විශේෂාංග

ලංකාව දියුණු රටක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ බහුතර ජනතාවට කියවිය හැකි භාෂාවෙන් නඩු තීන්දු ලබා දෙන විටය…..! එතෙක් අපි දියුණු වෙන්න උත්සාහ කරන රටක් ලෙස පවතීවි…..!

ලොකයේ දියුණු හැම රටකම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දෙන්නෙ ඒ රටේ බහුතර ජනතාවට තේරෙන භාෂාවෙන් වන අතර එම රටවල පාලකයන්ට රටේ ජනතාවගෙන් සැගවී වැඩ කිරීමට ඒ අනුව අවස්ථාවක් නොලැබේ. නමුත් ලංකාව වැනි යටත් විජිත රටවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ලබා දෙන්නෙ ඉතා සුලුතර ජනතාවකට පමණක් කියවීමට හැකිවන අයුරිනි. මේ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවන කටයුතු රටේ බහුතර ජනතාවට ආගන්තුක වෙයි. දියුණු රටවල එසේ නොවේ.

මේ හේතුවෙන් දියුණු රටවල ජනතාව මෙන් නොව ලංකාවෙ බහුතර ජනතාව පාලකයන් සිදු කරන දේවල් දන්නෙ නැත. එහෙයින් පාලකයන් සුපිරි ජන කොට්ඨාසයක් ලෙස ජනතාව සිතති. මන්දයත් පාලකයන් අතින් සිදුවන වැරදි, අසාධාරණකම් ගැන නීතියෙ පිහිට පැතීමට අවසන් අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියවිට එහි කටයුතු සිදුවන්නෙ ජනතාවට තේරෙන භාෂාවෙන් නොව බලවතුන්ට තේරෙන භාෂාවකිනි. දියුණු රටවල මේ වැනි අසාධාරණ තත්ත්වයක් නැති අතර ඒ හෙතුවෙන් පාලකයන් සිදුකරන දේ ජනතාවට නිරාවරණය වී ඇත.

ලංකාව වැනි රටවල බහුතර ජනතාව විදින මේ භාෂා අයුක්තිය සහ අසාධාරණකම් නිසා පාලකයන්ට හිතෙන හිතෙන ආකාරයට දූෂණ සහ වංචා කරමින් නීතිය අවභාවිත කරමින් සත්‍ය ජනතාවගෙන් සගවා ගන්න අවස්ථාව සහ නිදහස ලැබී ඇත. මේ සදහා ආසන්නතම උදාහරණය වන්නේ මහ බැකු බැදුම්කර ගණුදෙනු සම්බන්ධව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරිත්වය යි. දැනටමත් එකී කොමිසමේ වාර්තාව නිකුත්වී තිබුණද ඒ සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ එකී කොමිසමේ භාෂා භාවිතය රටේ ජනතාවගේ භාෂා භවිතය නොවීමෙන් පරිවර්තනය කටයුතු සිදුකිරීම අවශ්‍ය වීමය.

ඒ අනුව ගත් විට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දු රටේ ජනතාව තේරුම් ගන්නා ආකාරය සිතා ගත හැකි අතර ලංකාවේ ජනතාව නීතියේ නිදහස අතින් ඉන්නා ඛේදනීය තත්ත්වයත් තමන්ට හිමි නෛතික අයිතිවසිකම් පිළිබද අනවබෝධයේ තරමත් සිතාගත හැකිය.

මේ භාෂා අසාධාරණය නිවැරදි කරගත් දිනයට පාලකයන් සිදුකරන දූෂණ සහ වංචා ජනතාව ඉදිරියේ එළිදරව්වන අතර ජනතාවගේ නෛතික සාක්ෂරතාවයද පුළුල් වෙයි. නමුත් ලංකව වැනි නොදියුණු රටවල පාලකයන් සහ මේ දූෂිත පාලන ක්‍රමයෙන් අයුතු වාසි ගන්නා පුද්ගලයින් මේ අසාධාරණ ක්‍රමය වෙනස් කරන්න අකැමති ය. ඒ සදහා නිදහසට කරුණු බොහොමයක් ඔවුන් සතුව ඇත.

සමහර දේශපාලන පක්ෂ මෙහි ඇති ගැටලුව පංති බේදය කියමින් ප්‍රශ්නය දිගටම තබාගෙන සිටිති.ඔවුන් රුසියාව, චීනය, ජපානය, ප්‍රංශය ,ජර්මනිය වැනි දියුණු රටවල ඉහළම අධිකරණ රටේ ජනතාවට තේරෙන ආකාරයට නඩු තීන්දු ලබා දෙන බව හිතාමතා අමතක කරයි.

පාලකයන් විසින් මේ සිදුකරන අසාධාරණය ජනතාව වටහා ගන්නා තෙක් ඔවුන්ගේ නිදහස මෙන්ම රටේ දියුණුවත් තව ඈතටම යනු ඇත.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
2018.04.17

Top