Political

විගණක කියන්නේ මුර බල්ලෙක් මිසක් දඩ බල්ලෙක් නෙවෙයි…. ඇලෝසියස්ගේ පවුල,කබ්රාල්ගේ පවුල රටේ ජනතාවගේ මුදල් හොරා කැවා…. මුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ…. වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට….

Published on: Feb 6, 2020 –විශේෂ අධිකරණයක් මගින් වෝහාරික විගණන වාර්තාව ගැන අධිකරණ ක‍්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසත් එතෙක් අජිත් නිවාඞ් කබ්රාල්ගේ ඇතුලු වෝහාරික විගණන වාර්තාවේ  නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට ගතයුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. කොළඹ පැවැති බැඳුම්කර කොල්ලයේ තිත්ත ඇත්ත සම්මන්ත‍්‍රණයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

සුදුකරපටි අපරාධකාරයින් බේරගන්න පක්ෂ දෙකම සුදානම්….

අපි මේ කතා කරන්නේ සීසීටීවී කැමරාවකින් බලාගන්න පුළුවන් මංකොල්ලයක් ගැන නෙවෙයි. මේක සහමුලින්ම දැනුම පාවිච්චි කරලා කරන මංකොල්ලයක්. සුදුකරපටි අපරාධයක්. සාමාන්‍ය හොරු වගේ මේ හොරු අදුරගන්න බැහැ. මේ අය අදින්නේ ටයිකෝට්. ඉංග‍්‍රීසියෙන් කතා කරන, ලොකු ඉස්කෝලවලට ගිය, ලොකු පවුල් පසුබිමක් තියෙන, පිටරට ගිහින් උපාධි ගත්ත, දැනටත් රජයේ ඉහළ ආයතනවල සභාපති ධුරවල, අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්න අය තමයි මේ සුදුකරපටි අපරාධවලට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ අයට පක්ෂ නැහැ. ගමේ ඡන්ද දායකයින් වගේ බෙදිලා නැහැ. මේ අය ශ‍්‍රී ලංකා යූඑන්පී හැම පක්ෂයකම ඉන්නවා; ජවිපෙ හැර. මේක තමයි තිත්ත ඇත්ත. එක පාටියේ, කොක්ටේල් එකේ, වෙඩින් එකේ, එක පක්ෂයේ ඉන්නවා. ඒ නිසා මේ සුදුකරපටි අපරාධකාරයින් බේරගන්න මේ පක්ෂ දෙකම පෙනී ඉන්නවා. ඒ නිසා අපිටත් මාධ්‍යවේදීන්ටත් වගකීමක් තියෙනවා දැනුම් පාවිච්චි කරලා කරන මේ අපරාධ එළියට ගන්න. ඒ නිසා බැඳුම්කරයේ තිත්ත ඇත්ත කතා කරන්න වෙනවා.

විගණක කියන්නේ මුර බල්ලෙක් මිසක් දඩ බල්ලෙක් නෙවෙයි.

