Anonymous Reporter

රට බෙදන ව්‍යවස්ථා මරඋගුල අටවන්න හැදුවොත් එදාට මේ ජනතාව නුඹලාගේ මන්දිර දෙකම අත්පත්කර ගනීවි

ජාතික සම්පත් විකුණා කමින්, ඉඩම් විදේශීයකරණය කරමින් මේ රට ඉන්දියානු කොලනියක් බවට පත් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය මරා මැතිවරණ කල් දමමින් රටත් ජනතාවත් සමඟ සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙසට ගාලුමුවදොරට පැමිණි දශලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ජනාධිපතිවරයාට අගමැතිවරයාට බලවත් පණිවිඩයක් ලබා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙති.

ඊයේ (01) ගාලුමුවදොර පිටියේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ගෝල්ෆේස් පිටියනේ. පුරවන්න බැහැ කියලනේ දුන්නේ. පිරෙව්වනේ. දැන් හරිනේ (ජනතා ඔල්වරසන්). ගෝල්ෆේස් පිටිය විතරක් නොවෙයි, පිට්ටනියට වැඩිය ලොකු පාර කොල්ලුපිටිය දක්වාත් අනෙක් පැත්තෙන් කොම්පඤ්ඤ වීදිය දක්වාත් වූ දශලක්‍ෂ සංඛ්‍යාත ජනගංගාවකින් පුරවලා අපි මේ පරගැති ආණ්ඩුවට එරෙහි සටන නැවත අද පණගන්වා තිබෙනවා.

‘හිටන්-හුටන් …’

හිටන් ඉන්නවා ගැටඹේ. හුටන් ඉන්නවා බොරැල්ලේ. නිල් අලි පැටව් ඉන්නවා ගැටඹේ. කොළ අලි පැටව් ඉන්නවා බොරැල්ලේ. රතු අලි පැටව් ඉන්නවා බී.ආර්.සී. පිට්ටනියේ. නිල් අලි පැටව් අද මැයි දිනය සමරනවා, ‘එක මිටට-අලි අතට’ කියන සටන්පාඨය යටතේ. වෙනදා ජනතා විමුක්ති පෙරමුණේ සටන්පාඨය වුණේ ‘පෞද්ගලීකරණයට, බෙදුම්වාදයට, ප්‍රජාතන්ත්‍ර විරෝධයට එරෙහි රතු මැයි රැලිය’ කියලයි. නමුත් මේ පාර සටන්පාඨයත් වෙනස් වෙලා, ‘ආර්ථික සංවර්ධනය, ජාතික සමගිය, වෙනුවෙන් වූ රතු මැයි රැලිය’ කියලා. සටන්පාඨවල පද පෙරළි අනුව පෙනෙන්නේ මොකක්ද? ‘ලයින් එක මාරු වෙලා’ කියලා. මේ නව සටන්පාඨය මගින් පෙනෙන්නේ අද ආණ්ඩුව කරන්නේ ඒ අය කියලයි. රනිල් වික්‍රමසිංහ බෙදුම්වාදී ව්‍යවස්ථාවක් ගේන්න හදන වෙලාවේ, එට්කා ගිවිසුම ගහලා මේ රට ඉන්දියාවේ කොලනියක් කරන්න හදන වෙලාවේ, ත්‍රිකුණාමල වරාය, හම්බන්තොට වරාය හා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය විකුණන් කන්න හදන වෙලාවේ, මේ රතු අලි පැටව් ඊට එරෙහි එකම සටන්පාඨයක්වත් නැතිවයි අද බී.ආර්.සී. පිට්ටනියේ ලගින්නේ. ඔන්න අද මේ අයගේ කෙරුවාව.

