Anonymous Reporter

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නෑ

විවිධ අය මොන කතා කිව්වත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාලා යන්නේ නෑ. මට කරන චෝදනා සම්බන්ධව මම දන්නවා ගම් මට්ටමේ සිටින සියලු ජනතාව කම්පා වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.කටුවන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ජී.හරිස්චන්ද්‍ර මහතාගේ මිද්දෙණිය, පිහිටි නිවසේදී පෙරේදා (3) සවස පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවකට එක් වෙමින් මහින්ද රාජපක්ෂ මහතා….

“මේ අය වැයෙන් ජනතාවට සහනයක් ලැබෙයි කියලා අපි බලා‍පොරොත්තු වෙනවා. මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් යන පක්ෂ දෙකම තිබෙන දෙමුහුන් ආණ්ඩුවක් නිසා.”

“විවිධ අය මොන කතා කිව්වත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරදාලා යන්නේ නෑ. මට කරන චෝදනා සම්බන්ධව මම දන්නවා ගම් මට්ටමේ සිටින සියලු ජනතාව කම්පා වන බව. සමහර මවුවරුන් මා දැක්කම අඬනවා. පුතාට කරදරයි කියලා කඳුළු සලනවා. මම එයාලා කරන හිරිහැරවලට සැලෙන්නේ නෑ.”

“දැන් ඒ පරීක්ෂණවලින් කියපු ගණන් හිලව් අඩුවන ආකාරය බලන්න. තවවරක් දෙවරක් කොමිසමට යනවිට තවත් බොහෝදුරට අඩුවිය හැකියි. මේ වැඩ මහා විකාරයක්. ආණ්ඩුව කළයුත්තේ රටට ජනතාවට වැඩකිරීමයි.”

“ඔවුන් කාලය ගතරන්නේ පළිගන්නයි. එයින් සිදුවන්නේ ජනතාවට අසාධාරණයක්. අපේ කාලයේ හම්බන්තොට ‍ලේවායේ ලුණු අස්වැන්නෙන් කොටසක් කතරගම දේවාලයට වෙන් කළා. අද ඒවා නැහැ. හැබැයි ලුණු අස්වැන්නත් අඩුවෙලා. අපි කරපු සංවර්ධන වැඩ ජනතාව දන්නවා උත්සව තබා හෝ නැතිව මේවායේ පහසුව ජනතාවට ලබාදිය යුතුයි.”

“අපේ නම් නොගැහැව්වාට පින්තූර නොදැම්මාට ගැටලුවක් නැහැ. අපේ උත්සාහය වූයේ ජනතා සේවය. එය සම්පූර්ණ කිරීම පාලකයන්ගේ යුතුකම වනවා. අද මත්තල බලන්න. අපි එය ඉදිකළේ නැතිනම් අද හදිසියට ඔය බස්සන ගුවන් යානා බස්සන්නේ කොහේද? අපිට බණිනවා. ඒත් අපි කරපුවායින් ප්‍රයෝජන ලබාගන්නා ගමන් තමයි සියලුම ගැහිලි ගහන්නේ.”

“වරාය වුණත් එහෙමයි. අපි කළේ නැතිනම් හම්බන්තොටට වරායක් ඒවිද? ජනතාවත් මෙය තේරුම්ගත යුතුයි. වප් මඟුලකට එළ හරකයි, මී හරකයි බඳින යුගයක් මේක. ඒ සත්තු දෙන්නාගෙන් කරන කාර්යවත් හරිහැටි අඳුරාගන්න බැරි අයයි දැන් ඉන්නේ.”

“පළාත් පාලන මැතිවරණය පවතින ක්‍රමය ගැන අපේ කාලයේ කොට්ඨාස පිළිබඳව තීන්දු තීරණ ගත්තා. මායිම සලකුණු කළා. ඒත් අද වන විට ඒවා පිළිබඳවත් විවිධ මත පළවන නැවත සශෝධනය කළ යුතුලු.”

“ඒත් අවසාන තීන්දු තීරණ ගතයුත්තේ රජයයි. චීනය අපට හොඳ මිත්‍ර රටක්. ඔවුන් තවත් රටක් දියුණුවනවාට කැමැතියි. දෙන ආධාර ණය ප්‍රයෝජනවත් විදිහටයි දෙන්නේ. ඔවුන් සමග කටයුතු කිරීම අපට වාසිදායකයි. ඒ නිසා තමයි දිගටම අපි ඔවුන් සමග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ.”

“ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව තියෙන්න ඕන. විනයක් තියෙන්න ඕන. ඒ නිසා පොලිසියට විශාල වගකීමක් තියෙනවා. අපි එයාලව විවේචනය කරලා වැඩක් නැහැ. ඔවුන්ට ඉහළින් ලැබෙන නියෝග ඔවුන් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේවා පිළිබඳවත් අවබෝධයක් ඇතිව අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා.”

“අපි ලබා ගත්ත නිදහස අපි ආරක්ෂා කරන්න ඕන. යුද්ධය ඉවර කරපු එකේ ප්‍රතිඵලය තමයි ජිනීවාවලින් අපිට දැන් ගහන එක. දැන් කියන්නේ සොල්දාදුවෙක් වරදක් කළාම එහෙම නැත්නම් සොල්දාදුවෙක් ගැහැනු ළමයෙක් අරන් ගිහින් දූෂණය කරලා මරලා දැම්මොත් ඒකට වගකියන්න ඕන මුළු හමුදාවම. අන්තිමට වග කියන්න ඕන ගෙදර නිදාගත්ත ජනාධිපති. එක පුද්ගලයෙක් නිසා මුළු යුද හමුදාවටම ‍ෙදාස් කියන්න බැහැ. එහෙම නම් අපිට දෙන්න ඕන ඒකට විසඳුමක්. ”

“නඩුකාරවරු පිටරටින් ගේන දෙමුහුම් උසාවියක් ඕන නෑ. මෙහේ තියෙන අපරාධ නීති හොඳටම ඇති. වෙන නීති අවශ්‍ය නැහැ. ඒ නිසා මේ නීතිය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නේ. අපි සියලු දේට ඔළුව නමන, ජාතියක් වශයෙන් නැමෙන ජාතියක් වෙන්න බැහැ අපිට. වැරැදි දේට වැරැදි කියන්න පුළුවන්. හරි දේට හරි කියන්න පුළුවන්. මිනිස්සු බවට අපි පත් වෙන්න ඕන කියන එකයි මං විශ්වාස කරන්නේ”

පී.කේ. ලියනගේ මිද්දෙණිය

Top