකයන්ගේ තැත අනුමත කෙරිණි.

පසුදිනම සිය ඉංජිනේරු නැණින් නිපැයූ තම නව නිපැයුම සමග සිරිකොත මැදුර වෙත පිය එසවූ රණවකයෝ වික්‍රමසිංහයන් ඇතුලු එජාප නායක කාරකාදීන් හමුව නිපැයුම වසා සිටි සුදු රෙදිකඩ ඉවත් කළහ. ආශ්චර්යයකි ! ලී පුවරුවක් මත්තෙහි සවිකරණ ලද ඇණ දෙකක්ද එම  ඇණ අතර තදින් ඇද තිබූ සිහින් කම්බියක්ද පිරිස දුටහ. විමතියට පත් පිරිස තවත් විමතියට පත්කරමින් තම සුදෝසුදු ජාතික බැනියමෙහි දකුණු සාක්කුවෙන් ගත් කුඩා මුලක් සහ වම් සාක්කුවෙන් ගත් තවත් මුලක් රණවකයෝ පුවරුව දෙපස තැබූහ. දකුණු සාක්කුවෙන් ගත් මුලෙහි වූ මස් කැබැල්ල එක් ඇණයකට පිටතින් පුවරුව මත තැබූ රණවකයෝ වම් සාක්කුවෙන් ගත් මුලෙහි වූ මාළු කැබැල්ල අනෙත් ඇණයට පිටතින් පුවරුව මත තැබූහ. මින් විශ්මයට පත් වික්‍රමසිංහයෝ මින් කළ හැකි මූසික මර්ධනය කිමෙක්දැයි රණවකයන් වෙතින් විචාළහ.

රණවකයන් පවසා සිටියේ මීයා පැමිණ කම්බිය මත ගෙල තබා පළමුව මස් කැබැල්ල අනුභව කරන්නේද නැතහොත් මාළු කැබැල්ල අනුභව කරන්නේද යනුවෙන් සිතමින් බොහෝ වරක් දෙපස බලන බවත් එහි ප්‍රතිපලය ලෙස මීයාගේ ගෙල සිඳෙන බවත්ය. රණවකයන් නැණ සයුරේ දිග පලල දුටු පිරිස මහත්සේ තුටුපහටු වුවද වික්‍රමසිංහයන්ගේ මුවමඩලේ වූයේ යම් රොස්බවකි.

සිය හඬ අවදිකරමින් වික්‍රමසිංහයන් පවසා සිටියේ මස් සහ මාළු මෙවන් කර්තව්‍යයක් සඳහා උපයෝගී කරගැනීම ආර්ථික අපරාධයක්  බවයි. අසල සිටි ආහාර සුරක්ෂිතතාව පිලිබඳ ඇමත්තාණන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරානෝ ද තම පැසුණු හිස සලමින් ඒ අනුමත කරනු දක්නට ලැබිණි. මස් කැබැල්ල සහ මාළු කැබැල්ල යන දෙකම ඉවත් කළද මූසික මර්ධනය සඳහා ඉන් බාධාවක් නොවන බව වික්‍රමසිංහයන්ගේ මතය විය. මින් විශ්මයට පත් රණවකයෝ ඒ කෙසේදැයි වික්‍රමසිංහයන් වෙතින් විචාළහ.

තම බුද්ධි ප්‍රභාව විදහා දක්වමින් වික්‍රමසිංහයන් පවසා සිටියේ මීයා පැමිණ කම්බිය මත ගෙල තබා මහත් ශෝකයෙන් දෙපස බලමින් යුතුව මස් කැබැල්ලත් නැත මාළු කැබැල්ලත් නැත යනුවෙන් කල්පනා කරණ බවත්  එහි ප්‍රතිපලය ලෙස මීයාගේ ගෙල සිඳෙන බවත්ය. රණවකයන්ද පරයන වික්‍රමසිංහයන්ගේ බුද්ධි ප්‍රභාව ඇස දුටු  පිරිසගේ පස්වනක් ප්‍රීතියෙන් යුත් නැගුනු ගෝෂාවෙන් පිටකෝට්ටේ ප්‍රදේශය ඇළලී ගියේය.

විශේෂ ලියුම්කරු

Top