විශේෂාංග

ශ්‍රී ලංකාවේ ඒකීය බව ආරක්ෂා කරන්නෝ සහ බෙදුම්වාදයට ශක්තිය දෙන්නෝ…!

වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හදුන්වන මේ දිවයින වර්ෂ 1815 දී ගිවිසුමක් මගින් එංගලන්ත කිරීයේ අණසකට යටත් කරගත් අතර පසුව 1818 කැරැල්ලත් සමග ස්වදේශිකයන්ගේ නිදහස තවත් අහිමි විය. එදා සිට ආරම්භ කළ නිදහස් අරගල ප්‍රතිඵලයක් ලෙස 1948 දී ඩොමීනියන් නිදහසත්, 1972 දී එංගලන්ත රාජාධිකරණයෙන් නිදහසත් ලබා ගත්තේ ය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයකි. එමෙන්ම 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි. ඒකීය යන්න රටේ පැවැත්ම සදහා බොහෝ වැදගත් බව ශ්‍රී ලාංකිකයෝ බහුතරය සිතති. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඉහත ඒකීය යන්න ඉවත්කරගෙන සන්ධීය/ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උනන්දුවන සහ අරමුණ කරගත් බලවන්තයින් පිරිසක් ඉන්නා බවද රහසක් නොවේ. ඔවුන් සිය අරමුණු එනම් ඒකීය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර ගැනීම සදහා දක්ෂ සහ සූක්ෂම උපක්‍රම භාවිතා කරති. මේ ලිපිය ලියවී ඇත්තේ එකී දක්ෂ සහ සූක්ෂම භාවිතයන් කිහිපයක් හදුනාගැනීමට උදව් කිරීමටත් එහිදී ඒකීය බව වෙනුවෙන් පෙනී සිටිමින් බෙදුම්වාදයට රැකුල් දෙන් අය කවුද? යන්නත් හදුනාගැනීමට හැකි වේ.

4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුළත් කිරීමට කටයුතු කරමින් ඒකීය බවට නීතිමය බලපෑම සිදුකළ පළමු අවස්ථාව…..

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ වර්තමානයේ ක්‍රියාත්මකවන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් බව දක්වා ඇත. එසේ වුවත් 2000 පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ ආණ්ඩුවේ අධිකරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා වූ ජී. ඇල්. පීරිස් ඇමතිවරයා 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්චින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතියෝජනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතේ ඉහත ඒකීය යන්න ඉවත් කර තිබුණි.

එමෙන්ම ඒකීය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර එක්සත් යන්න ඇතුළත් කරගත් නීතිමය ලියවිල්ලක් වූයේත් ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ය.

ඉහත 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ශ්‍රීලංකාවේ ඒකීය බව අහිමිකරන ව්‍යවස්ථා ගණනාවක් ඇතුළත් කර තිබුණි. ඒ සම්බන්ධව දීර්ඝ ලෙස මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකළද වැදගත් ව්‍යවස්ථා කිහිපයක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග සංසන්දනය කරමින් සාකච්ඡා කර ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් ඒකීය රටක පවත්වන මැතිවරණ දක්වා ඇති අතර 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථා මගින් ඒකීය යන්න ඉවත් කළ එක්සත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පවත්වන මැතිවරණ දක්වා ඇත. එය තවත් හොදින් අධ්‍යයනය කිරීම සදහා එකී ව්‍යවස්ථා පහත දක්වා ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මෙසේ ය. (ඒකීය රටක පවත්වන මැතිවරණ 3ක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇත.)

4 (ඉ) අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදිඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දීද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දීද, සෑම ජනමත විචාරණයක දීද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය.

  1. මතු දැක්වෙන විධිවිධාන අනුව ඡන්ද බලය අහිමි වේ නම් මිස, සෑම තැනැත්තෙක් ම ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දීසහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දීඡන්ද හිමියකු වීමට හෝ යම්කිසි ජනමත විචාරණයක දීඡන්දය දීමට හෝ සුදුස්සෙක් වන්නේ ය:

එසේ වුව ද, එවැනි කිසිම තැනැත්තකුට ඔහුගේ නම උචිත ඡන්දහිමි නාමලේඛනෙයහි ඇතුළත් කර ඇත්නම් මිස ඡන්දය දීමට හිමිකම නොලැබිය යුත්තේ ය.

 

  1. ජනරජයේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම සඳහා ද, ජනමතවිචාරණවල දීද, ඡන්දය දීම නිදහස්ව ද, සමානව ද, රහසේ ද, විය යුත්තේ ය.

ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් ඒකීය රටක පවත්වන මැතිවරණ 3ක් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන ඇත. එනම් ජනමතවිචාරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ඒකීය රටක පිළිගෙන ඇති මැතිවරණය 3 වේ.

ඒකීය යන්න ඉවත් කර තිබූ ජී. ඇල්. පීරිස් ඇමතිවරයා 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථා අධ්‍යයනය කිරීමේදී පවත්වන මැතිවරණ මගින්ද රටේ ඒකීය බව බිදහෙළා ඇති බව සනාථ වේ. එනම් ඒකීය බව බිද හෙළන පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නා මැතිවරණ බව එකී 2000දී යෝජනා කර  තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ දක්වා තිබුණි. ඒ මෙසේ ය.

2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල ඇතුළත් නමුත් 1978 වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ   පළාත් සභා මැතිවරණය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ 2.1 බෙදුනු තීරණය මගින් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.(ඉ), 88 සහ 93 ව්‍යවස්ථා මගින් පිළිගෙන නැති පළාත් සභා මැතිවරණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නා මැතිවරණ බව තීරණය කර ඇත. එකී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ 2.1 බෙදුනු තීරණය වෙනත් පූර්ණ විනිශ්චය සභාවකි ඉදිරියේ නැවත සාකච්ඡා කළ යුත්තේ ඒ සම්බන්ධ විවාදයේ දී 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල විධිවිධාන සාකච්ඡා කිරීමක් කර ඇති බව‍ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ නොදැක්වෙන බව 2017 සැප්තැම්බර් 19 දින හැන්සාඩ් වාර්තාව අනුව පැහැදිලිවන හෙයිනි. (මේ සම්බන්ධව වැඩි දුර හැදෑරීම සදහා කර්තෘ විසින් රචිත 4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුළු කිරීමෙන් රටේ ඒකීය බව බිද වැටෙයිද?කෘතිය කියවන්න. (ISBN 978-955-98639-6-0)

ඒ අනුව ඒකීය බව පිළිබද පෙනී සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් ඒකීය බව අහිමි කර තිබූ 2000 අගෝස්තු මස 03 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ 2.(ඉ), 106 සහ 109 ව්‍යවස්ථාවල ඇතුළත් ආකාරයට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද අර්ථ දක්වමින් තිබේ. එය ඒකීය රටක පැවැත්මට බරපතල තර්ජනයකි.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් මුල් අවස්ථා ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ කොළඹදී නඩු විභාග කිරීමද රටේ ඒකීය බව ආරක්ෂා කිරීමකි…..

මහාධිකරණයක් යනු මුල් අවස්ථා අධිකරණයකි. මහාධිකරණ පිහිටුවා ඇත්තේ අධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ය. එවැනි මහාධිකරණවලින් රටේ ඒකීය බවට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තර්ජනයක් එල්ල කරන්නේ නැත. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා ඇති මහාධිකරණය යනු අධිකරණ සංවිධාන පනතෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ගැනෙන මහාධිකරණයක් නොව අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය සහිත පළාතේ මහාධිකරණ වේ. එනම් පළාත් සභා සහ පළාතේ මහාධිකරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පිහිටුවන අධිකරණ වූ හෙයින් එවැනි ආයතන පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් වූ හෙයින් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දය තිබිය යුතු බවට පළාත් සභා සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ 5.4 බෙදුනු තීරණයෙන් පිළිගෙන තිබුණි.

ඉහත නීතිමය කාරණා ගැඹුරෙන් හැදෑරීමේදී/ අධ්‍යයනය කිරීමේදීඅධිකරණ සංවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 යටතේ ගැනෙන මහාධිකරණ කොළඹ පිහිටුවීමට එරෙහිවිය හැක්කේ ඒකීය බවට එරෙහි වන්නන්ට බව පෙනීයයි. වාණිජ මහාධිකරණය, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය කොළඹ දී නඩු විභාග කරමින් රටේ ඒකීය බව මැනවින් ස්ථිර කරදීදී සහ ආරක්ෂා කරද්දී අල්ලස් සහ දූෂණයට අදාලව ආර්ථික අපරාධවලට අදාල නඩු පමණක්, පවතින නීතිය යටතේ කෙළඹදී මුල් අවස්ථා මහාධිකරණයකදී නඩු විභාග කරවිමට එනම් මුල් අවස්ථා ස්ථිර ත්‍රී පුද්ගල මහාධිකරණ  මගින් නඩු විභාග කරවීම වරදක් වන්නේ හෝ රටට එරෙහි වීමක් වන්නේ කෙසේද? යන්න විසදා ගත යුතුය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුනB.Sc(Col),PGDC(Col)

E Mail : arunaunawatuna@gmail.com

Top