‘ඒකීයභාවය වෙනුවෙන් පණ දෙන ධජය’

නමුත් අද මේ ගාලුමුවදොර පිටියට එක් වුණු තමුන්නාන්සේලාගේ අතේ තිබෙන්නේ මොන ධජයද? රටේ ඒකීයභාවය වෙනුවෙන් පණ දෙන්න වුණත් ශක්තිය තිබෙන ධජය. අපි දන්නවා, අද සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රැගෙන ඒමට සූදානම් වන බව. අද මේ පරගැති ආණ්ඩුව ‘ඒකීය වී ඇටය’ ඇතුලේ ‘ෆෙඩරල් හාල් ඇටය’ හදන්න සූදානම් වෙනවා. එහෙම වුණාම අවසානයේ හැදෙන්නේ ‘ඊළාම් බත් ඇටය’. ඒ ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය මේ අය හොර රහසේම හදාගෙන යනවා. රණවිරුවන් දිවි පුදා බෙදන්න නොදී රැක ගත්තු මව් පොළොව, ජාත්‍යන්තර පිශාචයින්ගේ නියමය අනුව අද පාර්ලිමේන්තුවේ 2/3ක බලය පාවිච්චි කරලා ව්‍යවස්ථා වෙනසකින් බෙදන්නයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. අද මේ දශලක්‍ෂ සංඛ්‍යාත ජනගඟ කියන්නේ ‘අපි ඒකට ඉඩ දීලා නිහඬව බලන් ඉන්න සූදානම් නැහැ’ කියලයි.

අද අපි කියන්නේ නැහැ ‘මෙහෙමම යං කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය පැත්තේ, ජනාධිපති මන්දිරය පැත්තේ’ කියලා. හැබැයි අද අපි මේ රනිල් – සිරිසේන හවුලට අපි කියනවා ‘මේ රට බෙදන ව්‍යවස්ථා මරඋගුල අටවන්න හැදුවොත් එදාට මේ දශලක්‍ෂ සංඛ්‍යාත ජනතාව නුඹලාගේ මන්දිර දෙකම අත්පත්කර ගනීවි. ඒක නතර කරන්න නුඹලාට බැහැ’ කියලා. ‘එදාට යුද හමුදාවේ සහ පොලිසියේ අවි මේ දශලක්‍ෂ සංඛ්‍යාත ජනතාවට එරෙහිව එල්ල වෙන්නේ නැහැ.’ කියා අපි විශ්වාස කරනවා. සිරිසේනගේ ලණු කාලා බත්බැලකම් කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිල් අලි පැටවුන්ට අපි කියනවා ‘ගාලුමුවදොර පිට්ටනියට ආපු මේ දශලක්‍ෂ සංඛ්‍යාත ජනතාව දිහා බලලා රෙද්ද ගැලවෙන්න කලින් මාරු කරපල්ලා පැත්ත’ කියලා.

එක පැත්තකින් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න සූදානම් වන රනිල් වික්‍රමසිංහ අනෙක් පැත්තෙන් ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුම් ගහනවා. එමගින් ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික විතරක් නොවෙයි, ත්‍රිකුණාමල වරාය, ත්‍රිකුණාමල නගරය ඉන්දියාවට භාර දෙනවා. හනුමන් පාලම හදන්නත් ඉන්දියාව සමඟ සැලසුම් කරනවා. ඉන්දියාවෙන් භෞතිකව වෙන් වුණු හින්දා තමයි අපට අනන්‍ය ශිෂ්ටාචාරයක්, සභ්‍යත්වයක් මේ පොළොවේ නිර්මාණය වුණේ. ඒ ශිෂ්ටාචාරය, සභ්‍යත්වය මකා දාලා මේ මව් පොළොවේ ඉන්දියානුවන්ගෙන් පුරවන්න තමයි එට්කා ගිවිසුම ගහන්න හදන්නේ.