වෝහාරික විගණන වාර්තා 05 එළියට ආවට පස්සේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් හොඳටම කලබල වෙලා. ඒ වගේම අර්ජුන් මහෙන්ද්‍රන් කලබල වෙලා. මීට කලින්ම හිටපු අධිපති සුනිල් මෙන්ඩිස් මහත්තයා කලබල වෙලා නැහැ. තවත් අධිපතිවරු ඉන්නවා. මේ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් අජිත කබ්රාල් කියනවා මේ විගණන වාර්තා හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියලා. අපිට පේන්නේ පුහුල් හොරා කරෙන් දැනෙයි කියලා. කබ්රාල් කර පිහින හැටි අපිට පේනවා. හොරා අනෙක් අයට කියනවා හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. ඒ නිසා මේ හොරු හෙළිදරව් කිරීමේ වගකීම අපිට තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලඥයින් මේ වාර්තා 05ටම ගැහුවොත් අර්ජුන මහෙන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් වාර්තාවත් ඔවුන් ආරක්ෂා කළා වෙනවා. මේකේ එක වාර්තාවක තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහගේ කලේ බැදුම්කර වංචාව ගැන. එතකොට වෙන්නේ ළමයයි බේසමයි දෙකම කුණු කූඩෙට දැම්මා වගේ වැඩක්. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු මේ විගණන වාර්තා ගැන දන්නේ නැහැ. වාර්තාවලට ගහපල්ලා කිව්වම ගහනවා. ඒ ගහන හැම වචනයකින්ම රටට පේනවා මේ ආණ්ඩුවේ අයත් එජාපයේ ෆුට් නෝට් කල්ලිය වගේමයි කියලා. එදා අජිත් පෙරේරලා, සුජීව සේනසිංහලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න ෆුට් නෝට් දැම්මා. අද රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු ඒ ෆුට්නෝට් කල්ලියට එකතුවෙලා. පාඩු වගේම ලාබත් තියෙනවා ඇයි ලාබ ගැන කතා නොකරන්නේ කියලා අපෙන් අහනවා. ආයතනයක් ලාබ ලබන්න තමයි ව්‍යාපාර කරන්නේ. වැඩිම ලාබ ලබන අයට තෑගි පවා දෙනවා. ඒක ආයතනයේ වගකීම. නමුත් විගණනයෙන් කරන්නේ පාඩුවට හේතු හොයන එකයි. විගණක කියන්නේ මුර බල්ලෙක් මිසක් දඩ බල්ලෙක් නෙවෙයි. වැරදි හා වංචාවලින් තොරව මූල්‍ය කටයුතු කරලා තියෙනවාද කියලා පරීක්ෂණ කිරීම තමයි විගණකගේ රාජකාරිය.

වෝහාරික විගණනය කරලා තියෙන්නේ ලෝකය පිළිගත් සමාගම් දෙකක්

විගණන වර්ග කිහිපයක් තියෙනවා. මූල්‍ය විගණනය, කාර්යසාධන විගණනය, අනුකූලතා විගණනය මේ හැම දේම එකතුවක් තමයි විගණනය කියන්නේ. එවැනි එක් විගණනයක් තමයි වෝහාරික විගණනය. හරියට වෝහාරික මරණ පරීක්ෂණය වගේ. සාමාන්‍ය මරණ පරීක්ෂණයක් නෙවෙයි. අධිකරණ කි‍්‍රයාවලියක් සඳහා තමයි වෝහාරික විගණනයක් කරන්නේ. මෙහි අරමුණ අධිකරණයට යොමු කිරීම. ඒක කළේ මහබැංකුවේ කාමරයකද? ඒක කරනකොට මහබැංකුවෙන් තේ බිව්වද? කෑම කෑවද කියලා හොයන එක ලාභ දෙයක්. මහ බැංකුවේ මහමොළකරුගේ කාලයේමයි මේ විගණනය කරලා තියෙන්නේ, මහ බැංකුවේ බිල්ඩිමේමයි කරලා තියෙන්නේ වගේ සරල තර්ක ඉදිරිපත් කරනවා. හොරකම වහන්න දැනුම පාවිච්චි කරනවා. විගණන කරන්න පුළුවන්ද මහපාරේ ඉඳගෙන. ආයතනයක විගණනයක් කරනකොට ඒ ආයතනයේ ඉන්න වෙනවා. ඒ ආයතනයේ සියලූ තොරතරු ලබාගන්න වෙනවා. ආයතනයෙන් දෙන තේ එක බොන්න වෙනවා. විගණකගේ කාර්යභාරය බලන්න පුළුවන් වාර්තාවේ කරුණු අනුව. මේ වෝහාරික විගණනය කරලා තියෙන්නේ ලෝකය පිළිගත් සමාගම් දෙකක්. ඒ සමාගම්වල ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය වෙනවා මේ වාර්තාවලින්. සත්‍ය හා සාධාරණ මතය නිවැරදි විශ්ලේෂණය වැදගත්. සමාගමේ කීර්තිනාමයට හානි කරගන්නේ නැහැ.

මේ ගණන් හදලා තියෙන්නේ අතරමැදියන් විසින් මංකොල්ල කාපු ප‍්‍රමාණය.

