LNN SPY

මෙගා වොට් සියයක හදිසි විදුලි ටෙන්ඩරය කොට උඩ?.. ඇමතිකමත් නැතිවෙන ලකුණු!

Published on: Mar 5, 2019- මෙගා වොට් සියයක හදිසි විදුලිය මිල දී ගැනීමේ ටෙන්ඩරයට හිමිකම් කී චීන සමාගමට ටෙන්ඩරය පිරිනැමීම විදුලි බල අමාත්‍යාංශය විසින් තවදුරටත් කල්දමමින් සිටීම සම්බන්ධයෙන් ආයෝජකයන් විමතියට සහ කලකිරීමට පත් ව තිබේ.

හදිසි මිල දී ගැනීමක් වශයෙන් සඳහන් කර තවත් කාලය ගතවන්නට හැර හදිසියේ දැනුම් දීමක දී ඉදිරිපත් විය හැක්කේ දැනට ඩීසල් ජෙනරේටර් සතුAggreko සමාගමට පමණක් වන අතර බලධාරීන්ගේ අරමුණ වී ඇත්තේ ජලවිදුලි බලාගාර ආහ්‍රිත ප්‍රදේශවලට වර්ෂාපතනය තවදුරටත් අඩු වන තෙක් සිට හදිසි කැඳවීමකින් විදුලිය මිල දී ගැනීමයි.

එවිට දිවයින තුළ දැනට ජෙනරේටර් සහිත එකම සමාගම Aggreko වන නිසා අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් මඟහැර Aggreko ටෙන්ඩරය ලබාදීම බලධාරීන්ගේ අරමුණ වී ඇති අතර මේ නිසා දැනට දිවයින තුළ ජෙනරේටර් නොමැති ඩුබායි සහ චීන සමාගම්වලට මෙයින් සිදුවන අසාධාරණය බලධාරීන්ට නොපෙනීම පුදුමයට කරුණකි.

මෙම ටෙන්ඩරය සඳහා එංගලන්ත, ඩුබායි සහ චීන යන රටවල් නියෝජනය කරමින් සමාගම් 3ක් ඉදිරිපත් වී ඇත. ඉදිරිපත් වූ සමාගම් 3ක ස්ථාන 6ක් සඳහා මෙසේ ඉදිරිපත් වී ඇත.මෙතෙක් මෙම ක්ෂේත්‍රයේ ආධිපත්‍ය වසර 17ක් පවත්වාගෙන ආ එංගලන්ත සමාගමක් වූ Aggreko සමාගම හා ඩ ඩුබායි සමාගම් පරදව අඩුම මිලක් ඉදිරිපත් කළ චීන සමාගම ඉදිරියෙන් සිටියි. සියයට සියයක් විනිවිදභාවයෙන් යුක්තව ටෙන්ඩර් පටිපාටිය හරහා කරන ලද මෙම ටෙන්ඩර් ක්‍රියාවලියට දැනට දින 20ක් ගෙවී ඇත.

ජාත්‍යන්තරව කැඳවන ලද තරගකාරී ටෙන්ඩරයක් වන මේ සඳහා ඉදිරිපත් වූ විදේශීය සමාගම් දැඩි අපහසුතාවට පත්ව සිටින්නේ ටෙන්ඩර් තැන්පතු සඳහා අතිවිශාල මුදලක් තැන්පත් කර ඇති බැවින් හා ටෙන්ඩරය ලබාදීමෙන් පසු ද ලංකා විදුලි බල මණ්ඩලය වෙත විශාල තැන්පතුවක් තැබීමට සිදුව ඇති නිසාය.

නිසි ටෙන්ඩර් පටිපාටියට අනුව සිදු වූ මෙම මිල දී ගැනීම් නතර කර ඇත්තේ තමන් අතින් සිදු වූ විශාල කලු පැල්ලම් ඉවත් කර තමන් ඉතා පිරිසිදු දේශපාලනයක නිරත වන්නකු බව පෙන්වීමේ උත්සාහයක නිරත වන දේශපාලනඥයකු බව රහසක් නොවේ.

මේ පිළිබඳ ජනාධිපති සහ අගමැතිතුමන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර ඉදිරි දිනවල දී මෙම අමාත්‍යාංශය අදාළ ඇමැතිවරයාගෙන් ඉවත් කිරීමේ සූදානමක් ද පවතී.

Top