‘මෝඩිගේ පැමිණීමට එරෙහිව මුළු රටම කළු කොඩිවලින් පුරවන්න ඕනේ’

මේ මාසේ ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝඩි ලංකාවට එනවා. ඒ අය කියන්නේ නම් ‘වෙසක් බලන්න එනවා’ කියලා. නමුත් ඔහු එන්නේ මේ රට පාවා දෙන ඊළඟ ගිවිසුම් ටිකට මේ අාණ්ඩුවේ බලධාරීන්ගේ අත්සන් ටික ගහගෙන යන්න. මේ පාවාදීමට එරෙහි බව පෙන්වන්න අපි මෝඩි එනදාට මුළු රටම කළු කොඩිවලින් පුරවන්න ඕනේ. මේ පාර වෙසක් එකට රනිල්ගේ දන්සැලෙන් කන්න දෙන්නේ ඉන්දියාවට විතරයි. මේ දන්සැලේ කන්න දෙන්නේ මේ මව් පොළොව. ඒ නිසා අපි මේ මහා පාවාදීමට එරෙහි විය යුතුයි.

‘වඳ ගෑණිගෙන් දරු සෙනේ පැතුවා වගේ’

මහින්ද රාජපක්‍ෂ පාලනයෙන් වසර 10ක් පුරා ලැබුණු දේට වඩා වැඩි දෙයක් බලාපොරොත්තුවෙන් රතු අලි පැටවුන්ගේ, පා.ච රණවකගේ පච අහපු විශාල ජන බලවේගයක් 2015 ජනවාරි 08 වැනිදා හංසයාට කතිරය ගැහුවා. දෙමළ කියමනක් තිබෙනවා, ‘වඳ ගෑණිගෙන් දරු සෙනේ බලාපොරොත්තු වුණා වගෙයි’ කියලා. ඉල්ලුවාට ඒක දෙන්න පුළුවන් දෙයක්ද? ඒ නිසා 2015 ජනවාරි 08 වැනිදා ඉඳන් මේ රටට ආපස්සට යන්න සිදු වුණා. බදු බර, මර්දනය වැඩි වුණා. ඒ නිසා මේ විපත්තිදායක ගමනින් මේ මව් පොළොව බේරාගත යුතුයි.

‘නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙතී’

එක ජනකවියක තියනවා,
‘ඌරා මඩ කළත් ඌ වපුල බිජු නැතී
බළලා කපු කටී ඌ වියන රෙදි නැතී
මීයා ලී කපයි ඌ හදන බඩු නැතී
නරියා සිංහ වෙස්ගත් පසුව රැවටෙතී’ කියලා. ජනවාරි 08 වැනිදා සිද්ධ වුණේ අන්න ඒ කවියේ තිබෙන දෙයයි. එදා සිදු වුණු වරද නිවැරදි කරන්න දැන් ජනතාවට ඡන්ද දෙන්නේ නැහැ. දෙන්නේ නැතිනම් ඡන්ද ගන්න ඕනේ. දෙන්නේ නැති දේවල් ගන්න කරන්න තිබෙන්නේ එය දෙයයි. මේ මැයි 01 වැනිදා ඇතිකරගත් ජනතා අධිෂ්ඨානය දෙගුණ, තෙගුණ කරලා මේ මුළු කොළඹම වටකරගෙන ‘ඡන්දය දෙනතුරු ගමට යන්නේ නැහැ’ කියන විදියට ඉන්න ඕනේ. ඒ සටන ගෙන එන්න ඕනේ. ඡන්දය, ප්‍රජාතන්ත්‍රවාදය ගන්න වෙන ක්‍රමයක් නැහැ. වික්‍රමසිංහට මේ විදියට යන්න ඉඩ දුන්නොත් රටක් ඉතිරි වෙන්නේ නැහැ.

