Featured

ලකුණු  දා ගැනීම හා ලකුණු කැපීම

‘ඇවන්ට්ගාඩ් සමාගම’ වැටලීම,  ‘මිලේනියම් සිටි’ වැටලීම මෙන් පොලීසිය ලකුණු  දා ගැනීමට කලා දැයි සිතෙන බව පාර්ලිමේන්තුවේදී පැවසීම නිසා නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාට සිය ඇමති දුරයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ.

‘මිලේනියම් සිටි’   වැටලීම යනු අතුරුගිරියේ ‘මිලේනිම් සිටි’ නිවාස සoකීර්ණය තුල පවත්වා ගෙන ගිය  රජයේම හමුදා බුද්ධි අoශ ඒකකය, 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී 2002 ජනවාරි 2 වෙනිදා රනිල් අගමැති දුරය දැරූ එජාප පාලනය මගින් කරනලද මහා පාවා දීමයි.

එදිනට පසු එම බුද්ධි අoශ ඒකකයේ සියලුම නිළධාරීන්, එයට සම්බන්ධව සිටි සියලුම ඔත්තුකරුවන්   සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් (දෙමළ හා මුස්ලිම් ජාතිකයින්ද ඇතුලුව) එල්.ටී.ටීය විසින් සමූල ඝාතනය කරන ලදි. රනිල්ගේ එජාප රජය, ඊනියා සටන් විරාමයට බාදාවක් වේයයි යන මතයේ සිටිමින් එල්.ටී.ටීයේ සහ නෝර්වේ ඇතුලු ඊනියා ජාත්‍යන්තර සාම කාක්කන්ගෙන්  ලකුණු දා ගැනීමට දෝ එම ඝාතන වැලැක්වීමට කිසිදු පියවරක් නොගත් බැව් පැවසේ.

එවකට පොලීසිය භාරව ඇමතිවරයා වූයේ ජෝන් අමරතුoග වන අතර ආරක්ෂක අoශ භාරව ඇමතිවරයා වූයේ තිලක් මාරපන මහතායි. ලකුණු දා ගැනීමට ජෝන් අමරතුoග ගේ පොලීසිය කටයුතු කල අතර මාරපන ලකුණු කැපේ යයි සිතා කල වැරැද්ද දැන දැනම එවිට නිශ්ශබ්දව ඉන්නට ඇත.

සිතා මතා නොවූවත්, සිතේ පැල පඳියම් වී කාලාන්තරයක් සැගවී සිටි ඇත්ත තමන්ටත් හොරා කටින් ගලිහීම නිසාදෝ මාරපන මහතාගේ ලකුණු අද කැපී ඇත.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍යය මගින් ක්‍රියා කළ බැවින්, පොලීසිය විසින් තවදුරටත් කරගෙන යනු ලබන පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමට තීරණය කළ බව මාරපන මහතා පවසා තබිණ. තවද මාධ්‍යය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් ඒ මහතා කියා තිබේ.

වාසි පැත්තට ‘හුරේ’ දමන අමන දේශපාලකයින් මෙන්ම මාධ්‍යය වේදීන් යයි කියා ගන්නා පිරිස් සිටින රටක මාරපන මහතාගෙන් ඇත්ත පිටවෙන විටත්, රටට හෙන ගැහුනත්, පාලකයින්ගෙන් ලකුණු දාගෙන තම තමන්ගේ බඩවියත් රැක ගැනීමට උත්සුකවීම පුදුමයක් නොවේ.

මේ අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ විශාල ලාබ ලබන ඇවන්ට්ගාඩ් සමාගම පවරාගැනිමට එක්තරා මාධ්‍යය ආයතනක් හිමි ව්‍යාපාරික සමාගමක්  රජයට මහත් පීඩනයක් ඇතිකරන බවත් ඒ අතර සරත් ෆොන්සේකාට කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට අවශය්‍යව ඇතිබවත්ය.  එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර භාරයට ගැනීමට නොගත්තේ ඔහු පවසන පරිදි ඊනියා යහපාලනය නිසා නොව, තමා ඉදිරියේ ඇති කුමන්ත්‍ර‍ණය කලින්ම දැන, ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාල වාරණ නියෝගයක් ගෙන තිබුනු බැවිනි.

‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යාමට එක්සත් ජාතීන්ගේ අවසරය ඇතුළු සියලුම නීතිමය විධිවිධාන සපුරා පැවති බවත්, අවැන්ට්ගාඩ් නෞකාවේ සේවා කටයුතු හා රක්නා ලංකා සමාගම හා ඒකාබද්ධ කටයුතු සාධරණය කරමින්, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍ර‍ව්‍ය පනත හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදියෙන් නඩු පැවරිය නොහැකි බවට තමන් පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ නීතපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවත්, එය මුළුමනින්ම සත්‍ය බවත්, නීතිපතිවරයාටද මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් විරහිත බවත්, හිටපු නීතිපතිවරයෙකුද වන අමාත්‍ය මාරපන සහ ජනාධිපති නිතිඥවරයෙකුද අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතුන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.

රජයේම ඇමතිවරුන් ලක්ව ඇති පීඩනය මෙබඳු නම් රජයේ වග කිවයුතු නිළධාරීන් ඊනියා යහපාලනය යටතේ පත්ව ඇති අසරණ තත්වය අපට සිතාගත හැකිය.  මෙවන් තත්වයක් යටතේ තම රාජකාරිය නිසි පරිදි ඉටු කරන නීතපතිවරයාට මුලු මහත් ජනතාවගේ ගෞරවය  හිමි යුතුවේ.

වත්මන් පාලකයින් නීතපතිවරයාගේ වාර්තා සහ නිර්දේශ නොතකා තවදුරටත් පොලීසිය මෙහෙයවන්නේ තමන්ට බලයට පැමණවීමට සියලු උපදෙස්, උදවු පදවු හා ගුරු හුරුකම් දුන් පුද්ගලයින්ගේ, මහරාජා වරුන්ගේ හා අනෙකකුත් විවිධ බලවේගවල (දේශීය හා විදේශීය) මනදොල පුරවා ලකුණු දා ගෙන තමන්ගේ පැවැත්ම රැක ගැනීමට මිස රටට වන සෙතක් ගැන සිතා නොවන බැව් දනිනෝ දනිති.

එස්. අකුරුගොඩ

Top