රාජකාරියට කලක් කීවේ දෙවියන්ගේ කාරිය කියාය. එහිදී ඔබ මෙන්ම අපගෙන්ද ඉටුවිය යුතු කොටසක් ඇත. අප කීවේ පත්‍රකලාවේදීන්ය. මේ දෙපිරිසේම විවේචන අවසානයේ මහජනයාගේ යහපත වෙනුවෙනි. හැම රජයක්ම බලයට පත්වන්නට පෙර මාධ්‍ය නිදහස ගැන ලොකුවට කථා කලද බලයට පත්වු විගස එයට එරෙහිව කඩුව අතට ගනී. මෙය වසර 1970 බලයට පත්වූ සමඟි පෙරමුණේ සිට අද දක්වා සෑම ආණ්ඩුවකටම වලංගුය. මේ සියළු අටුවා ටීකා කීවේ ප්‍රධාන ධාරාවේ ඉරිදා පුවත්පත්වලට විකල්පයක් ලෙස බිහිවූ විකල්ප ඉරිදා පුවත්පත්වල අද අත්වෙමින් පවතින ශෝකාන්තය කියා පෑමටය.
මෑත කාලයේ අලුතින්ම ප්‍රකාශයට පත්වූ ‘මුල්පිටුව’ පුවත්පතට පලකිරීමට හැකිවූයේ කලාප 4කි. එය 2016 අප්‍රේල් 10වැනිදායින් පසු වසාදමා ඇත. හිමිකරු බාහිර සමාජයෙන් ‘නෛතිකව හුදකලාකර’ දැන් සති තුනකි. මුල්පිටුව ආරම්භ කළේම ජේෂ්ඨ මාධ්‍යවේදි බන්දුල පද්මකුමාරගේ මුල්පිටුව වෙළෙඳ නාමය ඩැහැගෙනය. මුල්පිටුව පුවත්පතේ කතුවරයා වූයේ රෝහණ වෙත්තසිංහය. ප්‍රධාන උපකර්තෘ චන්න දොලපීහිල්ලය. රන්දිව, සියත, ජවය(වීරකේෂරි සිංහල පුවත්පත) දැනටමත් වැසීගොස් ඇති පුවත්පත් අතරින් කිහිපයකි. තවත් විකල්ප ඉරිදා පුවත්පත් කිහිපයක් පවත්වාගෙන යන්නේ අතුරේ යන්නාක් මෙනි. මේවා වැසී යාමට ප්‍රධාන හේතුවක් වන්නේ පුවත්පත් කතුවරයෙකු හොද පරිපාලකයෙකුද විය යුතුයි යන සිද්ධාන්තය බැහැර කිරීමය. අනෙක තමාව හිස් මුදුනින් පිලිගන්නා ‘වැඩකාරයන්’ නොවන මාධ්‍යවේදීන් බහුතරයක්ම ඒවාට එක්කර ගැනීමට කතුවරුන්ගේ ක්‍රියා පටිපාටිය වේ. එසේම ඒවායේ ලේඛකයින් සමාජශෝධකයෙකු සහ උද්ඝෝෂකයෙකු ලෙසද අගතියට සහ දූෂණයට එරෙහිව සටන්වදින සෙබලෙකු සේ ක්‍රියා නොකිරීමය. බොහෝ විට ඇතැම් තරුණ මාධ්‍යවේදීන් පවා බස්රථයෙන් දුරබැහැර ගොස් ප්‍රවෘත්ති වටිනාකමක් ඇති විශේෂාංග ලිපියක් සකස්කිරීමට මැලිකමක් දක්වයි. අනෙක් කරුණ විකල්ප මාධ්‍ය ධාරාව පිළිබඳව පාඨකයින්ගේ විශ්වාසය අසීමිත ලෙස බිඳ වැටෙමින් තිබීමය. විකල්ප පුවත්පතක් පවත්වාගෙන යෑමට මෙම කරුණු කාරනාද අතිශය තීරණාත්මක ලෙස බලපානු ලබයි. උපන් නැකත හොද උනාට පමණක් මදිය.
මින් වඩාත් කනගාටුදායක පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නිල නොවන පුවත්පතවූ ජනරළද දැන් කළෙක සිට වැසීයාමය. එහි කතුවරයාවූ චන්දන සිරිමල්වත්ත නම් ‘උනන්දුවෙකි’. හොඳ සමාජ ක්‍රියාකාරිකයෙකි. ජනරළ වැසීයාමට හේතුව සාමාන්‍ය පාඨකයින් අතර එය අළෙවි නොවීමය. එයට ප්‍රධාන හේතුව වූයේ නව ලිබරල්වාදය වැනි මොස්තර ලිපි ජනරළ තුළ වැඩි වැඩියෙන් එබ්බවීමය. ඒ හේතුවෙන් මුලදී ජනරළ තුළ ජනප්‍රියවූ රාමචන්ද්‍ර කොලම, ඇරීනාව වැනි තීරු ලිපිද කාලීන ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති ජනතාවගේ සැබෑ ප්‍රශ්න කථා කරන ලිපිද ලලිත් – කූගන් මෙන් අතුරුදහන් වීමය. සටන් කරන අකුරු යළි විකසිත වනවිට මේවා ගැන පසු විපරමක් සිදුකල යුතුය.
අර වාදය, මේ වාදය, ධනවාදය, සමාජවාදය, ත්‍රස්තවාදය, යහපාලනය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ඉරිදා විකල්ප පුවත්පත් පාඨකයින්ට ශේෂ්පියර්ගේ හැම්ලට් කීවාක් මෙන් වචන, වචන, තවත් වචන බවට පත්වූවාදැයි සැකයකි. කවර දේශපාලන මිනුම් දඬුවලින් මෙම පුවත්පත් මනිනු ලැබුවද 80 දශකයේ අවසානයේ සහ 90 දශකයේ මුල් භාගයේ ඉරිදා විකල්ප පුවත්පත් සහ මාසික සඟරා මගින් රටේත් ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් රඟපෑ භූමිකාව කිසිවෙකු කිසිසේත් අවතක්සේරු කලයුතු නැත. ජනසංනිවේදන විෂය හදාරන විද්‍යාර්ථීන්ට ඉරිදා විකල්ප පුවත්පත්වලට අත්වූ සහ අත්වන ඉරණම සිය ඉදිරි පර්යේෂණ සඳහා නැවුම් පැතිකඩක් විවර කරනු ඇත.
(ධර්මන් වික්‍රමරත්න විසිනි)