‘සල්ලාලයා සහ මුරකාරයා’

අද වික්‍රමසිංහ දේශපාලන සල්ලාලයා ලෙසත් සිරිසේන දේශපාලන මුරකාරයා ලෙසත් කටයුතු කරනවා. සල්ලාලයා සල්ලාලකමේ යනවා. මුරකාරයා ඒකාව මුර කරනවා. ඉන්දියාවට මේ මව් පොළොව කෙලෙසන්න දෙන්නේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මේ මව් පොළොව කෙලෙසන්න දෙන්නේ, යුද හමුදාවේ, නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් සිරගෙවල්වල දමන්නේ මේ දේශපාලන සල්ලාලයා තමයි.

එදා යුද සමයේදී මාළු ලොරියක අයිස් පෙට්ටියක බෝම්බ පුරවලා ත්‍රිකුණාමලයේ සිට කොළඹට එවන්න කොටි ත්‍රස්තවාදීන් ගත්තු උත්සාහය නාවික හමුදා බුද්ධි අංශයේ මැදිහත්වීමෙන් වැළකුණා. මුළු කොළඹම පුපුරවන්න හැකියාව තිබූ ඒ බෝම්බ ලොරිය අත්අඩංගුවට ගැනීමට මුල් වූ නාවික හමුදා නිලධාරියා අද ඉන්නේ හිරගෙදර. අපේ ජීවිත රැක දුන්නු ඒ රණවිරුවා අද ඉන්නේ හිරගෙදර. ඔහු ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා කන් ඇසීම පවා අහිමි වූ අයෙක්. ඒ තමයි අද මේ කාලකන්නි සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව රට රැකගන්න දිවි පරදුවට තබා කටයුතු කළ මිනිසුන්ට දෙන තෑග්ග. කොටින්ගේ ‘කුරුම්බැට්ටි බලකායේ දෙවැනියා’ මැලේසියාවේදි අත්අඩංගුවට ගැනීමට අපේ පාලන කාලයේදී ආරක්‍ෂක අංශවලට හැකි වුණා. 2014 සිට ත්‍රස්ත විමර්ශන අංශය විසින් රදවා ගෙන ප්‍රශ්න කළ මේ ත්‍රස්තවාදියා පසුගියදා නඩු පවරන්නේ නැතිව මේ ආණ්ඩුව විසින් නිදහස් කළා. ජාතියට ගුවනින් බෝම්බ හෙළුෑ ත්‍රස්තයින්ට නිදහස. කොළඹ බෝම්බ බියෙන් ගලවා ගත් බුද්ධි අංශ නිලධාරීන්ට හිර ගෙදර. ඔන්න ලැබුණු වෙනස.

‘අද සොබාදහමත් කම්පා වෙනවා’

මේ මහා සාපරාධී ක්‍රියාවන් හමුවේ අද ස්වභාවධර්මයත් කම්පා වෙනවා. නියඟය, නායයාම්, කුණු කඳු මිනිසුන්ගේ හිස මතට කඩා වැටීම්, ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා වීම පුදුමයට කරුණක් නොවෙයි. අද මුළු රටම මේ මුස්පේන්තු පාලකයන්ගේ විනාශයට හසු වෙලා ඉවරයි.

‘පොලුකාරයාගේ එක පොලු පාරෙන්…’

