විශේෂාංග

මහා පාවාදීමෙන් පසු රටේ ඉරණම

ජනවාරි 08 ආරම්භ වූ ‘‘ රට වෙනස් කිරීමේ ’’ න්‍යාය පත‍්‍රය අගොස්තු 17 කඩඉමද පසුකරමින් ඉදිරියට ඇදෙමින් ඇත. ඒ තුළ පොදු අපේක්‍ෂකයෙකු මඟින් පරාජයට පත්කළ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා දෙවන වරට අගමැති අපේක්‍ෂකයා ලෙසද පරාජයට පත්කොට ඇත. දැන් ඔහුට විපක්‍ෂනායක කමද අහිමි කිරීමේ මෙහෙයුමද සාර්ථකව නිම කොට ඇත. අප රටේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය සහ මහින්ද රාජපක්‍ෂ සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අතුගා දැමීමේ අවශ්‍යතාවය ඉතා දැඩි ලෙස එකට බැදී ඇත. මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකිරීමෙන් තොරව උතුරේ ප‍්‍රශ්නය විසදිය නොහැකි බවට හිටපු ඇමෙරිකානු තානාපති පැටි‍්‍රෂියා බුටෙනේස් මහත්මිය සිදුකළ රහසිගත ප‍්‍රකාශ ඇයගේ ඊමේල් පණිවිඩ (විකිලික්ස් මඟින් එළදරව් වූ)වලින් එළිදරව් විය.

ඇමෙරිකාවේ ජාතික ආරක්‍ෂක ඒජන්සියේ උපදේශකයකු වන අද්මිරාල් ඩෙනිස් බේලයර් විසින් ‘‘ඩිප්ලොමැට්’’ නැමැති ජාත්‍යන්තර සඟරාවකට යොමුකළ ලිපියකින් කියා සිටින්නේ ශ‍්‍රී ලංකාවේ අගොස්තු 17 ඡුන්ද ප‍්‍රතිඵලය කලාපයේ සහ ලෝකයේ ඇමෙරිකානු අපේක්‍ෂා වලට බලපාන බවය. එම නිසා ඔහු කියන්නේ අගොස්තු 08 වැනිදා ඇමෙරිකාව ලබාගත් ජයග‍්‍රහණය තවදුරටත් තහවුරු කරගත යුතු බවය. ඔහු සඳහන් කරන්නේ ඇමෙරිකාවට තෑගි පිණිස ලබාදිය යුතු මැතිවරණ ප‍්‍රතිඵලය ලබාගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ නිර්භීත මිනිසුන් සහ ගැහැණුන් රාශියක් අනතුරු දරමින් මහන්සි වී වැඩ කරන බවය. ඔහු ඒ ස්තූති කරන්නේ මහින්ද රාජපක්‍ෂ දේශපාලන වශයෙන් වල දැමීම සඳහා උදළු අතැතිව වෙහෙසෙන පුරවැසි බලය ආදී එන්.ජී. ඕ. කාරයින්ට බව පැහැදිලිය.

ඇත්තවශයෙන්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා මෙන්ම අගමැති අපේක්‍ෂකයා පරාජය කිරීමට ඔවුනට ඒ කියන තරම් විශාල මහන්සියක් බිම් මට්ටමේදී දැරීමට සිදුවූයේ නැත. එම අවස්ථා දෙකේදීම ඡන්ද ලක්‍ෂ 02 කට අඩු ප‍්‍රමාණයක් එහා මෙහා කිරීමෙන් සම්පූර්ණ මැතිවරණ ප‍්‍රතිඵලය වෙනස් කිරීමේ හැකියාව තිබුණි. සුළු ජාතික ඡන්ද ප‍්‍රමාණයෙන් අති බහුතරය ලබාගත හැකි තත්වය නිර්මාණය කිරීමෙන් පසුව ඔවුනට බහුතර සිංහල බෞද්ධ ඡුන්ද වලින් එහා මෙහා කිරීමට සිදුවූයේ සුළු ප‍්‍රමාණයකි. ඒ සඳහා බිම් මට්ටමේ දියුණු ක‍්‍රියාකාරකම් අවශ්‍ය නොවීය. මාධ්‍ය යොදාගනිම්න් මහින්ද රාජපක්‍ෂ මහතාට අභූත චෝදනා එල්ල කිරීමේ ක‍්‍රියාවලියෙන් පමණක් එම අභියෝගය ජයගත හැකි විය. ඔවුනට තිබූ එකම අභියෝගය මහින්ද රාජපක්‍ෂ කඳවුර විසින් සැලසුම් සහගත උපාය මාර්ගික මැතිවරණ ක‍්‍රියාවලියක් මඟින් ඔවුන්ගේ ඒ අවදානම් ජයග‍්‍රහණය උදුරාගැනීම වැලැක්වීමය.

ඒ සඳහා ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද භාවිතා වූ උපක‍්‍රමය වූයේ මහින්ද පිලේ මැතිවරණ වැඩපිළිවෙල තුලට ඔත්තුකරවන් ඇතුල් කිරීම මඟින් එය අභ්‍යන්තරයෙන් අවුල් කිරීමය. ඊට අමතරව මහ මැතිවරණයේදී පිටත සිට බිම් මට්ටමේ ඡුන්ද දායකයා මානසිකව අවුල් කිරීම මඟින් ඔවුන් ඡන්ද පොලට යාම වැලැක්වීමද භාවිතා විය. අවසාන දින 03 තුළ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දියත්කළ ජේ.ආර්. ජයවර්ධන වැන්නෙකුට පවා සිතා ගැනීමටවත් නොහැකි දුෂ්ඨ දේශපාලන මෙහෙයුමක් හරහා ඒ අරමුණ ඉතා සාර්ථකව ඉටුකරගැනීමට ඔවුන් සමත් විය. මහින්ද රාජපක්‍ෂ ජයග‍්‍රහණය නොකරන බව සහ ඔහු ජයග‍්‍රහණය කළද අගමැතිකම නොදෙන බව ඉතා බරපතල ලෙස සමාජගත කිරීමට එම ක‍්‍රියාවලිය තුළ ඔවුන් සමත් විය. ඒ මඟින් මහින්ද රාජපක්‍ෂ මහතාට ඡුන්දය පාවිච්චි කිරීමේ විභවය තිබූ ලක්‍ෂ 11 ක් ඡුන්දපොල වෙත යාම වැලැක්වීමට හැකි විය.

