Political

මාස 3ක් තුල යහපාලන නාඳුනන තුවක්කුව 21 බිලිගනී

මෙගා පොලිස් – මෙගා පාතාලය සහ බඩී ආණ්ඩුව

දින රහිත මරණ සහතික දෙකක් තමා සන්තකයේ තබා ගැනීම සඳහා මෑත ඉතිහාසය විසින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බල කර තිබුණි. එකක් නම් LTTE මිලේච්ඡ ත්‍රස්තවාදය විසින් නිකුත් කරන ලද්දකි. එහෙත්, කිසිවෙකු අපේක්ෂා නොකළ ආකාරයට, හාස් කමකින් මෙන් ලේ තැවරුණු මෙම ලිපි දෙකම ශ්‍රී ලාංකික ජීවිතයෙන් බැහැර කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය පියවර ගනු ලැබිණ. හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ශ්‍රී ලාංකේය ජාතියේ සම්භාවනාවට පාත්‍ර විය යුතුම චරිතයකි.

ප්‍රභාකරන්ලා පොට්ටුඅම්මාන් ලා ගැන මෙන්ම ගෝඩ් ෆාදර් ලා ආනමාලු ඉමිතායාස් ලා නාවල නිහාල් ලා තෙල් බාල ලා වැනි මහසෝන් චරිත පිළිබඳ බිය පහව සැනසිල්ලේ සිටි ශ්‍රී ලාංකිකයා මත දැන් නැවතත්  “නාඳුනන තුවක්කු කරුවන්“ ගේ බියකරු සෙවනැලි පතිත වී තිබේ. පසුගිය  පැය 72 තුළ දී පමනක් කොළඹ පාතාලය විසින් මිනිස් බිලි තුනක් (03) ක් ගත් අතර චීකාගෝ පාතාලයට පමනක් දෙවැනි වන සේ මහ දවල් මහ නගර මැද පාතාල මදාවියන් ශිල්ප දැක්වුයේ ලොමු දැහැ ගන්වන ආකාරයටය. පසුගිය මාස දෙක ඇතුලත පාතාලය විසින් ගොදුරු කොට ගත් මිනිස් ජීවිත ප්‍රමාණය 21 කි.

එහෙත්  “මෙගා පොලිස්“ ගැන මහාඩම්බර ප්‍රකාශ නිකුත් වන මේ මොහොතේ නැගිට ඇති “මෙගා පාතාලය“ ඉදිරිපිට ආණඩුව දණ ගසා සිටින්නේ “බඩී පාලකයින්“ ලෙස ලජ්ජා විරහිතවය. බියෙන් සැකෙන් තොර ජීවිතයකට යහ පාලන මුද්‍රාව තබා බලය ඩැහැගත් පාලකයින් ගේ පාතාලය සම්බන්ධයෙන් වූ නිවට නියාලු ප්‍රතිපත්තිය ඒකාබද්ධ විපක්ෂය විසින් හෙලා දකින්නේ දැඩි පිළිකුල ද සමගිනි.

ලෝකයේ ආරක්ෂිතම අගනුවරක් ලෙස පසුගිය වසරේ දී අන්තර් ජාතික ගෞරවයට පාත්‍ර වූ කොළඹ නගරය අධි වේගයෙන් අනාරක්ෂිත භාවයට ඇද දැමීමේ අගෞරවය අවිවාදිතවම වත්මන් ආණ්ඩුවට හිමි විය යුතුය. මන්ද, වසර පහකට අධික කාලයක් මුඵ මනින්ම නිදන් කොට තිබූ පාතාලය පසුගිය මැතිවරණ සමයේ දී හෙණ්ඩුවෙන් පෙකණිවැල කඩා නැවත බිහිකළ ආකාරය ද ආන්ඩුවේ ඇතැම් නායකයින් පාතාලය ආනයනය කළ ආකාරය ද අප්‍රසිද්ධ කරුණු නොවන බැවිනි.

අවදි වී සිටින පාතාලය හමුවේ ආරක්ෂක අංශ නිදි වැදී සිටින්නේ ආණ්ඩුවේ වුවමනාවටදැයි අපි ප්‍රශ්න කරමු. ඒ සමඟම, මේ නලියන පාතාලයේ අයිතිකරුවන් අන් කවරකුත් නොව ආණුඩුවේම ඇතැම් නායකයින් යැයි සමාජයෙන් මතුවන බරපතල චෝදනාව අපි ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට යොමු කරන්නෙමු.

පාතාලය හා සරණ යමින් නැගී එන ආණ්ඩු විරෝධය දඩයම් කළ හැකි යැයි ආණ්ඩුව කල්පනා කරන්නේ ද? 83 කඵ ජූලියේ දී අහිංසක දමිළ පුරවැසියන් සිය දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කරමින් එජාප පාතාලය විසින් අගනුවර දෙවනත් කළ ආකාරය මේ මොහොතේ දී අපට අමතක කළ නොහැක. සොත්ති උපාලි, “ළමයා“ වැනි පාතාල මැරයින් මගින් විරුද්ධ මතය මර්ධනය කළ එජාපය නැවත සිය අපකීර්තිමත් අතීතයට ආරාධනා කරන්නේ දැයි පරීක්ෂාවෙන් සිටින ලෙස අපි මහජනතාවට හා සියඵ දේශපාලන පක්ෂවලට ද අනතුරු අඟවන්නෙමු.

ඒ අනුව, නීතිය හා සාමය බරපතල ලෙස අභියෝගයට ලක් කරමින් සැරිසරන ආණ්ඩුවේ පාතාලය, වහාම මර්ධනය කිරීමට පියවර ගන්නැයි අපි පොලිස් කොමිසමට හා පොලිස්පතිවරයාට දැඩිව අවධාරණය කරමු. “විශේෂ ප්‍රකාශ“ “හදිසි කැබිනට් රැස්වීම්“ වැනි ප්‍රෝඩාකාරී රංගනයන්ගෙන් ඔබ්බට ගොස් කම්පනය වි සිටින දරුවන්, බියවැදී සිටින පුර වැසියන්, ත්‍රස්ත වි සිටින විදේශිකයින් සහ අපේක්ෂා භංගව සිටින ආයෝජකයින් හමුවේ නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට බල කර කියා සිටී.

 

ඩලස් අලහප්පෙරුම

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

Top