බැඳුම්කරවල ලාබ පාඩු හොයන්නේ කොහොමද. බැදුම්කර කියන්නේ රජය ණය ගන්න පහසු ක‍්‍රමයක්. ණය ගන්න ක‍්‍රම කිහිපයක් තියෙනවා. ඒ ණය ගන්න ක‍්‍රමවලින් සුදුසුම ක‍්‍රමයට ණය ගන්න මහ බැංකුව කි‍්‍රයාකළ යුතු වෙනවා. මහබැංකුවේ මුදල් මණ්ඩලය, ටෙන්ඩර් මණ්ඩලය, ආයෝජන කමිටුව සහ අධිපතිගේ වගකීම තමයි රජයට අවම අවාසිය සිදුවෙන ක‍්‍රමය හොයාගන්න එක. තැරැුව්කරුවන් ඉදිරිපත් කරන ලන්සුවම ගන්න ඕන නැහැ. රජයට වාසි ලන්සුව තමයි ගත යුත්තේ. අර්ථ සාධක අරමුදල මහබැංකුවෙන් බැදුම්කර මිලදී ගන්නවනම් නිර්ණායකය තමයි අවම අවාසිය සිදුවෙන ක‍්‍රමය තෝරාගැනීම. මේ බැඳුම්කර කොල්ලයේදී සිදුවෙලා තියෙන්නේ රජයට උපරිම අවාසිය වෙන ආකාරය තමයි තෝරාගෙන තියෙන්නේ. ගැටලූව මතුවෙන්නේ ඒ නිසා. බැඳුම්කර ගැන විගණන පරීක්ෂණයක් කරනකොට හොයන්නේ ඒ අවම අවාසිය වෙන විදියට අරගෙන තියෙන්නේ කියලා. ලෝකයේ මොන විගණන සමාගමක් කළත්, අපේ කෝප් කමිටුව පරීක්ෂණ කළත් ඒක තමයි හොයන්නේ. බැඳුම්කර මංකොල්ලයේදී සිදුවුනේ අර්ථ සාධක අරමුදල සෘජුව මහ බැංකුවෙන් බැඳුම්කර ගත්තේ නැතුව අතරමැදියන් හරහා බැඳුම්කර මිලදීගැනීම. කොමිස් කාක්කෝ ඉන්නවා. ඥාතීන් ඉන්නවා. අර්ථසාධක අරමුදලෙන් බැඳුම්කර මිලදී ගන්නකොට මේ කොමිස් කාක්කෝ අතරමැදියන් ලෙස අමතර ගානක් හම්බකරගත්තා. ඒ අය වහන්න හදන්නේ ඒක. අපි හෙළිකරන්න හදන්නෙත් ඒක. ඒ කොමිස්කාරයෝ ඥාතියෝ. මහ බැංකුවටත්, අර්ථසාධක අරමුදලටත් සිදුවූ පාඩුව ලාබයක් ලෙස උපයාගත් තැරැුව්කරුවන් පිරිසක් ඉන්නවා. මේ ගණන් හදලා තියෙන්නේ අතරමැදියන් විසින් මංකොල්ල කාපු ප‍්‍රමාණය. එනිසා සාමාන්‍ය විදියට මේවා ගණන් හදන්න එපා.