අවසන් දින 03 තුළ තම ප‍්‍රතිවාදියාවූ මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිතුරු දීමට හෝ ප‍්‍රතික‍්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දියත්කළ එම කූඨ සහ පහත් මෙහෙයුම ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ අශූචි පැල්ලමක් බවට කිසිදු සැකයක් නැත. ඒ මඟින් ජනාධිපතිවරයා විධායක බලය අත තබාගෙන තම නිරායුධ පුද්ගලික ප‍්‍රතිවාදියාට (ඔහු ශ‍්‍රීලපයේ සභාපති බැවින් මහින්ද රාජපක්‍ෂ ඔහුගේ දේශපාලන ප‍්‍රතිවාදියා සැළකිය නොහැක) එල්ලකළ ප‍්‍රහාරය බරපතල මැතිවරණ දූෂණයකි. එය පොලූ වලින් ගසා ඡුන්ද දායකයින් සහ ඡුන්දපොල නියෝජිතයින් එළවා දමා ඡන්ද පෙට්ටි පිරවීමට වඩා බරපතල මැතිවරණ දූෂණයකි. එවැනි සාම්ප‍්‍රදායානුකූල මැතිවරණදූෂණ වලින් අවසාන ඡන්ද ප‍්‍රතිඵලයට සිදුවිය හැකි බලපෑමට වඩා සිය දහස් ගුණයක බලපෑමක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකළ ඡන්ද දූෂණය මඟින් සිදුවිය.

ඊට අමතරව ඡුන්දයට දින 03 ක් තිබියදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම්වරු ඉවත් කිරීම මඟින්ද බිම් මට්ටමේ සාමාජිකයින්ගේ අධ්‍යාත්මික ශක්තිය බිඳවැටීම අරමුණු කළ බව තේරුම් ගැනීම අමාරු නැත. පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් කිසිදු නිදහසට කාරණයක් විමසීමට හෝ පැවැසීමට ඉඩක් නොතබා තොග පිටින් ඉවත්කිරීම යහපාලනයේ අවම මූලධර්ම වලටවත් අනුකූල නොවේ. එවැනි ඒකාධිපති මනෝභාවයකින් ජේ.ආර්. ජයවර්ධන වැනි අත්තනෝමතික පාලකයකු හෝ හිට්ලර් වැනි ඒකාධිපති බිහිසුණු පාලකයෙකු ක‍්‍රියාකොට නැත. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම ජනාධිපති බලය යොදා බලහත්කාරයෙන් ලබාගැනීමෙන් පසුව එම පක්‍ෂය පරාජය කිරීමට ක‍්‍රියාකළ ආකාරය තරම් පහත් ක‍්‍රියාවක් පිළිබඳ උදාහරණයක් ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයෙන් සොයාගත නොහැක. තමාගේ බල ප‍්‍රදේශය වූ පොළොන්නරුව පවා පරාජය කිරීමට දැනුම්වත්ව ක‍්‍රියාකිරීම පිළිබඳව ඔහුට කිසිදු ලැජ්ජාවක් තිබෙන බව පෙනෙන්නේ නැත.

කෙසේ වෙතත් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මනස සහ එතුමාගේ ඇඟිලි හසුරුවන පිරිස් විසින්ම දුරස්ථ පාලකයක් මඟින් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමද කළමනාකරණය කළ ආකාරය අපක්‍ෂපාතීව ඇගැයීමට ලක්කළ යුතුය. ඒ මෙහෙයුමට ගොදුරුවීම පිළිබඳ මහින්ද රාජපක්‍ෂ පිළ ලැජ්ජා විය යුතුය. ජනාධිපතිවරණයේදී කිසිදු උපාය මාර්ගික සැලසුමක් නොමැතිව විවිධ පුද්ගලයින් යටතේ විවිධ මධ්‍යස්ථාන වලින් හුදකලාව දියත්කළ ප‍්‍රචාරක ව්‍යාපෘති වලින් විවිධ පුද්ගලයින්ට කොමිස් ගැසීමට අවස්ථාව සැලසුනත් ඒ සියල්ලේ එකතුව මඟින් අපේක්‍ෂා කළ ප‍්‍රතිඵලය ලැබෙනවාදැයි ඒ එකෙකු විසින් හෝ සොයා බැලීමක් නොකලේය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කිට්ටුම ඥාතියකු ජෙහාන් පෙරේරලා වැනි බටහිර ඔත්තුකරුවන් සමඟ බරපතල සබඳකම් පැවැත්විය. ඔවුන් මහින්ද පරාජය වීම මඟින් ශ‍්‍රී ලංකාවට අරාබි වසන්තයක් උදාවීම වැලැක්විය හැකිවූ බවට පවා මත පළකල බව වාර්තා විය.

