Anonymous Reporter

බිරියන්ට, අනියම් බිරියන්ට බියෙන් එ. ජා. ප යේ වළන් සෝදන්නට ගිය උන් නිදහස් පක්ෂය ආණ්ඩු හදන්නේ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට සහ ඇමැතිවරුන්ට අපේ ආණ්ඩුවක් සැදීමේ සැබෑ වුවමනාවක්  ඇත්නම් ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ කන දීගය නතර කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

බිරියන්ට, අනියම් බිරියන්ට බියෙන් එ. ජා. ප යේ වළන් සෝදන්නට ගිය පිරිස අපේ ආණ්ඩුවක් වෙනුවෙන් ඇමැතිකම් අතහරින පාටක් නැති බව පැවසූ රණතුංග මහතා එ. ජා. පය සමඟ දීග කන ගමන් නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගැන කතා කිරීමත් විහිලුවක් බවත් පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ පසුගිය දා පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව යටතේ අද රට භයානක ඉරණමකට මුහුණපා තිබෙනවා. එක පැත්තකින් රටේ ආරථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් ජාතික ආරක්ෂාව බිඳවැටිලා. තව පැත්තකින් පාතාලය හිස ඔසවමින් තිබෙනවා. මේ විනාශ වෙමින් යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩු අවුරුදු 10ක් තිස්සේ අපමණ කැපකිරීමක් කරලා ගොඩනඟපු රටයි.

මහින්ද රාජපක්ෂ කියන්නේ කරන්න බැරිය කියපු දේවල් කරලා පෙන්වපු නායකයෙක්. වසර තිහක් තිස්සේ අපේ ජනතාව යුද්ධයෙන් පීඩා වින්දා. ජේ. ආර්, ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කියන ජනාධිපතිවරුන් හතරදෙනකුම ‍කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණ නැමුවා. මහින්ද මහත්තයා 2005 බලයට එනකොට තිබ්බෙ රටක් නෙමේ ලේ විලක්.

එතුමා ජනතාවට දුන් පොරොන්දුව අනුව කොටියා ඉදිරියේ දණ නොනමා යුද්ධය අවසන් කරලා රටට සාමය උදා කළා. කොටියට ගහන්න ගත්තු දවසේ ඉඳලා ජනතාව එතුමට ආදරය කරන්න ගත්තා. අපේ ජනතාව ආදරය කරන්න ගද්දි අමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව වගේ කොටි හුරතල් කරපු අය මහින්ද මහත්තයට වෛර කරන්න ගත්තා. ඒ අයට ඕනෑ වුණේ යුද්ධය නතර කරන්න.

නමුත් මේ රටේ ජනතාවට ඕනෑ වුණේ මේ සාපකාරී යුද්ධය අවසන් කරන්න. මහින්ද මහත්තයා බලගතු රටවල්වල ඉල්ලීමට පයින් ගහලා ජනතාවගේ ඉල්ලීම ඉටු කළා. ජනතාව කිරිබත් කාලා, රතිඤ්ඤා පත්තු කරලා ජයග්‍රහණය සැමරුවා. බලගතු රටවල නායකයෝ තීන්දු කළා මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න ඕනෑ කියලා. අවාසනාවකට වගේ  අපේ රටේ විපක්ෂයත් බලගතු රටවලට උදව් කළා.

මහින්ද රාජපක්ෂ ගෙදර යවන කුමන්ත්‍රණය ආරම්භ කෙරුණේ 2009දි යුද්ධය ඉවර කරනවාත් එක්කම. විශාල වශයෙන් මුදල් පොම්ප කරලා විපක්ෂය ලවා මහින්ද රාජපක්ෂ කියන නාමය ජනතාවගෙ හිත්වලින් ඈත් කරන්න කටයුතු කළා. එදා යුද්ධය ඉවර කරලා ජනතාවගේ හිත්වල ඉපදුණු වීර චරිතය බොරු මඩ ගහලා හොරෙක් බවට පත් කරන්න මේ අය උපක්‍රමශීලිව කටයුතු කළා.

මෙන්න මේ ආකාරයට තමයි මේ අය 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ. ජනතා කැමැත්ත මත නොවෙයි මේ බල හුවමරුව සිද්ධ වුණේ. කෙටියෙන් කිව්වොත් ජනතාව විසින් තවත් අවුරුදු හයකට මහින්ද මහත්තයාගේ අතේ තියන්න ගිය ජනාධිපති කිරුළ මේ අය කූට උපක්‍රම යොදලා උදුරා ගත්තා. මේක විදෙස් අරමුදල්වලින් ක්‍රියාත්මක වුණු බලගතු රටවල කුමන්ත්‍රණයක්.

මේ ආණ්ඩුව රට විනාශ කරන එකේ පුදුමයක් නැහැ. මේ අය ආවේ රට හදන්න නෙමෙයි. ඒ අයට ලැබුණු කොන්ත්‍රාත්තුව තමයි රට විනාශ කරන එක. මහින්ද රාජපක්ෂව එළවන එක. දැන් ඒක කරලා ඉවරයි. දැන් ඉතින් රට වල පල්ලට ගියත් මේ අයට කමක් නැහැ.යහපාලන ආණ්ඩුව ගොඩනඟන්න දරදිය ඇදපු කවුරුවත් රට ගැන කැක්කුමක් ඇති අය නෙමෙයි. ඔක්කොම එක වල්ලේ පොල් වගේ සෙට් එකක්.

