LNN SPY

යහපාලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකත් ගෙදර යැවූ , මංගලගේ හයිය අරන් රටේ සල්ලි වලට කෙලවන කවුද මේ “සුභාෂ්”

Published on: Aug 19, 2018 – ලංකාව දැන් සිටින්නේ ලොව දූෂිත රටවල් අතරින් සිව් වන ස්ථානයේය. එසේ ලොව දූෂිතම රටවල් අතරින් සිව් වන ස්ථානයට රට ගෙනවිත් ඇත්තේ එතෙක් මෙතෙක් මේ රට පාලනය කළ පාලකයන්ය. ටිකෙන් ටික වර්ධනය වූ දූෂණය පහුගිය ආණ්ඩුව සමයේ එළි පිටම සිදු වන්නට පටන් ගත්තේ බලය කියන්නේ රටේ සමස්තය තමන්ට ඕනෑ හැටියට පාවිච්චි කිරීමට අවසරය ලැබීම බව නිල වශයෙන්ම පෙන්වමිනි. මේ වන විටත් හෙළි වී ඇත්තේ ඒ දූෂණයන්ගෙන් අතළොස්සක් පමණි.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එන්නට මූලික සටන්පාඨය වූයේද රට තුළ සිදු වන දූෂණය නැවැත්වීමට ආණ්ඩු මාරුවක් සිදු කළ යුතුය යන්නයි. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ මෙන්ම ඇතැම් සංවිධානද එළිපිටම වැඩ කරන්නට විය. එසේ වැඩ කළ බොහෝ දෙනා වැඩට බැස්සේ මිනීවලට බහින්නට සූදානමිනි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ මහින්දගේ ආණ්ඩුව ගෙදර යවා රනිල් සහ මෛත්‍රී එක්ව අලූත් ආණ්ඩුවක් පිහිටුවීමයි. එය හැඳින්වූයේ යහපාලන ආණ්ඩුව වශයෙනි. බොහෝ දෙනා සිතුවේ අලූත් ආණ්ඩුව මේ කියන යහපාලනය ඇති කරනු ඇත කියාය. මැතිවරණ සමයේ කියූ පරිදි රටට අපමණ අගයක් ලබා දෙනු ඇත කියාය. එහෙත් දැන් ඒ යහපාලනයත්, අපමණ අගයත් දෙපිටින් යමින් තිඛෙන්නේ සද්භාවයෙන් ආණ්ඩු මාරුවට මැදිහත් වූ සියල්ලන්ටම කට උත්තරද අහිමි කරමිනි.

මේ ආණ්ඩුව බලයට ආ විගසම දූෂිතයන්ට දඩුවම් දෙන බව පෙන්වන්නට මල් වෙඩි පමණක් දමා ගැසූ අතර යහපාලනයේ අරුමය හොඳ හැටි පෙන්වූයේ සුප්‍රසිද්ධ මහබැංකු මංකොල්ලය සිදු කරමිනි. රටට අපමණ දෙනු ඇතැයි ජනතාව තුළ තිබූ බලාපොරොත්තුවද ලත් තැනම ලොප් වූයේ ආණ්ඩුව කරවන අගමැතිවරයාද මේ අලූත් හොරුන් රැකීමට පෙරමුණ ගැනීම නිසාය.

ඒ ආණ්ඩුවේ හොරුන්ගේ කෙරුවාවල් මැද මේ ආණ්ඩුවේ හොරුන්ගේ කෙරුවාවල් එක පිට එක ජනගත වෙද්දී තවත් කෙනෙකු කල දුටු කල වල ඉහගන්නට සූදානම් වූයේ කාටත් හොර රහසේය. ඒ සුභාෂ් පින්නපොලයි. මහින්ද ආණ්ඩුව ගෙදර යවන්නට මරණය අතැතිව බොහෝ දෙනා වැඩට බැස්ස නමුත් සුභාෂ් පින්නපොල බැස්සේ වැඩට නොව වැඩේටය. එනම් මිනීවල පෙන්නා වල ඉහගෙන කෑමටය.