එම මෙහෙයුම තුළ කිසිදු උපායමාර්ගික ඥාණයක් හෝ වැඩපිළිවෙලකින් තොරව කුලීකාරකම් කළ ඉහළම රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකු ඡුන්දය පරාජය වී පසුදින නතරවූයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දෙපාමුලය. ඔවුන් දෙදෙනාට රටේ ඉහළම තනතුරු 02 ක හිමිවිය. ඒ ආකාරයට ජනාධිපති කාර්යාලයේ ඉහළම පරිපාලන තනතුර සහ මහා භාණ්ඩාගාරයේ ඉහළම තනතුර ලබාගත හැකි තරම් මෛත‍්‍රීපාල මහතාගේ විශ්වාසය දිනාගත් ඔත්තුකරුවන් දෙදෙනෙකු අරලියගහ මන්දිරයේ සිට ඉහළම සාකච්ඡා වලට සහභාගී වීම මොනතරම් බරපතල කරුණක්ද? එහෙත් මහ මැතිවරණ ක‍්‍රියාවලිය තුළද එවැනි බරපතල වැරදි සහ පාවාදීම් නැවත සිදුවීම පිළිබඳව සමාව දිය හැකිද? ජනාධිපතිවරණයේ අවසාන කාලයේදී සහ ඊට පසුවද මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කිට්ටු වූ පිරිස් මහ මැතිවරණයේදී මහින්ද පිළ වෙත නැවත සේන්දු වී ඡන්ද මෙහෙයුම තුළ බලපෑම් කළ හැකි තත්වයක් ලබාගැනීම මොනතරම් ඛේදවාචකයක්ද යන්න ප‍්‍රතිඵල වලින් පැහැදිලි වේ. මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඉහළ පරිපාලන තනතුරක් දැරූ චරිතයක් නැති හිස් මිනිසෙකු පුද්ගලයතු ඒ අතුරින් විශේෂිතව හඳුනාගත හැක.

එම පිරිස් විසින් මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස ක‍්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට 13 වැනි ව්‍යවස්ථා සංශේධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරන බවට ප‍්‍රතිඥාවක් ඇතුල් කලේය. ඔවුන් ජාතික සංවිධාන වලට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සුළු පක්‍ෂ නියෝජිතයන්ට එම ප‍්‍රතිපත්ති සම්පාදක ක‍්‍රියාවලිය තුළ කිසිදු නියෝජනයක් ලබාදුන්නේ නැත. අවසානයේදී ජාතික සංවිධාන වලට ඔවුන් මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා සමඟ එළඹුනු ජාතික සංමුතිය මඟින් උතුරට ඉඩම්, පොලිස් බලතල ලබා නොදෙන බවට එකඟතාවයක් ලබාගැනීමට සිදුවිය. මහින්ද රාජපක්‍ෂ කඳවුරේ තත්වය ඒ තරම් කණගාටුදායක තත්වයකට ඇදවැටී තිබීම තුළ මැතිවරණයේදී ලබාගත් පරාජය පැහැදිලි කිරීම අමාරු නැත. නමුත් කණගාටුවට කාරණය වන්නේ ඉතා සුළු නිවැරිදි කිරීම් ප‍්‍රමාණයකින් ලබාගත හැකිව තිබූ ඡන්ද ප‍්‍රමාණයකින් පරාජය සනිටුහන් වීමය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිටුපස සිටින ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තුසේවා විසින් ඡන්දයේ අවසාන දින කිහිපය තුළ බරපතල සදාචාර විරෝධී පහත් දේශපාලන මෙහෙයුම් දියත් කිරීමට ඉඩ තිබෙන බව ජාතික සංවිධාන අනුමාන කළහ. විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ හිතවාදී ජන බලවේගය මහ මැතිවරණ ක‍්‍රියාවලිය තුළ බලය තහවුරු කරගනිමින් ඉදිරියට ගමන් කරන විට එවැනි මෙහෙයුමක් දියත් කිරීමට ඉඩ තිබෙන බව පැහැදිලිව පෙනුනි. ඇත්තවශයෙන්ම මහින්ද රාජපක්‍ෂ වටා ගොඩනැගුනු ඒ ජන බලවේගය බිමි මට්ටමේ ජනතාව තුලින්ම ක‍්‍රමයෙන් ගොඩනැගුනකි. ඒ මෙහෙයුම මධ්‍යගත ඡන්ද ව්‍යාපාරයක් මඟින් ඉහලට එසවූවක් නොවේ. ඒ නිසාම එම අසංවිධානාත්මක ස්වේච්ඡා ඡන්ද බලවේගය අකර්මණය කිරීමට සතුරාට හැකියාව ලැබුනි. එම තත්වය පිළිබඳව යම් පූර්ව අවබෝධයකින් යුතුව ජාතික සංවිධාන විසින් මහින්ද රාජපක්‍ෂ පිලට යෝජනා 03 ක් ඉදිරිපත් කෙරිනි.

පළමු යෝජනාව වූයේ එදා 2004 දී සන්ධානයේ පක්‍ෂ විසින් ගිවිසුමකට එළඹුනු ආකාරයට යම් නීතිමය බැඳීමක් සහිතව ගිවිසුමකට එළබීමේ වැදගත් කමයි. ඒ මඟින් සියළු පක්‍ෂ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමට එකඟවන්නේ කුමන හේතුවක් මතද යන්නද ප‍්‍රභලව සමාජ ගතවේ. විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජය කලයුතු වන්නේ 2002 නැවැත්වූ තැනින් නැවන පටන්ගෙන රට අනතුරට හෙලීම වැලැක්වීම සඳහා යන්න සමාජ අවධාරණයට ලක්කිරීමට ඒ මඟින් අවස්ථාව තිබුනි. එම යෝජනාවට අනුව සන්ධානයේ පක්‍ෂ විසින් එළබෙන ගිවිසුමට අපේක්‍ෂකයින් සහ ජාතික සංවිධාන සහ මහජනයාද පාර්ශවකරුවන් කිරීම මඟින් මහින්ද මහතාට ලැබෙන සෑම ඡන්දයකටම සුජාතභාවය ලබැගැනීමට ඉඩ තිබුනි. නමුත් මහින්ද පිළේ ලොක්කන් ගෙන් ඊට අනුමැතිය ලැබුනේ නැත.

