LNN SPY

වඳ පෙති පෙන්වා ජනතාව මුළා කරමින් ජන ජීවිතය අනතුරේ හෙළන වෛද්‍ය උපකරණ ගෙන්වීමේ මහා ජාවාරමක තොරතුරු හෙළිවෙයි

මේ වන විට ලාංකීය සමාජය තුළ ඇති වී තිබෙන්නේ මහත් කලබගෑනියකි. ඒ මුස්ලිම් කඩ වල සිංහලයන් වඳ කිරීම වෙනුවෙන් වඳ පෙති දමා කෑම දෙන බව විශ්වාස කරන පිරිසක් විසින් කරගෙන යනු ලබන මහා කලබගෑනියක් නිසාය. මේ වන විට ලංකාවේ නොව ලෝකයේ කිසිම තැනක මිනිසුන් වඳ භාවයට පත් කිරීමට සමත් ඖෂධයක් සොයාගෙන නොමැති වුවත් එවැන්නක් තිබේ යයි කියන අමනයන් පිරිසක් මේ කලබගෑනිය ඇති කරමින් සිටිති.

දේශපාලකයන් තම පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය උත්සන්න කිරීමට වරින් වර එක එක ‘ඉවෙන්ට්’ සොයා ගන්නා අතර මේ වඳ පෙති ඉවෙන්ට් එකද එවැනිම උපක්‍රමයකි. ඒ ගැන දැන් සමාජයේ විවිධ මත නිර්මාණය වෙමින් තිබේ. එහෙත් මේ කියන්නට යන්නේ ජනතාවට වඳ පෙති භීතිකාව පෙන්වමින් ලෝකයේ කොහේවත් නැති සෞඛ්‍ය ආරක්ෂාවක් ගැන ජනතා අවධානය යොමු කරවන දේශපාලකයන්ම තමන්ගේ මඩිය තර කර ගැනීමට ඇත්තටම ජනතාවගේ සෞඛ්‍යය අවදානමට හෙළන මහා ජාවාරමක් පිළිබඳවය. කෙටියෙන්ම කියනවානම් ලංකාවේ සෞඛ්‍ය සේවය ජාවාරමක් කරගෙන සිටින දේශපාලකයන්, වෛද්‍යවරුන් සහ මුදලාලිලා පිරිසක් විසින් තම ජාවාරම් වෙනුවෙන් ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය අනතුරට හෙළා ඇති ආකාරය පිළිබඳවය.

ලංකාවේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ රටේ දුගී දුප්පත් ජනතාව කඳුළු දහදිය හෙළා උපයන මුදලින් අය කරන බදු මුදල් වලිනි. රෝහලේ සනීපාරක්ෂක කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා සියල්ලන් වෙනුවෙන් වියදම් කරන්නේත්, රෝහල් නඩත්තු, ඖෂධ, වෛද්‍ය උපකරණ ඇතුළු සියල්ලක්ම වෙනුවෙන් වියදම් කරන්නේ මේ ජනතා මුදල්ය. නමුත් අද රටේ පවතින ජාවාරම්කාරී ඖෂධ සමාගම් ඉතා අසාධාරණ ලෙස එම මුදල් යටිමඩි ගසා ගන්නේ ඉහළ සිට පහළට වගකිවයුත්තන් සියල්ලන්ගේම ආශිර්වාදය මධ්‍යයේය.

මේ ජාවාරම්කරුවන් විසින් සිදු කරන එක් ප්‍රධාන ජාවාරමක් වන්නේ වෛද්‍ය රසායනාගාර උපකරණ ගෙන්වීමයි. ඒ හරහා ජාවාරම සිදු කරන්නේ මෙසේය.

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි කාර්මික හා විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට හා විනාශ කිරීමට විවිධ ආයතන වලට පවරා ඇත. ඒවා අතරිනුත් වෛද්‍ය රසායනාගාර හා ශල්‍ය උපකරණ විනාශ කරන විශේෂයෙන්ම වෙන් වූ ආයතන තිබේ. ඔවුන්ට විශේෂ අවසරපත් ද ලබා දී ඇත්තේ මෙම උපකරණ පරිසරයට විෂ පමණක් නොව විවිධ රෝගාබාධයන් ප්‍රචාරණය කිරීමට රුකුල් දෙන බැවිනි. මෙයින් එක් සමාගමක් ලෝකයේ ජනප්‍රිය ඉලෙක්ට්‍රොනික් වෛද්‍ය උපාංග නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදනය කර ඇමෙරිකාවේ රෝහල් වලින් ඉවත් කළ උපකරණ නැවත සකස් කොට තුන්වන ලෝකයේ රටවලට විකුණා ලාබ ලබයි.