අර්ථ සාධකයට කෙලවපු කෙලවිල්ල 

අර්ථ සාධක අරමුදල කියන්නේ ස්වාධීන අරමුදලක්. ඒක අයිති අපේ රටේ වැඩකරන ජනතාවට. මහ බැංකුව කියන්නේ අර්ථ සාධක අරමුදලේ අයිතිකාරයා නෙවෙයි. භාරකාරයා විතරයි. මහබැංකුවට ඕන විදියට අර්ථසාධක අරමුදල ආයෝජනය කරන්න බැහැ. ඇත්තම අයිතිකරු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා. මහ බැංකුව කළ යුත්තේ සාමාජිකයාට ප‍්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කිරීමයි. නමුත් 2013.06.04 වෙනිදා අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුව කළමනාකරණ කමිටුවට නිර්දේශයක් එවනවා අජිත් නිවාඞ් කබ්රාල් නිර්දේශ කළා කියලා 2013.06.05 වෙනිදා ඉඳලා අර්ථසාධක අරමුදල ප‍්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස නොව ද්විතීයික ගැණුම්කරුවෙකු ලෙස වැඩිපුර මුදල් ආයෝජනය කළ යුතු බවට. පළමු අවස්ථාවේ බැදුම්කර මිලදී ගන්නවා වෙනුවට තැරැුව්කරුවන්ගෙන් මිලදී ගන්න කටයුතු කළ යුතුයි කියලා. එහෙමයි හොරාට වැඬේ භාරදෙන්නේ. පළවෙනි අවස්ථාවේ ගනුදෙනු කිරීමයි අර්ථසාධක අරමුදලට වැඩි ලාබයක් ලැබෙන්නේ. 2008 ඔක් 07වෙනිදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණයක් අරගෙන තිබුණා ද්විතීයික වෙළදපොලේ පොලී අනුපාතයට වඩා 0.05%ක් අර්ථසාධක අරමුදලට වැඩි පොලියක් ලබාදිය යුතුයි ප‍්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කරන වෙලාවේ කියලා. වාසිය අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට වැඩි ප‍්‍රතිලාභයක් ලැබීම. ඒ තීරණය උල්ලංඝනය කරනවා අජිත් නිවාඞ් කබ්රාල්. ප‍්‍රාථමික වෙළඳපොල වෙනුවට ද්විතීයික වෙළඳපොලේ වැඩිපුර මුදල් ආයෝජනය කරන්න කියලා අර්ථසාධක අරමුදලට නිර්දේශ කරනවා. මේ සියල්ල සාක්ෂි ඇතුව තියෙනවා. විෂයගත කරුණු. එම නිර්දේශයෙන් පසුව 2013 සැප්තැම්බර් මාසයේ තමයි පළවෙනි වතාවට ප‍්‍රාථමික ගනුදෙනු කරුවෙකු ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් බැඳුම්කර වෙළඳපොලට එන්නේ. ඒ අර්ථසාධක අරමුදල ප‍්‍රාථමික වෙළඳපොලන් ඉවත් කළාට පසුව. ඉන්පසුව අර්ථසාධක අරමුදලට සිදුවුනා පර්පචුවල් ආයතනයෙන් ද්විතියිකව බැඳුම්කර මිලදීගන්න.

ඇලෝසියස්ගේ පවුල,කබ්රාල්ගේ පවුල 

මේ වාර්තාවේ සඳහන් වෙනවා 2014 ජූනි මාසයේ සිදුවුන ගනුදෙනුවක් නිසා, එනම් අර්ථසාධක අරමුදල ද්විතියිකව පර්පචුවල් ආයතනයෙන් බැඳුම්කර මිලදී ගත් නිසා මිලියන 97ක් පාඩු වුනා කියලා. ඒ පාඩුව සිදු වුනේ අජිත් නිවාඞ් කබ්රාල්ගේ තීරණය නිසා. මේ විදියට 2005 සිට 2015 දක්වා අර්ථසාධක අරමුදලට සිදුවෙලා තිබෙන පාඩුව ප‍්‍රාථමික වෙළඳපොලේදී මිලියන 9071ක්. ද්විතියික වෙළඳපොලේදී මිලියන 751ක පාඩුවක් සිදුවී තිබෙනවා. මේවා තමයි තිත්ත ඇත්ත. මේ කාලයේ තමයි අධිපතිගේ නංගී (අජිත් කබ්රාල්ගේ) ශිරෝමී නොයෙල් වික‍්‍රමසිංහ පර්පචුවල් ආයතනයේ අධ්‍යක්ෂකවරියක් ලෙස සේවය කරන්නේ. ඒක විගණන වාර්තාවේ තියෙනවා. ඒ කාලෙම අර්ජුන ඇලෝසියස් ඉන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනෙනවා කියලා. දැන් අපිට කියන්න මේ වාර්තාව කොහොම හැදුවත් අජිත් නිවාඞ්ගේ නංගී ශිරෝමී වික‍්‍රමසිංහ නෙවෙයිද? තව තව ඥාති ඉන්නවා. එක පැත්තකින් අජිත් කබ්රාල්ගේ පවුල ඉන්නවා. අනෙක් පැත්තෙන් අර්ජුන් ඇලෝසියස්ගේ පවුල ඉන්නවා. මේවා බොරු කියන්නේ කොහොමද? ඥාතීත්වය බැඳිම් ගැන මේ වාර්තාවේ කියනවා. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන මහත්තයත් ජනාධිපති කොමිසමේදී මේ ඥාතීත්වයන්ගේ බැදීම් ගැන කියලා තියෙනවා. නංගිලා, මස්සිනාලා ස්ථානගත වෙන්නේ නිකන් නෙවෙයි. අපේ රටේ මුල්‍ය වෙළඳපොළ පවුල් බලයෙන් අල්ලගෙන ඉන්නේ. ඒ අයට පුළුවන් කොටස් වෙළඳපොලේ, බැඳුම්කර වෙළඳපොලේ පොලී අනුපාත එහෙ මෙහෙ කරන්න. මේ ඔක්කොම හොරු දැන් රකිනවා. හොරු ටික හැංගිලා ඉඳගෙන කියනවා දේශපාලකයෝ අපිව රකිනවනේ කියලා. යුක්ති සහගත සමාජයක් නම් අපි මේ සුදුකරපටි අපරාධකාරයෝ සියල්ලට අධිකරණය හමුවට ගෙනත් දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕනෑ.

