LNN SPY

රණ විරුවන් පාවා දෙන්නේ යයි අම්ම මුත්තා නැතිව කෑ කෝ ගසන එවුන් මුහුණ වසා ඇස් රවටා සිදු කළ ආරක්ෂක අමාත්‍යාංශයේ බූට් සපත්තු මගඩිය

ශ්‍රී ලංකා යුද හමුදාව රණ විරුවන් බවට පත් වූයේ පසුගිය එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත් කිරීමත් සමගය. යුද්ධයෙන් පසු හමුදාව තුළ සිදු වන යම් අක්‍රමිකතාවයක් හෝ යුද සමයේ සිදු වූ විෂමාචාරයක් පිළිබඳ හෝ පරීක්ෂණයක් ආරම්භ කළහොත් රණ විරුවන් පාවා දෙන්නේ යයි අම්ම මුත්තා නැතිව කෑ කෝ ගසන පිරිසක්ද ඒ සමඟ නිර්මාණය විය. එහෙත් හමුදා සෙබළුන් වෙනුවෙන් මේ කෑ කෝ ගසන්නෝ හෙළන්නේ කිඹුල් කඳුළු බව කාටත් හොඳින්ම පැහැදිලිය. ඒ ඇත්තටම හමුදා සෙබළුන් විකුණාගෙන කන්නවුන් දකින විට මේ ඊනියා රණ විරු ආරක්ෂක වළල්ල කිසිදු හැල හොල්මනක් නැතිව සිටින නිසාය.

මේ කියන්නේද හමුදාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන හුදී ජනයා නෑසූ කන් ඇතිව සිටියදී ආරක්ෂක අමාත්‍යාංශයේද මැදිහත්වීමෙන් සිදු වෙමින් තිබ‍ෙන තවත් වංචාවක් පිළිබඳවය. පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශය විසින් හමුදා සෙබළුන් සඳහා බූට්ස් හයිලෙග් 75000ක් සැපයීම සඳහා කැඳවූ ටෙන්ඩරයේදී මේ කියන වංචාව සිදු වී තිබේ.

මේ මහා පරිමාණ වංචාවට පෙළ සැකසෙන්නේ මෙසේය.

ශ්‍රී ලංකා යුද හමුදාවට ඉහත කී සපත්තු තොගය ලබා ගැනීම සඳහා 2017 ජනවාරි 08 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් ටෙන්ඩර් කැඳවීම සඳහා පුවත්පත්වල දැන්වීමක් පල කරනු ලබයි. එම දැන්වීමට අනුව ලංසු ඉදිරිපත් කළ හැකි වන්නේ අවම වශයෙන් අවුරුදු පහක් හයිලෙක් බූට්ස් නිර්මාණය කරන්නන්ට පමණි.

සාමාන්‍යයෙන් ටෙන්ඩර් පටිපාටියේ සම්ප්‍රදාය වන්නේ ටෙන්ඩර් දියත් කළ පසු එහි කොන්දේසි වෙනස් නොකිරීමයි. එහෙත් 2017 ජනවාරි 08 වන දින ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධ කළ දිනට පසුව ඉරෝෂා ඉන්ටර්නැෂනල් නම් සමාගමක ඉල්ලීම පරිදි ඔවුන්ට ලංසු ඉදිරිපත් කළ හැකි වන පරිදි ප්‍රධාන ගණකාධිකාරීවරිය වන ඩී.එන්.කේ. හෙට්ටිආරච්චි විසින් 2017 ජනවාරි 17 වන දින ලංසු ලේඛනයෙහි සුදුසුකම් ලැබීමේ උපමාන වගන්ති ලිහිල් කරමින් සංශෝධනය කරන ලද ලිපියක් නිකුත් කර තිබේ.

ටෙන්ඩර් කොන්දේසි අනුව තත්ත්ව පරීක්ෂණ ගාස්තු ගෙවිය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී වෙතටය. මෙය පැහැදිලිව පුවත්පත් දැන්වීමෙහිද සඳහන් කර තිබේ. නමුත් ඉරෝෂා ඉන්ටර්නැෂනල් ආයතනය තත්ත්ව පරීක්ෂණ ගාස්තු ගෙවා ඇත්තේ යුද හමුදාවේ ප්‍රධාන ගණකාධිකාරී වෙතටය. ටෙන්ඩර් කොන්දේසි වලට අනුව එම නිසා ඉරෝෂා ඉන්ටර්නැෂනල් ආයතනය ටෙන්ඩරයට ඉදිරිපත් නොවූ ආයතනයක් වශයෙන් සැලකිය යුතුය. එහෙත් එය වසන් කරමින් ප්‍රධාන ගණකාධිකාරීවරිය විසින් ඉරෝෂා ඉන්ටර්නැෂනල් සමාගමේ ටෙන්ඩරය පිළිගෙන තිබේ.

