LNN SPY

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරිම පෙර පරීක්ෂණයක්! රාජපක්ෂලා ගෙදර පැන්නුවා සේ යහපාලන ආණ්ඩුවත් පන්නනවා

සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් තවදුරටත් එම තහනම ඉවත් කිරිමට කටයුතු නොකරන්නේ නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන බවද සදහන් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාලා  අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් – වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය 

රටේ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට යහපාලන රජය විසින් ගනු ලැබූ තින්දුව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.

එය මේ රටේ දැනට ඔඩු දුවමින් පවතින ජාතිවාදි ව්‍යසනය නතර කිරීමට ඇති හොඳම විසදුම නොවේ. ආණ්ඩුවට පාලනය කළ නොහැකි  ලෙස සමාජ මාධ්‍ය ජාලාවන් හරහා ජාතිවාදය පැතිර යනවා නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ජාතිවාදය පතුරුවන ජාතිවාදී ගෝත්‍රිකයින් හඳුනා ගෙන ඔවුනට නීතිය ක්‍රියාත්මක කිරීමයි. එයට අවශ්‍ය තරම් වන නීති ප්‍රතිපාදනයන් දැනටමත් ලංකා නීතිය තුළ අන්තර්ගත බව ආණ්ඩුවට අපි මතක් කර දීමටද කැමැත්තෙමු.

එසේ තිබියදි රටේ සියළුම දෙනාට බලපාන ලෙස මෙලෙස සමාජ මාධ්‍ය ජාලා  අවහිර කිරීම විකල්ප මාධ්‍ය පාලනය කිරීමේ ආණ්ඩුවේ වෑයමක් බවත් එය රටේ පුරවැසියන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ව්‍යාංග වශයෙන් අහිමි කිරීමක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙතෙක් රටේ පැවති සියළුම ආණ්ඩු පාහේ තම නොහැකියාව වසා ගැනීමට විකල්ප මාධ්‍ය වාරණය සක්‍රියව ක්‍රියාත්මක කළ අකාරය පිළිබඳව අත්දැකිම් අප සතුව ඇත. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විරුද්ධ හා විකල්ප මත දැරූ වෙබ් අඩවි තහනම් කිරීම හා එම මාධ්‍යවේදින්ට  තර්ජනය කිරීම හරහා තම නොහැකියාව වසා ගැනීමට කටයුතු කළ ආකාරය සුලභ විය. නමුත් මෙහිදි හාස්‍යජනකම සිදුවීම වන්නේ රාජපක්ෂ පාලනය තුළ සිදුවු එවැනි ක්‍රියාකාරකම් නැවත සිදුනොවන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණෙන මෛත්‍රි – රනිල්  පාලනය මෙලෙස වෙබ් අඩවි පමණක් නොව සමස්ථ සමාජ මාධ්‍ය ජාලාවම අවහිර කිරීමයි. එය ඉගුරු දී මිරිස් ගත්තා වැනි ය යන ප්‍රස්ථා පිරුල සාක්ෂාත් කරනු ලබයි.

එසේම මෙයින් මුළු මහත් රටේත්, රටින් පිටත ජීවත් වන අපේම ජනතාව මුහුණදෙන සන්නිවේදන දුෂ්කරතාවය අතිවිශාල වන අතර එයින් සිදුවන සමාජීය බලපෑම ගණනය කළ නොහැකි එකකි. තවද ව්‍යාපාර ඇතුළු රටේ ආර්ථිකයට මෙමඟින් සිදුවී ඇති හානිය මෙතෙක් යැයි රජය විසින් ගණනය කිරීමට අපොහොසත්ව ඇත.

මෙහිදි වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙසට  අපට හැගි යන්නේ ආණ්ඩුව තම මර්දනකාරී වැඩපිළිවෙළට අවශ්‍ය පූර්වාදර්ශය මෙම තහනම තුළින්  පරිපූර්ණ කිරීමට උත්සහ ගන්නා බවයි.  යම්හෙයකින් ඉදිරි මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණයේදි ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍ය විකල්ප මතධාරාවක් සමාජ මාධ්‍ය ජාලාවන් හරහා නිර්මාණය වන අවස්ථාවකදි එය මැඩපැවැත්වීමට මෙම වාරණය උපයෝගී කරගත හැකිදැයි අත්හදා බලනු ලබන පෙර පරීක්ෂණයක් ලෙසට මෙම දින කිහිපය යොදා ගන්නා බවට අපගේ මතය වේ.

තවදුරටත් ආණ්ඩුව මෙලෙස ඉදිරියට කටයුතු කරනවා නම් රාජපක්ෂ පාලනය පලවා හැරීමට කටයුතු කළ ලෙසම යහපාලන ආණ්ඩුවද ගෙදර යැවීමට අවශ්‍ය මතවාදිමය වෙනස් ඇති කිරීමට වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙරමුණ ගැනීමට පසුබට නොවන්නෙමු. එහෙයින් මෙලෙස ව්‍යංගකාරි විසඳුම් සෙවීමට නොගොස් සමාජය තුළ පැන නැගි ඇති සැබෑ ගැටළුව හදුනාගෙන එයට අවශ්‍ය විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

සුවින් වගාරච්චිගේ,
කැදවුම්කරු

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රී ලංකාව
இணையத்தள ஊடகவியலாளர்களின் தேசிய இயக்கம் – இலங்கை
National Movement of Web Journalist- Sri Lanka

Top