දැන් බැඳුම්කර ගනුදෙනු වන්නේ ඔටෝමේටඞ් ක‍්‍රමයට

2015 පෙබරවාරි 27 බැඳුම්කර ගනුදෙනුව සිදු වුනාට පස්සේ අපි මාර්තු මාසයේ මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වුවා. පක්ෂය වෙනුවෙන් මම මාධ්‍ය හමුවේදී කිව්වා මේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන්ගේ සේවය අත්හිටුවලා පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. 2015 පෙබරවාරි 27 බැඳුම්කර හොරකම සිදුවෙලා දින තුනක් යනකොට අපේ පක්ෂයේ සහෝදරයෙක් අපිට මේ තොරතුරු ලබාදුන්නා. ඒ නිසා තමයි අපිට මේ වංචාව රටට හෙළිදරව් කරන්න පුළුවන් වුනේ. ඒ සහෝදරයා අද මේ සම්මන්ත‍්‍රණයේ ඉන්නවා. එදා සිට පටන් ගත්ත අරගලය තමයි මේ වෝහාරික විගණනයක් දක්වා ඉදිරියට ගිහින් දැන් හැමදෙනාගේම රෙදි ගැලවෙන්නේ. දැන් බැඳුම්කර ගනුදෙනු ඔටෝමේටඞ් ක‍්‍රමයට සිදුවෙනවා. වංචා කරන්න බැරි තත්වයට අද මහබැංකුව ක‍්‍රම හදලා තියෙනවා. ඒවා සිදු වුනේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මේ තොරතුරු රටට කියපු නිසා. ඒක තමයි ඇත්ත. මේ රටේ හැමදේම අගය නොකරන මිනිස්සුන්ට අගයක් නැහැ. සුනාමියේදී අපි වැඩ කළා. ඒක අගය කළේ නැහැ. සුනාමි සහන මණ්ඩලය අහෝසි කරන්න අපි මැදිහත් වුනා. ඒක අගය කළේ නැහැ. උතුරු නැගෙනහිර වෙන් කරන්න අධිකරණයට ගියා. ඒක අගය කළේ නැහැ. අපේ රටේ පොලී අනුපාත මේ විදියට තියෙන්නේ, අර්ථසාධක අරමුදල බේරිලා තියෙන්නේ මේ හෙළිදරව් නිසා. අපේ කැපකිරීම අනාගත සමාජයට දායකත්වයක් සපයයි.