මේ අයට ආණ්ඩුවක් තියා ගම් සභාවක්වත් පාලනය කර ගන්න බැහැ. අගමැති ගහන පදයට තමයි ජනාධිපති නටන්නේ. වෙලාවකට හිතෙනවා විධායක ජනාධිපතිවරයකුට ගිය කලක් කියලා. රනිල් වික්‍රමසිංහට අගමැතිකම ගන්න පාර්ලිමේන්තුවේ බහුතරය අරන් දෙන්න ගිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමැතිව සෙට් එක නටන්නෙත් රනිල්ගෙම පදයට තමයි.

එදා රනිල්ට මිස්ටර් බීන් කියලා හිනා වුණ අයම අද ගරු අගමැතිතුමා කියලා වඳින පුදන හැටි දැක්කම අඬන්නද හිනාවෙන්නද කියලවත් හිතා ගන්න බැහැ. අද රනිල් ජනාධිපතිව විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අල්ලේ නටවනවා. ඒ තත්ත්වය උදා කළේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා මිසක් වෙන කවුරුත් නෙමෙයි. රනිල්ගේ අල්ලේ නටන ගමන් ජනාධිපතිවරයා පක්ෂය කඩනවා කියලා අපට බනිනවා.

පක්ෂයටත් නායකයාටත් පාක්ෂිකයන්ටත් පස්ස හරවලා ජනාධිපති අපේක්ෂකමට ගිය සිරිසේන මහත්තයා අන්තිමට මහ ලොකුවට පක්ෂය ගැන කතා කරනවා. තුනෙන් දෙකක ආණ්ඩුව, පළාත් සභා, පළාත් පාලන ආයතන හිමිවෙලා තිබ්බ පක්ෂය අද එක්සත් ජාතික පක්ෂයේ ‍පිළිකන්නේ ලැගගෙන රෙදි හෝදන තැනට ගෙනාවේ අපිද?

මහින්ද මහත්තයා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය උදා කරපු යුග පුරුෂයා. ඒ යුගය නිමා කරපු ඇම්බැට්ට රැල කවුද කියලා ජනතාව හොඳට දන්නවා. දැන් මහින්ද අමරවීරලා ව‍ගේ අය කියනවා පක්ෂය කඩන්නේ නැතුව ජනාධිපතිගේ නායකත්වය යටතට එක්වෙන්නලු. නිදහස් පක්ෂය පාවා දුන්න අය එ. ජා. පයේ අසූචි කන ගමන් අපටත් හවුල් වෙන්න කතා කරනවා.

උන්නැහෙලා වගේ අපි අසූචි කන්නේ නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දෙන්නවත් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නවත් කවදාවත් හවුල් වෙන්නේ නැහැ. රට විනාශ කරන මේ පාපකර්මයට කවදාවත් අපි කර ගහන්නෙත් නැහැ. එහෙම ‍කළොත් අපේ අනාගත පරම්පරාව අපට සාප කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති රැලට ඒ සාපයෙන් ගැලවෙන්න බැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගැන කිය කිය එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලිලා හිටියට හරියන්නේ නැහැ. අපේ ආණ්ඩුවක් හදන්න නම් ඉස්සෙල්ලා ඔය සභාග ආණ්ඩුවෙන් එළියට බහින්න. මේ අය එහෙම ආණ්ඩුවෙන් එළියට බහින පාටක් නැහැ. එ. ජා. පය එක්ක දීග කන කමන් ශ්‍රී ලංකා ආණ්ඩුවක් ගැන කියවන්නේ පාක්ෂිකයෝ නැති වෙනවට බයේ මිසක් වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඕවට අපි රැවටෙන්නේ නැහැ. ‍

පාවා දීම කවුරු කළත් වැරැදියි. පක්ෂයේ නායකයා පාවා දීමක් කළාම පක්ෂය ඔලුවේ තියන් ඒ පාවා දීම සාධාරණීකරණය කරන්න අපි සූදානම් නැහැ. අද පක්ෂය පාවා දුන් කෙනා හෙට අපි පාවා නොදෙයි කියලා විශ්වාසයක් තියන්න බැහැ. අන්න ඒ නිසයි අපි මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය කියලා වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඉන්නේ.

අපි වගකියන්නේ ජනතාවට. අපට ඕනේ ජනතාවාදී ආණ්ඩුවක් හදන්නයි. ගෙදර නෝනට බයේ, අනියම් බිරියට බයේ, හොරකම් නවතිනවට බයේ ඇමැතිකම් අරන් ඉන්න සමහරුන් මොන විග්‍රහ කළත් ආණ්ඩුව ගැන ජනතාවට තියෙන් අප්‍රසාදයක්. කලකිරීමක්. ඡන්දය දුන්න මිනිස්සුම දැන් ප්‍රසිද්ධියේ ආණ්ඩුවට බනිනවා. මහින්ද මහත්තයාගේ ගුණ කියනවා. ඒ අයට තේරුණේ නැති වුණාට ර‍ටේ තත්ත්වය ඕකයි.

Top