එදා එම ගිවිසුම ප‍්‍රසිද්ධියේ අත්සන් කළා නම් අද සුසිල් පේ‍්‍රමජයන්ත සහ අනුර ප‍්‍රියදර්ශන යාපා වැනි දුප්පත් දේශපාලකයින් සිදුකරන පහත් පෙලේ පාවාදීමට විරුද්ධව පිළිතුරු සොයා ගැනීමට නීතිමය ඉඩක් පාදගැනීමට ඉඩ තිබුනි. නමුත් ඒ සියල්ල වැදගත් වන්නේ සතුරාගේ මෙහෙයුම පිළිබඳව පූර්ව අවබෝධයක් හා අවධානයකින් සහ සොයා බැලීමකින් පසුවූවා නම් පමණී. මනාප පොරයට වැටී සිටි සන්ධාන දේශපාලකයින්ට සමස්ත ඡුන්ද ව්‍යාපාරය ඉහළට එසවීම පිළිබඳව හෝ සතුරාගේ මෙහෙයුම් පරාජය කිරීම පිලිබඳව සිතා බැලීමට ඉස්පාසුවක් නොතිබිනි. බැසිල් රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ වැනි මෙහෙයුම් පරිචය සහිත නායකයින් පවා මතුපිටින් සහ හුදකලාව යම් මෙහෙයුම් වලට දායක වූවත් සමස්ථ ඡුන්ද ව්‍යාපාරය ස්ථානගත කිරීමට මැදිහත් වූයේ නැත. ඊට අදාලව උපාය මාර්ගික දායකත්වයක් ඔවුන්ගෙන් ලැබුනේ නැත. සන්ධානයේ සිටින බොහෝ මෙහෙයුම් විශේඥයින් උපාය මාර්ගික දුප්පතුන් බව සතුරා ඉතා හොදින් දැන සිටි බවට සැකයක් නැත. කෙසේවෙතත් දෙවන සහ තුන්වන යෝජනා මේ අවස්ථාවේ දී මෙවැනි ලිපියකින් එළිදරව් කළ නොහැක.

දැන් පැටි‍්‍රෂියා බුවනේස්ලාගේ පුරවැසි බලය එන්.ජී. ඕ. බලඇනිය කියා සිටි ආකාරයට මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකොට අවසානයේදී මෛත‍්‍රී පාලනයක් මුවාවෙන් රනිල් වික‍්‍රමසිංහ පාලනයක් ස්ථාපිත කොට ඇත. රනිල් වික‍්‍රමසිංහ හරහා ජාත්‍යන්තර බෙදුම්වාදී න්‍යායපත‍්‍රය 2002 සිට නැවත පටන්ගැනීම සඳහා තවත් පූර්ව කොන්දේසි 03 ක් ඉටුකරගත යුතුව ඇත. පළමුවැන්න, මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධූරයත් අහිමි කිරීමය. දෙවැන්න, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේද බින්න කොට ජාතිකවාදී ස්ථාවරයෙන් පීලි පන්නවා යු.එන්.පී වලිගයක් බවට පත්කිරීමය. ඇත්ත වශයෙන්ම එම ක‍්‍රියාවලි දෙකම එකට බද්ධ වී ඇත. තුන්වැන්න රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉටුකිරීමට නියමිත රට පාවාදීමේ කොන්ත‍්‍රාත්තුව ක‍්‍රියාත්මක වන අවස්ථාවේදී ඊට එරෙහිව කිසිදු පියවර ගැනීමට නොහැකි අසරණ තත්වයකට හෙවත් බිම් මට්ටමේ සදාචාරමය සහ දේශපාලන බලය අහිමි තත්වයකට මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත්කිරීමය. තම පක්‍ෂය පරාජය කිරීමට කළ හැකි සියළු දේ කිරීමෙන් පසුව ලැබුණු ඡන්ද ප‍්‍රමාණය අනුව උරුම වූ ජාතික ලැයිස්තුවද උඳුරාගෙන තම සාමාජිකයා විසින් පරාජය කළ අයට මන්ත‍්‍රීකම් ලබාදී අගමැතිකම පමණක් නොව විපක්‍ෂනායක කමද පක්‍ෂයට අහිමි කළ පක්‍ෂ නායකයෙකුට කුමන සදාචාර බලයක්ද?

මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම ස්වාමිවරුන්ට එරෙහිව ස්වේච්ඡාවෙන් පියවර ගනු ඇතැයි ඉන් අදහස් නොවේ. නමුත් එතුමා එම ස්වාමිවරුන්ගේ සහජාත පුත‍්‍රයකු නොවේ. එතුමාට මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ කොන්ත‍්‍රාත්තුව ලැබෙන්නේ ඒ වන විට තෝරාගැනීමට සිටි සුදුසුම පුද්ගලයා ඔහු නිසාය. එහෙත් ඔහු ඔවුන්ගේ පන්තියේ අයෙකු නොවේ. මහජන පීඩනය මත ඔහු මහජනයාගේ පැත්තට නැමීමේ සුළු අනතුරක් ඇත. අධිරාජ්‍යවාදී ස්වාමිවරුන්ට දැන් එවැනි සුළු අනතුරකට හෝ මුහුණ නොදී කඩිනමින් ‘‘වැඬේ’’ ඉවර කිරීමේ අවශ්‍යතාවයක් ඇත. ඒ දැනටමත් ඔවුන් බොහෝ පමා වී සිටින නිසාය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමුළු පවත්වමින් පක්‍ෂයේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කළත්, මහින්ද රාජපක්‍ෂ මහතා වැරදි උපාය මාර්ගයක පිහිටා සිනහ මුහුණකින් ඊට තල්ලූවක් ලබාදුන්නත්, මෛත‍්‍රීපාල මහතාට පක්‍ෂයේ බිමි මට්ටමේ සහයක් නැත. ඉහළ මට්ටමේ සිටින ආත්මාර්ථකාමී කොන්ද පන නැති දුප්පත් නායකයින් යටත් කිරීමට මෛත‍්‍රීපාල මහතා සමත් වූවත් බිම් මට්ටමේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයාගේ වෛරයෙන් සහ පිළිකුළෙන් ගැලවීම ඔහුට පහසු වන්නේ නැත. ඒ අනුව ඉදිරි අර්බුද වලදී මෛත‍්‍රීපාල මහතාට විලියම් ගොපල්ලව ජනාධිපති කෙනෙක් වෙනවා මිස මහින්ද රාජපක්‍ෂ ජනාධිපති කෙනෙක් වීමට ඉඩක් ලැබෙන්නේ නැත. බිම් මට්ටමේ මහජන බලයක් නොමැතිව විධායක ජනාධිපතිවරයකුට තම විධායක බලය අවශ්‍ය අවස්ථාවල බලහත්කාරයක් සහිතව යෙදවිය නොහැක.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා 2002 දී සටන් විරාම ගිවිසුම හරහා උතුර කොටියා අතට බන්දේසියක තබා පිරිනමන විට කැමැත්තෙන් සහ සතුටින් යටත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ භූමිකාවට අවතීර්ණ වීමට විලියම් ගොපල්ලවගේ බලය සහිත මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තව නොබෝ දිනෙකින් බලකෙරෙනු ඇත. වෙනසකට ඇත්තේ එදා ආයුධ සන්නද්ධ සටන් පැවැති බැවින් සටන් විරාමයක් මඟින් මහජන විරෝධය යම් පමණකට හෝ සමනය කරගැනීමට ඉඩක් තිබීමය. නමුත් අද රාජ්‍යතාන්ත‍්‍රික සටන් උත්සන්න කොට ඊට දායකවන පිරිස් විසින්ම රාජ්‍යතාන්ත‍්‍රික සටන් විරාමයක් කැඳවන විට මහජනයා වික්‍ෂිප්ත වනු ඇත. එවැනි අවස්ථාවක මෛත‍්‍රීපාල සිරිසේන මහතාද වික්‍ෂිප්ත වන බවට සැකයක් නැත. එහිදී සිදුවිය හැක්කේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මහජන පීඩනය නොසලකා හැරීමට වඩා මහජනයා විසින් ඔහු ගැන බලාපොරොත්තු තැබීම අත්හැරීමය. කෙසේවෙතත් ඒ ක‍්‍රියාවලි දෙකේම ප‍්‍රතිඵලය එකකි. එනම් දකුණු අප‍්‍රිකාව මුල්කරගෙන ආරම්භ කෙරෙන ජාත්‍යන්තර රාජ්‍යතාන්ත‍්‍රික සටන සහ ඒ තුළින් ඇතිකරන ඊනියා සටන් විරාමය තුළින් රිංගා බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය ඉදිරියට ගමන් කිරීමය.

දකුණු අප‍්‍රිකානු මැදිහත්වීම හෙවත් නූතන බෙදුම්වාදී රාජ්‍යතාන්ත‍්‍රික සටනට පහසුකම් සැලසීම සඳහා මංගල සමරවීර මහතා ඉදිරි සති දෙක තුන තුළ දකුණු අප‍්‍රිකාවට යනු ඇත. ඊට පෙර ඔහු ඊට අදාල මූලික සාකච්ඡුාවක් ලන්ඩන් නුවරදී පැවැත්විය. එම සාකච්ඡාවට අකුණු අප‍්‍රිකානු නියෝජිතයින්, ගෝලීය දෙමළ සංසදය පමණක් නොව එරික් සෙලේහයිම්ද සහභාගී විය. පසුගිය දිනවල හදිසියේ ශ‍්‍රි ලංකාවේ ගුවන්තොටුපල හරහා ගමන්කළ දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ප‍්‍රභූ පර්යන්තයේදී මුණගැසීමට ටී.එන්.ඒ. පක්‍ෂයේ නීති උපදේශක රත්නවේල් මහතාට අවස්ථාව ලබාදුනි. (ඒ සඳහා විදේශ අමාත්‍යංශයේ අවසරය අවශ්‍ය වේ) දැනට ගොඩනැගෙන තත්වයන් අනුව 13 වැනි සංශෝධනයේ බෙදුම්වාදී බලතල උතුරට ලබාදීම සහ උතුරින් හමුදා ඉවත්කිරීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ අකුණු අප‍්‍රිකානු මැදිහත්වීම සහිතව බව පැහැදිලිව පෙනේ. දකුණු අප‍්‍රිකානු මැදිහත්වීම පිළිබදව මෙරට මානව හිමිකම් සැසිවාරයේ දී ද මංගල සමරවීර විසින් සහතිකයක් ලපා දුනි.

රනිල් වික‍්‍රමසිංහ මහතා හදිසියේම ඉන්දියාව බලා පිටත්වන්නේද එම ක‍්‍රියාවලියට පහසුකම් සැලසීමට සහ සීපා ගිවිසුමට අදාල දොල පිදේනි ඉදිරිපත් කිරීමට බව පෙනේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා එසේ පෙලගැසෙන ජාත්‍යන්තර ක‍්‍රියාවලියට පහසුකම් සැලසීමේ ක‍්‍රියාවලිය ඉතා හොඳින් ඉටුකරගෙන යන බවද පෙනේ. ඔහු තම පක්‍ෂය සමුළුවක් මඟින් මහ ගෙදරට කැඳවන බව මතු පිටින් පෙන්නුවත් එම පක්‍ෂයේ කොදු නාරටිය බිඳ දමා ජාතික භූමිකාව අහිමි කොට සතුරා ඉදිරියේ දණ ගැස්සවීමට ක‍්‍රියාකොට ඇත. ඔහුගේ යහපාලන කටින් කිසිදු චකිතයකින් තොරව තම පක්‍ෂයේ නායකයින්ට තර්ජනය කරන්නේ ‘‘විපක්‍ෂයට ගියාට කමක් නැහැ ආණ්ඩුව විවේචනය කරනන් බැහැ යනුවෙනි.’’ එම ප‍්‍රකාශය මඟින් ඔහු පාර්ලිමේන්තු ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදයේ අවම කොන්දේසියට හෝ තමා ගරු නොකරන බව පෙන්වීය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාජ දුප්පත් තර්ජන ගුලියට බියවී හෝ පිළිකුල් සහගත කුලල්කා ගැනීමට ඇති ලැජ්ජාව නිසා මහින්ද රාජපක්‍ෂ මහතා කැමැත්තෙන්ම විපක්‍ෂ නායකකම අත්හැරීය. ඒ මඟින් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තම අතේ ලේ තවරාගැනීමෙන් තොරව මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගෙලට අවසන් කඩු පහරද ගැසීමට හැකිවිය.