ඔවුන් අපෙන් අයථා ලෙස උපයා ගන්නවාට අමතරව ඔවුන්ගේ ලෙඩ රෝග අපට නොමිලේම ලබා දෙයි. ඒ අනුව මේ මගින් එබෝලා වැනි රෝගාබාධ අප රටට පහසුවෙන් පැමිණිය හැකිය. මෙම උපකරණයන් නැවත සකස් කළ (Republish) උපකරණ ලෙසට මුල් ලියාපදිංචි සමාගම් නාමයන්ට මුවා වී පැමිණේ. මෙරට සමාගම් මේවා රජයේ හා පුද්ගලික රෝහල්වලට විකුණයි. ටෙන්ඩර් හරහාත් නිල හා නොනිල ගනුදෙනු හරහාත් මෙය සිදුකරයි.

අන්තර්ජාලය තුළ http//www.diamonddiagnostics.com/English/index.htm මගින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ගත හැකිය. මෙය සාපාරාදී අපරාධයකි. මෙම ජාවාරම සිදුකරන සමාගම කොළඹ කොටුවේ පිහිටා ඇත. එම සමාගම බෙහෙත් ගෙන්වීමත් මේ සමඟ සිදුකරයි. ඒ සමාගම් පිළිබඳව සියලු තොරතුරු අප සතුව පවතියි.

මේ මගින් ලෝකයේ ව්‍යාප්තව පවතින භයානක ලෙඩරෝග ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් පවතියි. මෙම කල් ඉකුත් වූ මැෂින් වල මූලික උපාංග ඉවත් නොකරයි. එහි පවතින සිරින්ජ, පරණ රසායන අසුරුම්, රුධිර සාම්පල ඇසුරුම් අලුත්වැඩියා නොකර ගෙන්වීම සිදු කරයි. එක්තරා පෞද්ගලික රෝහලකදී මෙය අනාවරණය විය. එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට සිදු කරන ලද්දේ එය ඉවත්කර වෙනත් රසායනාගරයක ස්ථාපිත කිරීමයි. විශේෂයෙන්ම එබෝලා රෝගීන් සම්බන්ධ පරීක්ෂණ එම රටවල් වලදී මෙම උපකරණ වලින් සිදු කරයි. මේවා අපේ රටට පැමිණෙන්නේ හොර රහසේ ලියකියවිලි වෙනස් කොට හා අදාළ නිලධාරීන්ට අල්ලස් ලබා දීමෙන්ය.

එයට අමතරව වෛද්‍ය උපකරණ රෝහලකට ගෙන්වීමට තීරණය කරන කමිටු වල නිලධාරීන්ද මේවාට වගකිව යුතුය. ඉතා මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අවශ්‍යව තිබූ හෝමෝන රෝග නිමානය කරන උපකරණයක් සඳහා ටෙන්ඩර් කැඳවිණි. එහිදි රටේ නමගිය විවිධ සමාගම් ටෙන්ඩර් පත්‍රිකා සම්පූර්ණ කර ඉදිරිපත් කළහ. මෙහිදී ජයවර්ධනපුර රෝහලේ ඉහළ පෙළේ වෛද්‍යවරියක් විසින් තමන්ට දොලපිදෙනි ලබා දුන් ආයතනයට අදාළ වන පරිදි ටෙන්ඩර් පෙරසැකසුම් වාර්තාව සැකසීය.

මෙහිදී ඇයට විදේශීය සංචාර හා වෙනත් වරදාන ප්‍රදානය කරන ලදී. 2014 මැයි මාසයේදී ගල්කිස්ස හෝටලයකදී මැය ඇතුළු පවුලේ සාමාජිකයන් උදෙසා සාදයක් පවත්වන ලදී. මෙම උපකරණය ඉක්මනින්ම අකර්මණ්‍ය වූ අතර එය නැවත සකස් කිරීමට ගිය ඉංජිනේරුවන් මෙහිදී අයථා ක්‍රියා සිදු වී ඇති බව පෙනී ගිය නිසා ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේදී මෙම වෛද්‍යවරිය එම ඉංජිනේරුවන්ට දිගින් දිගටම බාධා කිරීම් සිදු කර තිබේ.

මෙය එක් සිදුවීමක් පමණි. එවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල රෝහල් වලින් වාර්තා වෙමින් තිබේ.

