LNN SPY

බැදුම්කරේ ජවිපෙ කරේ ගහන්න ගිහින් මෛත්‍රී ඇනගනී… මිලියන 500ක වන්දියක් ඉල්ලා ජවිපෙ නඩුමගට

තම කීර්ති නාමයට සිදුකළ හානිය වෙනුවෙන් හිටපු දකුණු පළාත් මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතාගෙන් සහ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගමෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඊයේ (22) නඩුවක් ගොනු කර තිබේ.

නීතිඥ සුනිල් වටගල මහතා විසින් ගොනුකළ මෙම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම නම් කර ඇත.

පැමිණිලිකාර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ඉකුත් ජූනි මස 9දා දෙවැනි විත්තිකාර ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් සමාගමට අයත් ගුවන් විදුලි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ විත්තිකාර මෛත්‍රී ගුණරත්න මහතා තමා මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගෙන ඇති බවට අභූත චෝදනාවක් එල්ල කළ බවයි.

මෙය ද්වේශ සහගත ලෙස සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශයක් බවත් තමා ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා පුද්ගලයකු ලෙස හුවාදැක්වීම සඳහා විත්තිකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් මෙම ප්‍රකාශය සිදුකර ඇතැයිද පැමිණිලිකාර වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා සිය පැමිණිල්ලෙන් චෝදනා කර සිටී.

මෙම ද්වේශ සහගත ප්‍රකාශයෙන් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 250ක වන්දියක් සහ තමාට සිදුවූ මානසික හිංසනය වෙනුවෙන් රුපියල් මිලියන 250ක වන්දියක් විත්තිකරුවන්ගෙන් අයකර දෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නඩුව පවරා තිබේ.

Top