මෙම ලියුම්කරුගේ මතය අනුව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පක්‍ෂයේ විනය බරපතල ලෙස උල්ලංඝනය කල පුද්ගලයෙකුට පක්‍ෂයේ සභාපතිකම බන්දේසියක තබා පූජා කිරීම මාරාන්තික වරදක් වූවා සේම විපක්‍ෂ නායක කම අත්හැරීමද ඒ හා සමානම පාවාදීමකි. ඒ අතර සියල්ලට සමාව දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා සමුළුවේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තම අත තැවරුණු ලේ සෝදාගැනීමට පැන් වත්කිරීමද මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදුකළ වරදක් ලෙස ඉතිහාසය විග‍්‍රහ කරනු ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා සතුරාට පමණක් නොව වැඩකට නැති පාදඩයින්ට පවා සමාව දුන් පුද්ගලයකු වුවත් තමාට ඒ සඳහා ප‍්‍රති සැලකිලි වර්තමාන නායකයින්ගෙන් නොලැබෙන බව ඔහු තේරුම් නොගැනීම ඉතිහාසයේ ඛේදවාචකයකි. මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායකකම දැරීමේ පරම අයිතියක් ඇත. ඒ පිළිබඳව දෙවරක් සිතීම අවශ්‍ය නොවේ. නාගයාට තම මැණික රැකීමේ අයිතිය ඇත්තා සේ තමා බේරාදුන් රට නැවත පාවාදීමෙන් බේරාදීමේ පරම අයිතියක් ඔහුට ඇත. ඊට අමතරව යුද අපරාධ යෝජනා හමුවේ පුද්ගලිකවතමා රැුකීමද රට වෙනුවෙන් ඔහුට පැවරී ඇති යුතුකමකි.එ සදහා විපක්‍ෂ නායක කම වැදගත්වේ.

මහින්ද රාජපක්‍ෂ මහතා රන්ලි වික‍්‍රමසිජහ මහතාගේ සිතන ආකාරයට 1965 හෝ 1970 වැනි කාල වලදී මෙන් මැතිවරණයෙන් පැරදී ජයග‍්‍රහණය කල පාර්ශවයට පිරිහීමට කාලයක් ඉඩදී ඉන්පසුව නැවත නැගිටීමට අවස්ථාවක් දැන් උදාවන්නේ නැත. රට පාවාදීමේ ක‍්‍රියාවලිය සහ ඊට එරෙහිවන්නන් යටත් කිරීමේ ක‍්‍රියාවලිය ඉතා කඩිනමින් ආරම්භ වනු ඇත. ඒ නිසා තාවකාලිකව පසු බැසීම යනු පාවාදීමක් මිස අන් යමක් නොවේ. මහින්ද රාජපක්‍ෂ මහතා පිට සියළු වගකීම් පටවා ඔහු සටනට කැඳවීම එතුමාගේ පැත්තෙන් පුද්ගලිකව ගත් විට බරපතල අසාධාරණයකි. එහෙත් අද ජාතිය පත්වී ඇති අසරණ ඉරණමට ඔහු නොකළ දේ යම් පමණකට වගකිව යුතු වනවා පමණක් නොව ඉහිතාසය ඔහුට නිර්මාණය කොට ඇති භූමිකාවෙන් ගැලවීමටද ඔහුට ඉඩක් නැත. මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක ලෙස සටන් බිමේ සක‍්‍රීයව සිටීම ජාතියට ඉතා තීරණාත්මකව වැදගත් වේ. එපමණක් නොව අනාගතයේදී යුද අපරාධ චෝදනා එල්ලවන අවස්ථාවේදී විපක්‍ෂ නායකකම අගමැතිකමටත් වඩා වැදගත් වේ. ඒ නිසා පාර්ලිමේන්තුව තුලදී සාධාරණ ලෙස විපක්‍ෂනායක කම සන්ධානයට ලබගැනීමේ සටනට මහින්ද පාර්ශවය සටන් කළ යුතුය. එසේ නොකිරීම නිවැරිදි කළ නොහැකි වරදකි.