අනුරාධපුර රෝහලට 2012-13 වර්ෂවලදී ගෙන්වන ලද Bio Chemistry Analyzer උපකරණය එයින් එකකි. එහි එවකට සිටි ගණකාධිකාරීවරයාට හා තවත් නම හෙළිනොවූ අයවලුන් කීප දෙනෙකුට මුදල්, විදේශ සංචාර හා මත්පැන් සාජ්ජ පවත්වා මෙම උපකරණ රෝහලට ලබාදී තිබේ. කුරුණෑගල රෝහලටද මේ අයුරින් උපකරණයක් විකුණා ඇත. මෙසේ රෝහල් වලට මිලදී ගත් උපකරණ වල සීරියල් අංක පවා අප සතුව තිබේ.

මෙසේ ගෙන් වූ අනුරාධපුර රෝහලේ උපකරණයේ පළමු ප්‍රතිස්ථාපනය දිනයේදීම අක්‍රීය විය. පසුව ඉංජිනේරුවන්ගේ දක්ෂතාවය මත එය ප්‍රතිස්ථාපනය කළත් එය අලුත් උපකරණයක් නොවේ. නමුත් ඔවුන් ටෙන්ඩරයට ඇතුළු කරන දත්තවල සටහන් කරන්නේ මෙම උපකරණය අලූත් එකක් බවයි. එහිදී ඔවුන් හුවමාරු කරගත් චෙක්පත් සහ ලිපි අප සතුව පවතී. අනුරාධපුර රෝහලට මෙම උපකරණය ලබා දීමේදී එවකට එයට මැදිහත් වූ වෛද්‍යවරියට ඉතා ඉහළ පගාවක් ලබා දී ඇති අතර ඉන්පසු ඇය කුරුණෑගල රෝහලට ගියවිට තවත් එවැනි උපකරණයක් කුරුණෑගල රෝහලට ද මිල දී ගන්නා ලදී. ඉන් පසු ඇය කළුතර රෝහලට මාරු වී ගිය අතර නැවත කළුතර රෝහලටත් එවැන්නක් මිලදී ගන්නා ලද අතර ඇය මාරු වී යන සෑම රෝහලකම මේ අයුරින් මැෂින් ඉතා පහසුවෙන් ස්ථානගත වෙයි.

මේ අයුරින් පෞද්ගලික රෝහල් කිහිපයකටද මෙවැනි වෛද්‍ය උපකරණ විකුණා ඇත. හේමාස් රෝහල, ඩෙල්මන් රෝහල, මීගමුව හේමාස් රසානාගාරය, කළුතර පිලිප්ස් රෝහල, බණ්ඩාරවෙල හියුස් රසායනාගාරය ඒ අතරින් කිහිපයකි.

මෙම රසායනාගාර උපකරණ ලංකාවට ගෙන්වන්නේ ලියා පදිංචි වී ඇති සමාගම් වලින් පමණි. වෙනත් බාහිර අයට මේවා ගෙන්වීමට හැකියාවක් නැත. මෙවැනි වෛද්‍ය උපකරණ වල වටිනාකම රුපියල් කෝටි ගණනකි. මේවා ගෙන්වීම සඳහා දැනටමත් ලංකාවේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන පනත මගින් ප්‍රතිපාදන ඇතත් මෙම සමාගම් ඉහත කී උපකරණ ගෙන්වනු ලබන්නේ එම නීතිරීති සියල්ල උල්ලංඝනය කරමිනි.

ලෝකයේ කොතැනක හෝ භාවිතා කළ වෛද්‍ය රසායනාගර උපකරණ ලංකාවට ගෙන්වීම එම පනතට අනුව සපුරා තහනම්ය. එහෙත් සියලු ලියකියවිලි වෙනස් කර ඔවුන් විසින් සාදන නිෂ්පාදන සහතික ඉදිරිපත් කරනු ලබන අතර ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී ගෙන්වන ලද කිසිවක් වෙනත් රටක භාවිතා කරන ලද ඒවා යයි සඳහන් නොවේ.

මේවා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය ඇමතිවරයා නොදන්නවා විය නොහැකිය. ඉහළ සිට පහළටම මේ ජාවාරමේ කොමිස් කුට්ටි යන නිසා ඒවාට විරුද්ධ වීමට මේ කිසිවෙකුට හැකියාවක් නැත. එහෙත් වඳ පෙති පෙන්වා ජනතාව මුළා කරමින් තම පැවැත්ම සකසා ගන්නා පාලකයන්ගේ දේශපාලනයට කඩේ යනවා වෙනුවට ඇත්තටම ජන ජීවිතය අනතුරේ හෙළන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව අවධානය යොමු කිරීම සහ ඊට එරෙහි වීම මෙරට බුද්ධිමත් ජනතාවගේ වගකීමකි.

චතුර දිසානායක

Top