තිත්ත ඇත්ත

මෝඩ තකතීරු දේශපාලකයින්ගේ තීරණ, නිලධාරීන්ගේ, ඥාතීන්ගේ හොරකම් නිසා රටට සිදුවුණු පාඩුවක් තියෙනවා. ඒක රටට කියන්න ඕනෑ. 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අජිත් නිවාඞ්ගේ අධිපතිත්වය යටතේ බැඳුම්කර නිකුත් කිරීමේදී ප‍්‍රාථමික වෙළඳපොලේදී සිදුවූ පාඩුව කෝටි 1047යි. ඒ කාලය තුළම වෙන්දේසි ක‍්‍රමය තුළ නිසා පාඩුව උපරිම මිලියන 10622යි. වෙන්දේසි ක‍්‍රමයට පමණක් මිලියන 151යි. 2015 පෙබ 01 සිට 2016 දෙසැ 31 දක්වා දක්වා රනිල් වික‍්‍රමසිංහ කාලය තුළ අර්ජුන් මහෙන්ද්‍රන් ගෙනාවා. ඔහු විදේශිකයෙක්. රනිල් මුදල් අමාත්‍යංශය යටතේ තිබුණ මහබැංකුව තමන් යටතට ගත්තා. වෙන්දේසියට සෘජුව හවුල් වුනා. මේ සියල්ල තියෙනවා. බෑනා ගනුදෙනුවල ඉන්න බව දැනගෙන මාමා අධිපතිකමට දැම්මා. ඒ කාලය තුළ පාඩුව මිලියන 9681යි. ඒ පාඩුව ඇතුලේ තමයි 2015 පෙබ 27 සිදුවුණු ගනුදෙනුවත් තියෙන්නේ. ඒ ගනුදෙනුව සිදුවෙන වෙලාවේ විතරක් පාඩුව මිලියන 689යි. ඒකෙන් තමයි අහු වුනේ. ඒක ද්විතියික වෙළඳපොලේ ගනුදෙනුව අවුරුදු 30කට සිදුවෙන කොට පාඩුව කොයිතරම්ද කියලා ගණනය කරන්න ඕනෑ. සල්ලි අතේ නැතුව මේ අය බැඳුම්කරවලින් හොරකම් කළා. ඒ සියල්ල මේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම 2015 සිට 2016 දක්වා අර්ථසාධක අරමුදලට සිදුවුණු පාඩුව මේ වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදලා නැහැ. ඒ පාඩුවත් එලියට ගන්න ඕනෑ. කබ්රාල්ලා කෑ ගහන්න ඕනෑ ඒවට. තමන්ගේ අළු පිහදාගන්න නෙවෙයි. මේවා තමයි තිත්ත ඇත්ත.

නිධානය හාරලා තියෙන්නේ දෙගොල්ලම එකතු වෙලා.

මේ අය සමූහ ලෙස හොරකම් කරලා තියෙන්නේ. මේ ඔක්කොම හොරු. ඒ නිසා මුල ඉඳලා අගට හෝ අග ඉඳලා මුලට හොයන්න ඕනෑ. කොහෙන් පටන් ගත්තත් අපිට කමක් නෑ. අපිට කොයි හොරත් එකයි. මුලින් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් පටන් ගත්තත් මුලට යන්න වෙනවා. මොකද අර්ජුන ඇලෝසියස්ගේ සමාගම ලියාපදිංචි කරනකොට අධිපති හිටියේ අජිත් නිවාඞ් කබ්රාල්. කබ්රාල්ගේ නංගී අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක්. මේ දෙගොල්ල එකට මංකොල්ල කාලා තියෙන්නේ. නිධානය හාරලා තියෙන්නේ දෙගොල්ලම එකතු වෙලා.

වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට

අපේ රටේ අධිකරණය ස්වාධීන නම් කරන්න ඕනෑ නීතිපති නියෝගයක් ගන්න අජිත් නිවාඞ් කබ්රාල්ගේ පාස්පෝට් එක අධිකරණයට භාරදෙන්න කියලා. මේ වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට ගන්න ඕනෑ. මේ නඩුව අහන්න පටන් ගන්න. පාර්ලිමේන්තු විවාදයෙන් දෙපැත්තම හොරා කියාගනී. සමහරු රට පනී. සතොසට හාල් ගෙනාවා. ගෙනාවේ ජොන්ස්ටන්. ඒවා සත්ව ආහාර කියලා රිෂාඞ් බදුර්දීන් විකුණලා දැම්මා. හවුලේ කළේ. එයාර් බස් මිලදී ගත්ත එකටත් දෙගොල්ල හවුල්. ගිවිසුම අත්සන් කරනකොට හොරකම් කළා. අහෝසි කරනකොටත් හොරකම් කළා. බැඳුම්කරෙත් එහෙමයි. මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා කියලා කෑ ගහපු එක්කෙනක්වත් දැන් සද්ද නෑ. සමහර මාධ්‍ය ආයතනත් කොරෝනා උස්සගෙන යනවා.