කෙසේ වෙතත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන අභියෝග මේ රටේ කිසිදු ආණ්ඩුවක් මුහුණදුන් අභියෝග වලට බඩා බරපතල වනු ඇත. රටක් පාවාදීමද යුද්ධයක් ජයග‍්‍රහණය කිරීම තරම්ම බරපතල අමාරු කාර්යයකි. මේ වන විට රටේ ගෙවුම් ශේෂ හිඟය ඩොලර් බිලියන 02 දක්වා වර්ධනය වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා ඇති ඩොලර් බිලියන 04 ලබාගැනීම සඳහා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාවාදීමට සිදුවනු ඇත. සමහර විට මහින්ද රාජපක්‍ෂ මහතා පාවාදීමේ කොන්දේසියත් ඊට අයත්වනු ඇත. සර්බියානු අගමැති විසින් මෙලොසොවික් නම් වූ එරට හිටපු ජනාධිපති ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට පාවා දුන්නේ ඩොලර් බිලියනයක ආධාරයක් ලබාගනිමිනි. එහෙත් ලංකාවේ ජුදාස්ලාට රිදී 30 වෙනුවට ඩොලර් බිලියන 03 ක් වුවත් ලැබීමට ඉඩ ඇත. රනිල් වික‍්‍රසිංහ මහතාගේ දුප්පත් ආර්ථික ප‍්‍රතිපත්ති තුළ හිඟකෑම සහ පාවාදීම හැර වෙනත් උපායමාර්ගික ප‍්‍රවේශයක් නැත. මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේ පහත්, දුප්පත් ක‍්‍රියාව මඟින් ඔවුන් අනාගතයේදී ක‍්‍රියාකිරීමට නියමිත ආකාරය පිළිබඳ හොද ඉඟියක් ලබාදී ඇත. මුහුණ සමඟ තරහ වී නහය කපාගන්නා ආර්ථික ප‍්‍රතිපත්ති වලින් රට දිනෙන් දින අර්බුදයට යනු ඇත. එසේ ආර්ථික වශයෙන් අර්බුදයට තල්ලූ වන ප‍්‍රමාණයට සාපේක්‍ෂව දේශපාලන වශයෙන් යටත්වීමේ ප‍්‍රවනතාවයද වැඩි වනු ඇත. පළමු වටයේදී බෙදුම්වාදී න්‍යාය පත‍්‍රය ඉදිරියට තල්ලූ කෙරෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් වුවත් දෙවන වටයේදී එය ඉදිරියට තල්ලූ කෙරෙන්නේ අර්බුදයේ ගිලී යන ඔහුගේ අත කරකැවීමෙනි.

රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් මඟින් ශක්තිමත් කෙරෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පිළිගන්නා මෙම ආර්ථික අභියෝග වලට මුහුණදීම සඳහාම පමණක් නොවේ. ජාතික ආණ්ඩුවක් මූලිකවම අවශ්‍ය වන්නේ රනිල්-මෛත‍්‍රී-සම්බන්ධන් සන්ධානයට ඔවුන්ගේ බෙදුම්වාදී ස්වාමිවරුන් විසින් පවරා ඇති කොන්ත‍්‍රාත්තුව ඉටුකිරීමේදී ඇතිවන මහජන විරෝධයට මුහුණදීම සඳහාය. එදා 2002 දී චන්ද්‍රිකා ජනාධිපති කැමැත්තෙන් යටත්කර ගනිමින් සටන්විරාම ගිවිසුමට රට ගොඳුරුකිරීමේ මෙහෙයුම අවසන් කෙරෙන්නේ මහජන විරෝධය හරහා ආණ්ඩුව පෙරලීම මඟිනි. මෙදා පාවාදීමේදී මේ ක‍්‍රියාවලිය ඒ ආකාරයට අවසන්වීම වලක්වා ගැනීම සඳහා ඔවුන් භාවිතාකරන උපාංගය ජාතික ආණ්ඩුවයි. දේශපාලන චෙස් ක‍්‍රීඩාවේ දක්‍ෂයකු වන රනිල් තම ජනාධිපති අපේක්‍ෂකත්වය ‘‘පරිත්‍යාගකොට’’ පොදු අපේක්‍ෂකයකු හරහා අගමැති බවට පත්වූයේය. දැන් ඔහු තම ආණ්ඩුවේ ඇමැතිකම් ප‍්‍රමාණයක් පරිත්‍යාගකොට අනාගතයේ ආණ්ඩුව පෙරලීම වලක්වා ගැනීම සඳහා උපාංගයක් තේරීම යනු තේරුම් ගත නොහැකි දේශපාලන අපභ‍්‍රංශයක් නොවේ. අනෙක් පැත්තෙන් අවම වශයෙන් මන්ත‍්‍රීවරු 25 දෙනෙකුගේ කැමැත්ත හැසිරවිය හැකි සජිත් පේ‍්‍රමදාස සාධකය සැලකිල්ලට ගන්නා විට මන්ත‍්‍රීවරු 08 දෙනෙක් කෙසේ හෝ බිලීබාගනිමින් හදාගන්නා ආණ්ඩුවක අනාගත ඉරණම තේරුම් ගැනීමද අමාරු නැත.

ජාතික ආණ්ඩු උපාය මාර්ගය හරහා එහි නිර්මාතෘවරුන් සාක්‍ෂාත් කරගැනීමට උත්සාහ කරන තවත් උපායමාර්ගික පූර්ව කොන්දේසියක්ද ඇත. ඒ ජාතික බලවේගයේ ශක්තිමත් පදනමට හේතුවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එහි ඓතිහාසික දේශපාලන භූමිකාවෙන් පිටමං කොට දියාරු කොට විනාශ කිරීමය. එනම් එහි අනන්‍යතාවය සහ භූමිකාව අහිමි කිරීමය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලවා ඔවුන්ගේ බෙදුම්වාදී මල්වට්ටියට අතගැස්සවිය හැක්කේ ඒ මඟින් පමණී. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදුකළ විනාශය තරම් විනාශයක් මීට පෙර සිටි සියළු නායකයින් සමස්තයක් ලෙසවත් සිදුකොට නැත. මතවාදී පිළිගැන්මට අමතරව ඉහළ නායකයින් බේද බින්න කිරීම සහ පහළ සාමාජිකත්වය අතර ඔවුන්ගේ ගෞරවය සහ විශ්වාසය විනාශ කිරීම වැනි තත්වයන් නැවත කිසිදාක, නිවැරිදි කළ නොහැකි බවට සැකයක් නැත. තම පක්‍ෂය, සාමාජිකත්වය සහ රට පාවාදී ඇමැතිකම් ගත් පිරිසට නැවත තම ගම් බිම් වලට ගොස් දේශපාලනය කළ හැකිද? යන්න ඉදිරියේදී බලාගත හැකිවනු ඇත. විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අධිරාජ්‍යවාදී බෙදුම්වාදී න්‍යායපත‍්‍රයේ බරපතල කොන්දේසි ඉටුකිරීම ආරම්භ වූ පසුව එම තත්වය තවත් නරක අතට හැරෙනු ඇත.