සුභාෂ් පින්නපොලගේ රැකියාව දැන්වීම්කරණයයි. තේරෙන භාෂාවෙන් කියනවානම් ඇඩ්වටයිසින්ය. ජනාධිපතිවරණය පටන්ගත් මොහොතේ සිටම වල ඉහ ගැනීමේ අරමුණ සහිතව කටයුතු කළ සුභාෂ් පින්නපොල, ජනාධිපතිවරයා වෙනුවෙන් දැන්වීමක් මෙරට තුළ රූගත කළහොත් කවුරුන් හෝ තමන්ව වළපල්ලට යවනු ඇති බව කියා රුපියල් මිලියන 30ක් සමඟ දකුණු ඉන්දියාවට ගොස් දැන්වීමක් හදාගෙන ඒමට සමත්විය. මෛත්‍රී වෙනුවෙන් දැන්වීම් හැදුවේ සුභාෂ් පමණක් නොවේ. ‘රටකට ඕනෑ අපමණ අගයක්’ ඇතුළු මෛත්‍රී වෙනුවෙන් බොහෝ දැන්වීම් හැදු තරුණයෝ මරණය පයිසෙකට මායිම් නොකර එදා ‘යහපාලනය දිනවීමට’ කැප වූහ.

“සුභාෂ් පින්නපොල ගාමිණී වියන්ගොඩගේ සහෝදරියගේ පුත්‍රයා වන අතර ගාමිණී වියන්ගොඩගේ දියණිය විවාහ වී සිටින්නේ ඔහු සමගය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලට අනුයුක්තව මිලියන ගණන් මුදල් උපයන්නෙකි. මහජන බැංකුව, ලේක් හවුස්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදියේ ප්‍රචාරණ කටයුතුද ඔහුට පවරා ඇත.”

එහෙත් පටන් ගත් තැනම ගැරිල්ල හොඳ බව තේරුම් ගත් සුභාෂ් පින්නපොල මේ ආණ්ඩුව අන්දාගෙන ගොඩ යන්නට එකින් එක සැලසුම් සකස් කරන්නට විය.

දෙමටගොඩ මුඩුක්කු කාමර අස්සේ ළමා කාලය ගෙවූ තමන්ට මේ ආණ්ඩුව ඇන්දිල්ල මහ දෙයක් නොවන බව දන්නා සුභාෂ් පින්නපොල ඔහු එතෙක් සේවය කළ TAL නම් දැන්වීම් ප්‍රචාරණ ආයතනයෙන් ඉවත් වී Story Book නම් ආයතනය අටවා ගන්නේ ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමටය. කාගෙ කාගේත් හිතවත්කම් මත ඇමති මංගලට හේත්තු වන සුභාෂ් ඊ ළඟ වැඩේට අත ගසන්නේ රුපියල් ලක්ෂ දෙසිය පනහකට වීදීමේ වැඩපිළිවෙළක් සමගිනි. එය කරළියට එන්නේ ආණ්ඩුව වෙනුවෙන් තවත් ගීතයක් නිර්මාණය කිරීමේ යෝජනාවක් වශයෙනි. ‘අහන්න’ නම් වූ එම සිංදු ලංසුවේ වටිනාකම රුපියල් ලක්ෂ දෙසිය පනහකි.

මෙරට රූපවාහිනී නාළිකා වල විකාශනය වන ගීත වල කාල පරාසය සාමාන්‍යයෙන් විනාඩි හතරකට වඩා අඩුය. එය විචාර බුද්ධිය ඇති ඕනෑම කෙනෙකු දන්නා කරුණකි. ඒ නිසා විනාඩි හතරකට වඩා වැඩි ගීතයක් මෙරට රූපවාහිනි නාළිකාවල විකාශනය වන්නේ නැති බව සුභාෂ් හොඳින්ම දනී. එහෙත් විනාඩි හතරක ගීතයකට ලක්ෂ 250ක ලංසු තියන්නට බැරිය. එසේ දැන දැනම විනාඩි හතක ගීතයක් යෝජනා කරන්නේ තමන්ට වැදගත් වන්නේ වැඩේ නොව ලක්ෂ දෙසිය පනහ නිසාය.

