Anonymous Reporter

යාපනයේ තවමත් ඊළාම් උසාවි ද?

“යාපනයේ සරසවියේ ඇති වුණු ගැටුමේ දී උසාවිය කටයුතු කළ ආකාරය අතිශයින්ම ප්‍රශ්නකාරියි.  තමන්ට පහර දීමට නායකත්වය දුන්නේ කවුද පහර දුන්නේ කවුද කියලා පහර කෑ සිසුන් පොලීසියට ප්‍රකාශ කරලා තිබුණා.  පහර කෑමට ලක් වුණු දරුවන්ගේ ප්‍රකාශ වල නම් සඳහන් අය අත්අඩංගුවට ගන්න එපා ඒ අය උසාවියට භාර වේවි කියලා පොලිස් නිළධාරින්ට ඉහළින් උපදසේ ලැබුණු බවට මට දැනුම් දුන්නා. කිව්වා වගේම අන්තවාදි කොටි හිතැති ශිෂ්‍ය නායකයෙකු වන සසිදරන් තනකේශ්වරන් උසාවියට භාර වුණා.  සාමාන්‍යයෙන් මෙවැනි පහර දීමක දී සැකකරුවන්ට ඇප ලබා දෙන්නේ නෑ. ”

“ඇප පනතේ ඇප නොදීමට දක්වන හේතු හතරෙන් තුනක්ම සසිදරන්ට අදාළයි.  පහර දීමක දී නොවේ හදිසි අනතුරක දී වුණත් ගොදුරු වුණු තැනැත්තා බරපතල තත්වයක සිටින බව වෛද්‍යවරු සනාථ කරනවා නම් ඇප දෙන්නේ නෑ.  ඒ ජීවිත හානියක් වුණොත් අධිකරණය මග හැර සිටීමට හැකි බැවින්.  දෙවන හේතුව වන්නේ ශිෂ්‍ය නායකයෙකු වගේම මැර පසුබිමක් තිබෙන අයෙකු වන හෙයින් අනෙකුත් සිසුන් සාක්ෂි දීමට බලපෑම් කරන්න පුළුවන්.  තෙවන හේතුව වන්නේ මහජන කැළඹිලි වලට තුඩු දෙන සිදුවීම් වල දී ද ඇප දෙන්නේ නෑ.”

“මේ කාරණා තුනම තිබිය දී උසාවියෙන් ඇප ලැබෙනවා.  දකුණේ නවක වදය සිදුවීමකට අත්අඩංගුවට ගත් සිසුවියන් තවමත් රක්ෂිත බන්ධානාගාරයේ.  උතුරේ බරපතල තුවාල සිදු කරමින් පහර දුන් සිසුන්ට ඇප.  මේ දෙයාකාර තීන්දුත් සමග උතුරේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ කොටි උසාවි ද කියන ප්‍රශ්නය මතු වෙනවා.”

“දැන් මම උසාවි ගැන කියූ දේවල් වාර්තා කරන්න බය වෙන්න එපා.  උසාවිය විවේචනය කිරීම උසාවියට අපහාසයක් වෙන්නේ නෑ.  ඇමෙරිකාවේ එංගලන්තයේ සති අන්ත පත්තරවල විශ්‍රාමික විනිසුරන් ජ්‍යෙෂ්ඨ රාජ නීතිඥයින් උසාවි තීන්දු පතුරු ගහනවා.  ඒ සංස්කෘතිය මෑතක් වන තුරු ලංකාවේ තිබුණා.  ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමියගේ නඩු තීන්දුවක් පතුරු ගහලා ජනාධිපති නීතිඥ එච් එල් සිල්වා ඩේලි නිව්ස් පත්තරේට ලිපියක් පල කළා 2003 දී.”

“මේ සිසුවා උසාවියට භාර කරලා ඇප ලබා ගන්නේ දෙමළ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන්.  මේ අය වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ ඒ අය හරියි කියලා ඒ අයව රකිනවා කියන එකයි.  එහෙව් දෙමළ ජාතික සංධානය සමග ද ආණ්ඩුව සංහිඳියාව ගොඩ නගන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා.”

සසිදරන්ට ඇප ලබා දීමට කළමනාකරණ පීඨයේ පීඨාධිපති වේලනම්බි මහතා ඇවිත්.  මේ අයට තමයි ආණ්ඩුව විනය ක්‍රියා මාර්ග අරන් ප්‍රශ්නය විසඳන්න භාර දීලා තිබෙන්නේ.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ 2016.07.21 පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් දැක්වූ අදහස් ඇසුරිනි 

Top