මහජනතාවට සිදුවුණු පාඩුව අයකරගන්න තුරුම අපි මේ අරගලය ගෙනියනවා.

නඩුව අහන්න පටන් ගන්න. විත්තිකාරයා ගේන්න බැරිනම් විත්තිකාරයා නැතුව නඩු අහන්න. කතානායකතුමාට මුදල් ඇමතිට ජනාධිපතිට නියෝග කරන්න පුළුවන් වෝහාරික වාර්තාව අනුව අධිකරණ කි‍්‍රයාමාර්ග ආරම්භ කරන්න කියලා. වෙනම විශේෂ අධිකරණයක් ආරම්භ කරන්න ඕනෑ. අන්න එදාට විගණකවරු වැරදි නම් ඒවත් හොයාගන්න පුළුවන්. ඔවුන් අධිකරණයට කැඳවන්න පුළුවන්. සීඅයිඞී වාර්තා පවා වෝහාරික වාර්තාවේ තියෙනවා. කෝප් වාර්තා, ජනාධිපති විමර්ශන වාර්තා, විගණන වාර්තා සියල්ල පදනම් කරගෙන තමයි වෝහාරික වාර්තාවට යොදාගෙන තියෙනවා. විපක්ෂයේ ඉඳලා බලයට එන්න තිබුණ වුවමනාව දැන් දඩුවම් දෙන්න වුවමනාවක් නෑ. ඒ නිසා සමාජයෙන් බලපෑමක් කළ යුතුයි මහ මැතිවරණයට කලින් නඩු අහන්න පටන් ගන්න කියලා. මහජනතාවට සිදුවුණු පාඩුව අයකරගන්න තුරුම අපි මේ අරගලය ගෙනියනවා.

වරලත් ගණකාධිකාරී, ජ්‍යෙෂඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු

රටේ මහජන ධනය කිහිපදෙනෙක් එකතුවෙලා තමුන්ගේ පුද්ගලික ප‍්‍රයෝජනයට අරගෙන නිසාවෙන් තමයි මේ ප‍්‍රශ්නයේ බැ?රුම්කම තිබෙන්නේ. මහජනතාවගේ පැත්තෙන් මේ ප‍්‍රශ්නයට මැදිහත්වීමේ යම් අඩුවක් අපි දකිනවා. සමහර වගකිය යුතු පුද්ගලයන් හා කණ්ඩායම්ද මෙම සොරකම සම්බන්ධ බවට අපට තොරතූරු ලැබී තිබෙනවා. එනිසා ඔවුන් නිහඬ වුණා.

මේ ප‍්‍රශ්නයේදී මම ජනතා විමුක්ති පෙරමුණට විශේෂ ස්තූතියක් පුද කරනවා. මොකද මේ ප‍්‍රශ්නයේදි තොරතුරු සම`ග කරුණු හෙළිකළේ ඔවුන්. මෙවැනි පොදු මහජන දේපළ කොල්ලකෑමේදී ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට සමාජයක් ලෙස අපේ සමාජය තවම ඉදිරියට ඇවිත් නෑ. මාධ්‍යවලින් පවා මෙවැනි දේවල්වලට වැඩි ඉඩකඩක් නෑ. සමහරවිට මෙවැනි සම්මන්ත‍්‍රණ හරහා ජනතාවට කරුණු කියන එකත් ඔවුන් සමච්චලයට ලක් කරනවා. ජවිපෙ මේ සියළු අභියෝග බාර ගෙන මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කිරීම අගය කළ යුතූයි.