ලක්ෂ 250ක් වියදම් කර රටේ මුදල් වලට කෙලවු තරම 

සුභාෂ්ගේ ලක්ෂ දෙසිය පනහේ ගීතයට ඇමති මංගලගේද අනුමැතිය ලැඛෙන අතර මේ ලක්ෂ දෙසිය පනහ බැරවන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටය. එවකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් වූයේ ආචාර්ය රංග කලංසූරියයි. මෙතරම් මුදලක් ගෙවීමට තම දෙපාර්තමේන්තුවට නොහැකි බව ඔහු දහ අතේ පැවසුුවද ඉන් පලක් වන්නේ නැත. ඉහළින් එන ඕඩර් වලට වැඩ කළ යුතුය. ඒ නිසා ‘මං පින්නපොලට ලක්ෂ 250ක් දෙන්න එකපාරක් අත්සන් කළා. ආපහු සැරයක් එයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ. මොකද මට එක මිනිහෙක් නිසා දෙපාරක් හිරේ යන්න බැහැ’ යයි ඇමති මංගලට පැවසූ රංග කලංසූරිය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආයුබෝවන් කියා ගෙදර ගියේය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස් වීමේ ඇත්ත කතාව එයයි. එය එසේ සිදු වෙද්දී සුභාෂ් පින්නපොල නැවතත් ගොඩ ගියේය. ගීතය නිර්මාණය වුවද එය රූපවාහිනී වල ප්‍රචාරය වූයේ නැත. යූ ටියුබ් ඔස්සේ මේ වන විටත් එය නරඹා ඇත්තේ එක්දහස් අට සියයකට වඩා අඩු ප්‍රමාණයකි.

සුභාෂ්ගේ ගැරිල්ල එතැනින් නතර වන්නේ නැත. ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පිලේ අලූත්ම ජවනිකාව වන ‘ගම්පෙරළිය’ වැඩපිළිවෙළේද ප්‍රධාන චරිතයක් වන්නට සුභාෂ්ට හැකි වී තිබේ. සජිත් ප්‍රේමදාගේ ‘ගම්උදාව’ යටපත් කරන්නට රනිල් පිල දියත් කළ ව්‍යාපෘතිය වන ගම්පෙරළියට තවමත් කැබිනට් අනුමැතිය ලැබී නැත. එහෙත් සුභාෂ් පින්නපොල මංගලගේ හයියෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලිනන 20කට දැන්වීම් දැනටමත් නිර්මාණය කර තිබේ. මේ ගනුදෙනුව සඳහා කිසිදු ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක වී නොමැත.

ඇමති මංගලගේ පිහිටෙන් තවත් කිහිප දෙනෙකුගේම පහන් වලින් එළිය ලබන්නට අවස්ථාව හිමි කර ගන්නා සුභාෂ්ගේ තවත් ගැහිල්ලක් හමු වන්නේ සංචාරක මණ්ඩලයේදීය. ඇමති සාගල රත්නායකගේ අයියා කාවන් රත්නායකය. ඔහු සංචාරක මණ්ඩලයේ සභාපතිය. කාවන් මංගලගේ කිට්ටුවන්තයෙකි. මංගලගේ මාර්ගයෙන් කාවන්ව හඳුනාගන්නා සුභාෂ් පින්නපොල දැන් කාවන්ගේද යාළුවෙකි. ඒ යාළුකමට සුභාෂ් දැන් කෙළින්ම යන්නේ කාවන්ගේ ගෙදරටය. ටෙන්ඩර් කතා අදාළම නැත. කාවන්ගේ ඍජු ඕඩරයට රුපියල් ලක්ෂ 350ක් සංචාරක මණ්ඩලයෙන් ලබාගන්නා සුභාෂ් පින්නපොල දැන්වීම් 8ක් හැදීමට දැන් පටන්ගෙන ඇත.

මේ වැඩ ගැන සංචාරක මණ්ඩලයේ බොහෝ ඉහළ නිලධාරීන්ගේ ඒ තරම් මනාපයක් නැත. මනාපයක් නැතිවා පමණක් නොව විරෝධයක්ද ඇත. එහෙත් ඒ විරෝධයන් එකකින්වත් වැඩක් ඇත්තේ නැත. කාවන් සිටින්නේ සියල්ලන්ටම ඉහළිනි. සංචාරක සම්මාන උළෙල වෙනුවෙන් මොහු නිර්මාණය කළ මෙලෝ රහක් නැති සම්මානයත් ටුක් ටුක් ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් කළ ලෝගෝවත් මිලියන ගණනක්දී මිලදී ගැනීමත් සිදු වන්නේ කාවන්ගේ උපදෙස් පරිදිය.

