Featured

වැඩ බැරි ටාසන්ලා ගැන ‘කණ්නාඩි කණ්ඩායම‘ ඉහළට කේලාම් කියයි

තමන් වෙත පවරා දී ඇති රාජකාරී නිසි ලෙස ඉටු නොකර, මුදල් නාස්ති කරන, රාජ්‍ය දේපල අයතා පරිහරණය කරන, කයිවාරුව හැර වෙන වැඩක් නොකරන හා අසමත් දේශපාලන හා පරිපාලන ප්‍රධානීන් පිළිබදව අප මින් පෙර අණාවරණය කළ “කණ්නාඩි කණ්ඩායම” නම් බුද්ධි නිළධාරී කණ්ඩායමක් ජනාධිපතිවරයා වෙත දිගින් දිගටම වාර්තා කරමින් සිටින බව දැනගන්නට ලැබී තිබේ.

රාජ්‍ය යාන්ත්‍රණය විදිමත්ව පවත්වාගෙන යාම හා අසමතුන් පිළිබද සොයා බැලීම වෙනුවෙන් රටේ ඉහළම තැනක ධූතයින් ලෙස පත් කර ඇති මෙම කණ්නාඩි කණ්ඩායම විසින් මේ වන විට කැබිනට්, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු පමණ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයාගේ පසුගිය දින වල ආක්‍රමණශීලී හා චෝදනාමුඛ හැසිරීම් වලට මෙම වාර්තා හේතු වී ඇතැයි ද වාර්තා වේ. ජනතාව වෙනුවෙන් සේවය නොකරමින් මුදල් වියදම් කරන මාධ්‍ය සංදර්ශන හා කැම්පේන් මගින් ජනාධිපතිවරයා ඇන්දවීමට උත්සාහ ගන්නා අය ද බිස්නස් ගොඩ දමා ගැනීමට දේශපාලනය කරන අය ද මෙම පිරිසේ ප්‍රධාන ඉලක්කයක් වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ජනාධිපතිවරයා ගන්නා උත්සාහයන් අඩපණ කිරීමට බොහෝ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කැපවීමෙන් කටයුතු කරමින් සිටින පසුබිමක් තුළ එවැනි කරුණු සම්බන්ධයෙන් ද සොයා බැලීම මෙම කණ්නාඩි කණ්ඩායම වෙත පැවරී ඇති වගකීම් අතර වන බව සදහන් වේ.

විපක්ෂය විසින් අයවැය විවාද අතරතුර මතුකළ ඇතැම් කරුණු අමාත්‍යවරුන් විසින් තමන් වෙත වාර්තා නොකිරීම හා සගවාගෙන සිටීම හේතුවෙන් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල සිදුවන අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමන්ගේ අවධානය යොමුව තිබේ. ඇතැම් තැන්වල අනවශ්‍ය හා නුසුදුසු පුද්ගලයින් බදවා ගෙන තිබීම මෙන්ම ඇතැම් ප්‍රධානීන්ගේ හිතුවක්කාර තීරණ අනුව ඇතැම් තැන් පුරප්පාඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබේ. ඔවුන්ට විරුද්ධ චෝදනාව නම් “ආණ්ඩුව මාස දහඅටක් ගිහිං කාඩර් එක පිළිවලක් කරලා නැති අයත් ඉන්නවා. වැඩ ගැන කතා කරලා වැඩක් නෑ. සැලසුම් යෝජනා බලාපොරොත්තු විතරයි. වැඩ නෑ.” යන්නයි.

සමාජ ජාලා තුළ සක්‍රීය වෙමින් සිටින කණ්නාඩි කණ්ඩායම වත්මන් ආණ්ඩුවේ ජනප්‍රියතාව සම්බන්ධයෙන් සමීක්ෂණ ගණයේ වැඩසටහන් වලද නිරත වෙමින් සිටින පිරිසක් බව ද වාර්තා වේ. බොහෝ සථානවලට තාවකාලික නවාතැන්කරුවන් ලෙස පැමිණ සිටින මෙම පිරිස කවුරුන්දැයි හදුනාගැනීමට- අපගේ මීට පෙර වාර්තාවත් සමග ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් මහත් වෙහෙසක නිරත වෙමින් සිටින බව ද වාර්තා වේ. මොවුන් බොහෝමයක් පොදු අපේක්ෂකයාට සහාය දැක්වූ පිරිස් වන අතර ඔවුන්ගේ අත්දැකීම් හා හැකියාවන් අනුව මෙම රාජකාරී භාර දී ඇතැයි එම ආරංචිවල සදහන් වේ.

ඔත්තුකරුවකු විසිනී

Top