අප ජීවත් වෙන මේ ආර්ථික වෙළ`දපොළ යාන්ත‍්‍රණය මත ක‍්‍රියාත්මක වන කිසිවක් මේ සමාජයේ විශ්වාසය මත සිද්ධ වෙන්නේ නැහැ. මේ ක‍්‍රමය ඇතුලේ පුද්ගල අභිමතාර්ථ ධනය උපරිම කරගැනීම තමයි බලකරන්නේ. අප පුද්ගලික ජීවිතයක් ගෙවන ගමන් මේ මහා සමාජයේ පොදු ජීවිතයක්ද තිබෙන බව අමතක නොකළ යුතුයි. පොදු ආයතනවල භාවිතා කරන්නේ පොදු ධනයක්. මේ පොදු ධනය එක්ක කටයුතු කරන්නේ පුද්ගලයෝ. එහිදී තම පුද්ගල ඇල්ම උඩට එන්න බොහෝවිට පුළුවන්. මේ තත්වය පාලනය කරන්න නම් හො`ද පාලන යාන්ත‍්‍රණයක් තිබිය යුතුයි. මතු පිටින් මේ ආයතන මොන නම්වලින් තිබුණත් ඇතුලෙන් කඩන් වැටිලා. එනිසා ඒ තුල සිදුවන දේවල් මේ සමාජය ලොකු බරකින් ගන්නේ නැහැ. යමක් විගණනය කරන අයට විශාල වගකීමක් තියෙනවා. රාජ්‍ය ආයතන සහ පොදු සමාගම් සියල්ලේම තිබෙන්නේ මහජනතාවගේ ධනය. මෙවැනි තැන්වලදී පුද්ගලයෝ තම පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගන්න නිසා නීතියක් ගෙනල්ලා තිබෙනවා සුදුසුකම් ලත් විගණනයකු විසින් එම ආයතනවල මූල්‍ය වාර්තා පරීක්ෂා කරලා මහජනතාවට ඒවායේ සත්‍යය සහ සාධාරණත්වය පෙනෙන්නට සැලැස්විය යුතුයි. මේ වෙළ`දපොල ආර්ථිකය ඇතුලේ තම ස්වාධීනත්වය කෙළෙසාගත් තැන් ඕන තරම් තිබෙනවා. මේ වෝහාරික විගණන වාර්තාව උසාවියට ඉද්ිරිපත් කරන්න කියලා සමාජය විසින් බලපෑම් කළ යුතුයි. වගකිය යුතු පුරවැසියන් ඉන්න රටක නම් සිදුවිය යුත්තේ එයයි.

බැ`දුම්කර ගැන මෙතෙක් කල් රටේ සාමාන්‍ය ජනතාවට අවබෝධයක් තිබුණේ නෑ. නමුත් මේ සිද්ධියත් සම`ග දැන් දැන් යම් පමණකට දැනුවත් වෙලා තිබෙනවා. ඒක හො`ද දෙයක්. මහ බැංකුව ණය ගන්නා විට රටේ ආර්ථිකයට හානිකර වන අන්දමින් එය ඉටු කිරීම නොවෙයි මහ බැංකුවේ වගකීම. අද රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් කැ`දවීමේදීත් ඉහත බලධාරීන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරය යටතේ තමයි එය සිදුවන්නේ. ඒ නිසා සිදුවන මගඩි අතිවිශාලයි. දැන් සමහරු තර්ක කරනවා 2015ට කලින් බැ`දුම්කර නිසා ඇතිවුණේ පාඩුවක්ය 2015ට පසු එහි ඇතිවූයේ වංචාවක්ය කියලා. වංචාවත් පාඩුවක් තමයි. මොකද වංචා කරන්න ගිහිල්ල තමයි පාඩු වෙලා තිබෙන්නේ. මේ බැ`දුම්කර ගණුදෙනු කරලා තිබෙන්නේ සද්භාවයෙන් නොවෙයි. පෞද්ගලික ලබැ`දියාවන් එක්ක. ඒ නිසා වංචාවකට යන්න තිබෙන ඉඩකඩ වැඩියි. අපි කියන්නේ මේක අධිකරණයට ගේන්න. මේ මහා කොල්ලය වගකිය යුතු සියළු දෙනාටම නිසි පරිදි නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා.

Top