ලොතරැයි මණ්ඩලයට කෙලවන සුභාෂ්ගේ අලුත්ම සෙල්ලම 

මේ සියලූ දේ සිදු වී අවසන්ය. සියල්ලෙන්ම සිදු වූයේ සුභාෂ්ගේ කරල පැසීමයි. ගැරිල්ලට පුරුදු වූ විට එය අත්හරින්නට නොහැකිය. ජාතික ලොතරැයි මණ්ඩලය දෙසට ගොනා හැරෙමින් සිටින්නේ අලූත් පොල් පැලයක් නොව පොල් වත්තක්ම කන්නටය. ජාතික ලොතරැයි මණ්ඩලයේ පොල් පැල කන්නට සුභාෂ් එන්නේ එහි දැන්වීම් ටෙන්ඩරයක් හරහාය.

ජාතික ලොතරැයි මණ්ඩලය පසුගියදා තම ලොතරැයි පහක් වෙනුවෙන් දැන්වීම්කරුවන් ඉල්ලා ටෙන්ඩර් කැඳවීය. සුභාෂ් පින්නපොලද ඒ සඳහා ඉල්ලූම් කර තිබේ. ටෙන්ඩර් කැඳවීම පමණක් නොව ටෙන්ඩරය ලබා දීමේ ඉදිරි පියවරයන් සිදු විය යුත්තේද විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුවය. ජාතික ලොතරැයි මණ්ඩලයේ දැන්වීම් ආයතනයක් ලෙස වැඩ කිරීමට නම් එම දැන්වීම් ප්‍රචාරණ ආයතනය පිහිටුවා අවම වශයෙන් වසර දෙකක් ගතවී තිබිය යුතු බව එහි නිර්දේශවල සඳහන්ව ඇත. එසේනම් සුභාෂ්ට ඒ සඳහා ඉල්ලූම් කළ නොහැකිය. ඒ සුභාෂ් පින්නපොලගේ Story Book නම් ප්‍රචාරණ ආයතනය (සමාගම් අංකය පි/වි 12216) ලියාපදිංචි කර ඇත්තේ 2017 නොවැම්බැර් 10 වනදාය. ආයතනය ලියාපදිංචි කර තවම වසරක්වත් ගත වී නැත. ඒ අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ මූලිකම කොන්දේසියක් වන ආයතනය පිහිටුවා වසර දෙකක් ගත වී තිබීමේ කොන්දේසිය සපුරාලීමට ඔහුට නොහැකි වී තිබේ. එසේනම් මූලික වටයෙන්ම ඔහුගේ ටෙන්ඩර් පත්‍රිකාව ප්‍රතික්ෂේප විය යුතුය. එහෙත් එය එසේ වී නොමැත. ඒ වෙනුවට ලොතරැයි පහෙන් එකක ප්‍රචාරණ කටයුතු සුභාෂ් පින්නපොලට ලැබීමට නියමිතය. ඒ අන් කිසිවක් නිසා නොව මුදල් ඇමති මංගලගේ හයිය නිසාය.

සතියකට එක් වතාවක් දිනුම් අදින ලොතරැයියක දැන්වීම් සහ වෙනත් කටයුතු නිසා ප්‍රචාරණ ආයතනයට ලැඛෙන මාසික ආදායම රුපියල් මිලියන පහළොවක් පමණ වේ. ඒ අනුව දින පහක් දිනුම් අදින ලොතරැයියක් සඳහා මාසික ආදායම රුපියල් මිලියන හැත්තෑ පහකි. මේ අලූත් ගැරිල්ලේ දිග පළල ඒ අනුව සිතා ගත හැකිය.

යහපාලනය වෙනුවෙන් පෙනී සිටින සුචරිතවාදීන්ගේ කැරැට්ටුව මෙසේය. කාගෙ කාගේ කිල්ලෝට වලත් හුනු ටික ටික තිබේ. ආණ්ඩු හදන්නට මේ ඊනියා සුචරිතවාදීන් දර දිය ඇද්දේ හුදී ජන යහපතට නොව, ඒ හොරුන් පෙන්වා අලූතෙන් හොරකම් කරන්නටය. ඒ බව ජනතාව තේරුම් නොගන්නා තෙක් මෙවැනි දූෂිතයන් ජනතාව ගොනාට අන්දවමින් තමන්ගේ මඩිය තර කර ගන්නා හැටි පමණක් දැක බලා ගත හැකි වනු ඇත.

චතුර දිසානායක

Top