මෙම තත්වයට රටක් ලෙස සහ ජාතික බලවේගය ලෙස අප මුහුණ දෙන්නේ කෙසේද? එවැනි නව ජාතික පෙළගැස්මකට එරෙහිව පවතින මානසික බාධක මොනවාද? අද රට මුහුණදෙන ඓතිහාසික අභියෝගයේ බරපතලකම සැලකිල්ලට ගන්නා විට එවැනි නව පෙළගැස්මක් සඳහා මූලික කොන්දේසිය වන්නේ ජාතික න්‍යායපත‍්‍රයක් සකස් කර ගැනීම බව පෙනේ. එවිට එම න්‍යාය පත‍්‍රය විසින් සහ ඊට අදාල ක‍්‍රියාමාර්ග දියත් කෙරෙන විට නායකත්වය ඒ තුලින්ම මතුවනු ඇත. ඉතිහාසය විසින් තවමත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පැවරූ නායකත්වය නැවත උඳුරාගෙන හෝ අහිමිකොට නැත. නමුත් එසේ වෙනවාද නැද්ද යන්න ඉදිරි මාස දෙක තුනක කාලය තුළ ඔහු විසින් ගනු ලබන දේශපාලන තීන්දු මත තීරණය වනු ඇත. ඔහු හිතන අකාරයට 1965 හෝ 1970 මැතිවරණ අවසන් වූ පසුව පරාජිතයින් හැසිරුණු ආකාරය අදට වලංගු නැත. එදා පරාජිතයින් කල්පනා කලේ වසර දෙක තුනකින් ජයග‍්‍රාහකයා ‘‘ඇනගන්නා’’ විට තමන්ට නැගිටීමට ඉඩ ලැබෙන බවය. නමුත් දැන් එවැනි අවකාශයක් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතාටද ඔහු කැමැති ආකාරයට තත්වයන් කළමනාකරණය කරගනිමින් ඉදිරියට යාමට කාලය ලැබෙන්නේ නැත. අධිරාජ්‍යවාදී බලපෑම් මත පාවාදීමේ න්‍යාය පත‍්‍රය ඉතා කෙටිකලක් තුළ සීඝ‍්‍රයෙන් ඉදිරියට ගමන් කරන විට මහින්ද රාජපක්‍ෂ මහතාට නිවිහැනහිල්ලේ ප‍්‍රතිවාදියා ඇනගන්නාතෙක් ඇඟිලි ගනිමින් සිටීමට අවකාශයක් ලැබෙන්නේ නැත.

අධිරාජ්‍යවාදී බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව නීත්‍යානුකූලව ලගාවියයුතු සැතපුම් කණු ඇත්තේ දෙකක් පමණි. පළමුවැන්න 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉඩම් පොලිස් සහ මහ ඇමති අරමුදල් ආදී බෙදුම්වාදී බලතල ලබා ගැනීමය. දෙවැන්න එදා නෝර්වේ රාජ්‍යට මැදිහත්වීම සදහා නීත්‍යානුකූලව සහ කැමැත්තෙන් පාර කපාදුන් ආකාරයට මෙදා දකුණු අප‍්‍රිකානු මැදිහත්වීමකට ඉඩ සැළසීමයි. එම අවශ්‍යතාවය ඉටුවූ පසුව රට බෙදා අවසන් වන තුරු ඉතිරි දුර ඉදිරියට යන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට බලහත්කාරයෙන්ය. මුල් පියවර කිහිබයකට ආශිර්වාද කරන වික‍්‍රමසිංහ මහතාට සිදුවන්නේ අවසන් පියවර කිහිපය බලහත්කාරයෙන් ඉදිරියට යන විට අසරණව බලා සිටීමටය.

ඒ නිසා මහින්ද රාජපක්‍ෂ මහතා පළමුවෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කළ නොහැකි බවට ඔහු තුළ වන මානසික බාධකයෙන් මිදිය යුතුය. යම් දේශපාලන ව්‍යාපාරයක් උපාය මාර්ගිකව පීලි පනිනා විට එය දෙකඩ වීම සොභාවික අවශ්‍යතාවයකි. සෝමවංශ මහතාටද ජ.වි.පෙ. සම්බන්ධයෙන් ඒ ඓතිහාසික දේශපාලන යතාර්ථය තේරුම්ගැනීමට තරම් උපාය මාර්ගික ඥානයක් තිබුනේ නැත. එහි ප‍්‍රතිඵල අද ඔහු පමණක් නොව මුළු රටම බුක්ති විදිති. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාවාදෙන්නන් සහ අපතයින් ඔවුනට උරුම මහගෙදර වන එක්සත් ජාතික පක්‍ෂයට යාමට ඉඩ හැර ජාතිකවාදී හෘද සාක්‍ෂිය සහිත හොඳ මිනිසුන් ටික එකතුකර ගනිමින් නව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩනැගීමට ඓතිහාසිකව වැඩිම සුදුසුකම ඇත්තේ මහින්ද රාජපක්‍ෂයන්ට බවට විවාදයක් නැත. තම දියණිය දූෂණයට ලක්වූවහොත් ඇය ඒ අපරාධකාරයට කසාදබන්දවාදීම පියකුගේ යුතුකම නොවේ. අවසාන වශයෙන් කිවයුත්තේ මහින්ද රාජපක්‍ෂ තම මානසික බාධකය ජයගන්නා තෙක් සන්ධානයේ සෙසු පක්‍ෂ නව ජාතික න්‍යාය පත‍්‍රයක් පදනම්කර ගනිමින් නව ජාතික දේශපාන සන්ධානයක් ගොඩනැගීමේ කාර්යයට යුහුසුළුව අත ගැසිය යුතු බවයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර.
මහ ලේකම්,
දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය.

Top