ටෙන්ඩරය විවෘත වී මසකට පසු ප්‍රධාන ගණකාධිකාරීවරිය විසින් 2017 පෙබරවාරි 27 වන දින තවත් සාම්පලයක් හා තත්ත්ව පරීක්ෂණ ගාස්තු රුපියල් 15,000/-ක් ලබා දෙන ලෙස ලංසුකරුවන්ට දන්වා තිබේ. තවත් සාම්පලයක් ලබා දීමට සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය විරෝධය දැක්වීම නිසා මුදල් පමණක් ගෙවන ලෙස දන්වා 2017 මාර්තු 01 වන දින නැවත ලිපියක් යවා ඇත.

කලින් ලබා දුන් නියැදි පරීක්ෂාව සඳහා යවා තිබුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට සහ ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් යන පිළිගත් ආයතන දෙක වෙත වන අතර ඒ වන විට ඉහත කී ආයතන දෙකෙහිම පරීක්ෂණයන් පැවතී ඇත්තේද අවසන් අදියරේය. එහිදී ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම ඉහත කී ආයතන දෙකෙහිදීම මූලික පරීක්ෂණ වලදී අසමත් වී ඇති බව ගණකාධිකාරීවරියට දැනගන්නට ලැබී තිබේ. ඒ නිසා ඇයගේ සෘජු මැදිහත්වීමෙන් නැවත සාම්පල් කැඳවා රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්ස්ටයිල් ඇන්ඩ් ඇපරල් ආයතනයට ඒ සාම්පල් යොමු කරන්නේ 2017 මාර්තු 06 වන දිනයේය. සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය සාම්පල් ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ මේ කරන්නට යන වංචාව කල් තියාම දැනගත් නිසාය.

ටෙන්ඩර් කොන්දේසි වලට අනුව කුමන හෝ ආයතනයකින් තත්ත්ව පරීක්ෂාවේ Criteria Parameter හතරෙන් එකක් හෝ අසමත්නම් එම ටෙන්ඩරය පිළිගත නොහැකි බව සඳහන් වේ. එයEvaluation Criteria ITB 35.4d හි සඳහන් කර තිබේ. ඒ අනුව ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ ලංසුව පිළිගත නොහැකි ලංසුවක් බවට පත් වී තිබේ.

එහෙත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ ටෙන්ඩර්කරුවන් වර්ගීකරණය කිරීමේදී ඉතාමත් අසාධාරණ ලෙස කටයුතු කරමින් ඉරෝෂා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමට වැඩි වාසි අත්පත් වන අයුරින් කටයුතු කර ඇත. එහෙත් අමාත්‍ය මණ්ඩලය විසින් සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය සාර්ථක ලංසුකරු ලෙස අනුමත කර ඇති අතර ඒ අනුව ඉරෝෂා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම අසාර්ථක ලංසුකරුවෙකු ලෙසට දැනුම්දීමට කටයුතු යොදා තිබේ.

ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම ප්‍රසම්පාද අභියාචනා මණ්ඩලයට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. මෙසේ අභියාචනයක් ඉදිරිපත් වූ විට එම තීරණයට බලපාන සියලුම ලංසුකරුවන් කැඳවිය යුතුව ඇත. මෙය පෙර සිටම පැවති සම්ප්‍රදායයි. එහෙත් මෙහිදී සාර්ථක ලංසුකරු ලෙස නම් කරනු ලැබූ සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනයට හෝ කැඳවීමක් සිදු කර නොමැතිව බ්‍රිගේඩියර් එච්.ආර්. වික්‍රමසිංහ ඇතුළු හය දෙනෙකුගෙන් යුතු අභියාචනා මණ්ඩලයක් විසින් ඒක පාර්ශ්වීය තීරණයක් ගනිමින් අඩුම ලංසුව පමණක් සැලකිල්ලට ගෙන අදාළ ටෙන්ඩරය ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමට ලබා දීමට කටයුතු කර තිබේ.