අවුරුදු 10ක් පුරා මහින්ද රාජපක්‍ෂ පාලනය මේ රට හරි මඟ අරගෙන ආවා. නමුත් ඔබ අහලා ඇති ‘වලංකාරයාගේ හය මාසයක වැඩ පොලුකාරයාගේ එක පොලු පාරෙන් ඉවර කරන්න පුළුවන්’ කියන කියමන. මහින්ද රාජපක්‍ෂ මහත්තයා අවුරුදු 10ක් තිස්සේ හදපු රට මේ පොලුකාරයාගේ එක පොලු පහරින් ඉවර කරන්න පුළුවන් (ජනතාවගේ සිනා). මම කිව්වේ ‘පොලු කාරයාගේ’ කියලා. අද වෙලා තිබෙන්නේ ඒකයි. එදා කුණුවලින් තොර කොළඹක් ඇති කළා. අද හැමතැනම කුණු පිරිලා. ඒ වගේම රටේ විනයක් ඇති කළා. අද මේ අණ්ඩුව විනය තකා ෆොන්සේකා රැගෙන එන්න හදනවා. ඒ නිසා අපි 2020 වෙනකම් මේ විනාශය දිහා නිහඬව බලා ඉඳලා හරි යන්නේ නැහැ. එට්කා ගහපු රට අරගෙන වැඩක් නැහැ. 20 වැනි සංශෝධනයෙන් බෙදපු රට අරගෙන වැඩක් නැහැ. ඊට කලින් ප්‍රහාරය එල්ල කරන්න ඕනේ. මේ ප්‍රහාරය එල්ල කරන්න තිබෙන එකම බලවේගය මේ දශලක්‍ෂ සංඛ්‍යාත ජනතා බලයයි, ජනතා අධිෂ්ඨානයයි. අපි ඔබ සැමගේ ශක්තියයි. ඒකට නායකත්වය දෙනවා 5 වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා.

‘ඒකාබද්ධ විපක්‍ෂයෙන් අවවාදයක්’

බැඳුම්කර හොරු, හොරා කාපු සල්ලිවලින් දැන් ගහනවා පත්තර. මිලදී ගන්නවා රූපවාහිනී නාලිකා. අද ඇමතිවරු පෞද්ගලික ආයතනවලට කියනවා, ‘අනෙක් පත්තරවලට දැන්වීම් දෙන්න එපා! බැඳුම්කර හොරුන්ගේ පත්තරයට දැන්වීම් දෙන්න’ කියලා. ඒ නිසා අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලනවා ‘ඒ බැඳුම්කර හොරුන්ගේ පත්තරය මිලදී ගන්න එපා!’ කියලා. ‘බැඳුම්කර හොරුන්ගේ ජනමාධ්‍ය පරිශීලනය කරන්න එපා! අනතුරුදායකයි, පරිස්සම්වන්න- ඒකාබද්ධ විපක්‍ෂයේ අවවාදය’ කියලා අපි කියනවා.

මේ හොර නඩයට තවදුරටත් මේ රට අවුල් කරන්න ඉඩ දෙන්න බැහැ. ‘ජාතික සම්පත් විකුණාගෙන කෑමට, මේ රට ඉන්දියානු කොලනියක් බවට පත් කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදය මරලා මැතිවරණ කල් දාලා මේ රට 1988-89 වගේ අමු මිනී කනත්තක් බවට පත් කිරීමට ඉඩ දෙන්න බැහැ. ෆෙඩරල් ව්‍යවස්ථා මගින් රට බෙදන්න දෙන්න බැහැ’ කියන පණිවිඩයයි අද මේ ගාලුමුවදොර අතුරු සිදුරු නැතිව පිරිලා ඉන්න දශලක්‍ෂ සංඛ්‍යාත ජනකාය ලබා දී ඇත්තේ.

‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමනි, අපි ලෑස්තියි. දිනය, වෙලාව විතරක් අපට ලියලා එවන්න. මේ ආණ්ඩුව පලවා හරිනතෙක් අපි ගෙදර නොගිහින් ඉන්නම්’ කියලා කියන්නයි මේ ජන ගඟ ගාලුමුවදොරට පැමිණ ඇත්තේ. මේ ජනතා සටනට අපි නායකත්වය දෙමු! ජාතිය විපතට ඇදගෙන යන මාවතෙන් මේ රට බේරා ගනිමු! ලක් මැණියෝ ඒ යුතුකම සහ සේවය අද අපෙන් අද ඉල්ලා සිටිනවා. 2020ට කලින් සිරිසේන- වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන මේ සටන අපි අද මෙතැන සිට අරඹමු!

මාතෘභුමියට ජයවේවා!
ඒකාබද්ධ විපක්‍ෂයට ජයවේවා!
මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ට ජයමවේවා!”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Top