Published on: May 27, 2018- විස්ස ගෙනැත් තිබෙන්නේ කුමකට ද? ජ වි පෙ තමයි එය කතානායකට බාර දීල තියෙන්නෙ. ඒකෙ පිටිපස්සෙ එ ජා ප ඉන්නවා. සම්ම ජාතියෙ ඡන්දයකින් ජනාධිපතිවරණයක් දිනන්න බැරි රනිල් අඩුම තරමෙන් ජනාධිපති පාර්ලිමේන්තුවෙන් පත්කරන එකට පක්‍ෂයි. මෙරට උඩ දේශපාලනය කෙරෙන්නෙ ප්‍රධාන වශයෙන් ම පෞද්ගලිකත්වය පදනම් කරගෙන. ජේ ආර් විධායක ජනාධිපති ක්‍රමය පිහිටෙව්වෙත් ඔහුගෙ පෞද්ගලික සුභ සිද්ධියට. අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යන්නෙත් පෞද්ගලික කරුණු නිසා මිසක් රට ගැන කල්පනා කරලා නො වෙයි.
අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදන්නෙ එයින් දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීල පළාත් සභාවලට තවත් බලතල දීමට ය යන්න බොහෝ දේශපාලන පක්‍ෂවලට ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හදන්නෙ රටට හෙන ගැහුවත් කමක් නැහැ අපට ජනාධිපති වෙන්න බැරි නම් එය තියෙන එකෙන් වැඩක් නැහැ කියන තේරුමෙන්. තම අදහස යුක්ති යුක්ත කිරීම සඳහා ඔවුන් විවිධ තර්ක ගෙන ඒවි. ඒත් ඒ හෘදය සාක්‍ෂියට අනුව නම් නො වෙයි.
රනිල්ට නම් එයට එහා යන වැඩ පිළිවෙළක් තියෙනවා. ඒ ඩොයිලි පටන් ගත්ත දේ ඉවර කරන්න රට බෙදීමට. ඒත් මා හිතන්නෙ නැහැ අනෙක් බෙහෝ දෙනෙක් තමන්ගෙ පෞද්ගලිකත්ව වර්ධනයට හැර වෙනත් දෙයකට විස්සට පක්‍ෂ වෙනවයි කියලා. පෞද්ගලික වර්ධනයෙ තවත් අයකුට අනින එකත් තියෙන බව අමතක කරන්න එපා. රනිල් ඉවත් කරන එක තියෙද්දි 2019 ගැන කතා කරන්න මා කැමති නැහැ. එහෙත් ඇති වෙලා තියෙන තත්වය යටතෙ කතා නොකරත් බැහැ.
කවුරුන් මට විරුද්ධ වුවත් කියන්න ඕන කාරණයක් තමයි මහින්ද දහනවවැනි සංශෝධනයට ඡන්දය දුන්නෙ තමන්ට නැති විධායක ජනාධිපති ධුරයෙ බලතල කපා දාන්න කියන එක. තමන්ටත් එමගින් තවත් වරක් තරග කිරීමේ අවස්ථාව නැතිවන බව ඔහු දැන සිටියා. තුන්වැනිවර පැරදුණු මහුට තවත් වරක් ගැන හිතුනෙ නැතිව වෙන්න පුළුවන්. එවර දහනවයට අත ඉස්සුවෙ නැත්නම් අද රනිල් ඉවත් කරන එක මෙයට වඩා පහසු වැඩක්.
අද තිබෙන තත්වය අනුව මෛත්‍රිපාල හා ගෝඨාභය 2019ට ඉදිරිපත්වන බවක් පේන්න තියෙනවා. ඔවුන් සමග ඊනියා පොදු අපේක්‍ෂකයකු ද ඉදිරිපත් වෙනවා. දිනන්නේ ගෝඨාභය ද ඊනියා පොදු අපේක්‍ෂකයා ද යන්න තීරණය වෙන්නෙ මෛත්‍රිපාල ගන්න ඡන්ද මත. මෛත්‍රිපාලට එවැනි තුන්කොන් සටනකින් දිනන්න බැහැ. ඒත් ඔහු ජයග්‍රහකයා කවුද කියා තීරණය කරන්නා තීරකයා වෙනවා.
අද නැත්නම් 2019 දී වඩාත් ම ප්‍රශ්නය වන්නේ ගෝඨාභය දිනයි ද යන්නයි. මෙය ඊනියා වාම කේන්ද්‍ර ප්‍රශ්නයක් නොවෙයි. අද මේ රටේ වම දකුණ දේශපාලනයක් නැහැ. මා කලින් කී ලෙස වම දකුණ තියෙන්නෙ හමුදා සරඹවල පමණයි. ලංකාවෙ තිස්ස විතාරණට කරන්න පුළුවන් බලපෑම මොකක් ද? ජ වි පෙරමුණට තව තවත් ඡන්ද අඩුවෙනවා මිස වැඩිවන්නේ නැහැ. විශ්වවිද්‍යාලවලින් පමණක් ජනාධිපති තෝරණවා නම් පෙරටුගාමින් ගුණරත්නම් හා පුබුදු ජාගොඩ අතර දෙකට කැඩෙනවා. ඒ විප්ලවීය ජනාධිපති කවුද කියලා තෝරගන්න බැරුව.
අද ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර දේශපාලනයක්. එහෙත් එය උඩදේශපාලනයෙ ඒ ආකාරයෙන් නියෝජනය වන්නෙ නැහැ. ඒ අර පෞද්ගලික දේශපාලනය නිසා. බැසිලිකාවේ පූජකයන් කියන දේ අනුව නම් බැසිලිකාව විස්සට පක්‍ෂ වෙන්න යනවා. එයටත් හේතුව පැහැදිලියි. බැසිල්ට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. මට දිනන්න බැරි නම් වෙන අයකු ද නොදිනිය යුතුයි යන්න මේ පෞද්ගලිකත්ව දේශපාලනය ක්‍රියාත්මක වන අයුරුයි
අද ගෝඨා භය හුඟ දෙනකුට තියෙනවා. ගෝඨාභය ජනාධිපති වුණොත් අරක වේවි මේක වේවි කියලා පක්‍ෂ විපක්‍ෂ හැමෝම වගේ කතා කරනවා. මේ භය උඩ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට පක්‍ෂව ඡන්දය දෙන්න ඇතැමකු පෙළඹෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ද ඒ භය තියෙන අය ඉන්නවා. මෛත්‍රිපාලට නම් එවැනි භයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. එහෙත් ඔහු දන්නේ නැහැ ඔහු තරග කළොත් ගෝඨාභයට වාසි ද අවාසි ද කියා.
අද විස්ස ගේන්නෙ දෙමළ ජාතිවාදයට උඩගෙඩි සපයන අතර ගෝඨා භය නිසා කියාත් මට හිතෙනවා. ගෝඨභය වටා ඉන්න අයත් ඊනියා වාම කේන්ද්‍ර දේශපාලන ගැන දහතුනේ නඩු තීන්දුව ගැන විකාර කතා කියනවා. ඒ අය සමහර විට ගෝඨාභයට පක්‍ෂ ඇති. ඒත් ඔවුන් සිංහල බෞද්ධ විරෝධී ස්මාට් ජාතිකවාදීන්.
අද කළ යුත්තේ මා හැමදාමත් කී පරිදි රනිල් ඉවත් කිරීමයි. එය විස්සට පෙර කරන්න පුළුවන් නම් විස්ස නිකම් ම යට යනවා. එය අවසාන වශයෙන් මෛත්‍රිපාලගේ හා මහින්දගේ වැඩක්.