මෙහිදී ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම මෙම පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පරීක්ෂණ කටයුතු සඳහා සම්පූර්ණ සුදුසුකම් නොමති බවයි. මෙහිදී ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය මෙම චෝදනා පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් කිසිදු විමසීමක් නොකර ඔවුන් සාම්පල් පරීක්ෂා කරන්නේ කෙසේද, ඔවුන්ට සාම්පල් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පහසුකම් ඇත්ද යන්න නොවිමසා සාර්ථක ටෙන්ඩර්කරු ලෙසට සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට් ආයතනයට කිසිදු කැඳවීමක් කර නොමැතිව ඉරෝෂා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමට මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමට නියෝග කර ඇත. ඔවුන්ගේ මේ තීරණයට පාදක වී ඇත්තේ ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ මිල පමණකි. සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනයට වඩා බූට්ස් යුගල 75,000ම සඳහා රුපියල් මිලියන 16ක් අඩු වීම මතම මෙම තීරණය ගෙන ඇති අතර ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු තැකීමක් කර නොමැත.

සුදුසුකමින් අඩු නිසි පිළිවිතර වලට නොමැති සපත්තු අඩු මිලට සැපයිය හැකි බව පැහැදිලි කරුණකි. ඉරෝෂා ආයතනය මෙම හයිලෙග් බූට්ස් සඳහා ලබා දී ඇත්තේ වසරක වගකීම් කාලයක් පමණි. නමුත් සිලෝන් ලෙදර් ප්‍රොඩක්ට්ස් ආයතනය වසර දෙකක වගකීම් කාලයක් ලබා දී ඇත. මේ පිළිබඳවද කිසිදු සැලකිල්ලක් දක්වා නැත.

ටෙන්ඩර් කොන්දේසි වලට සම්බන්ධ රජයේ ප්‍රසම්පාද මාර්ගෝපදේශන සංග්‍රහය 2006 යොමුව 7.8 වගන්තියෙහි පැහැදිලිවම සඳහන් කර ඇත්තේ මිල මතම නොව ඕනෑම භාණ්ඩයක ගුණාත්මක බව ප්‍රධාන බවයි. ඒ අනුව කිසිම ටෙන්ඩරයක් මිල මත පදනම් කර තීරණය නොකළ යුතු බව පැහැදිලිව සඳහන් කර ඇත.

ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණයට අනුව ඩී.එන්.කේ. හෙට්ටිආරච්චි ප්‍රධාන ගණකාධිකාරීවරිය විවිධ කරුණු වසන් කර කැබිනට් පත්‍රිකාවක් සකස් කර මෙම ටෙන්ඩරය ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. ප්‍රධාන ගණකාධිකාරීවරිය ආරක්ෂක අමාත්‍යාංශයේ පමණක් නොව ඉහළ නිලධාරීන්ද පාලනය කරන ප්‍රබල චරිතයකි. මීට මාස හයකට පමණ පෙර ඇයව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ සංචිතයට මාරු කර යවා ඇතත් ඉන් පසුව ඇය ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණ හයිලෙග් බූට්ස් ටෙන්ඩරය ඉරෝෂා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමට ප්‍රදානය කළ බවට ශ්‍රී ලංකා යුද හමුදාවට ලිපියක් යවා තිබේ.

ජවනිකාව අවසන් වන්නේ ඒ අයුරිනි. දැන් යුද හමුදාවට ලැඛෙන්නේ ප්‍රමිතියෙන් බාල බූට්ස්ය. ඒ වෙනුවෙන් වංචාවට මැදිහත් වූවන්ට අත යට දීමනා ඇති තරම් ලැඛෙන්නට ඇත. ඒවා ප්‍රසිද්ධියේ කියවෙන්නේ නැත. එහෙත් වංචාව සිදු වූ බවට ප්‍රසිද්ධ සාක්ෂි ඕනෑ තරම් තිබේ. අත යට ගනුදෙනු කෙසේ වුවත් එළිපිට සිදු වූ දේ ගැන පරීක්ෂණයක් සිදු කළ හැකිය. එය ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයාගේත් ආරක්ෂක නියෝජ්‍ය ඇමති සහ ආරක්ෂක ලේකම් ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යාංශයේත් වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

චතුර දිසානායක

Top