පුවත්

සාමාන්‍ය පෙළින් පසු සරසවි වරම් ලැබීමට පදනම් විභාගයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු පදනම් විභාගයකට මුහුණ දීමෙන් අනතුරුව රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් දරුවන්ට හඳුන්වා දීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ(5) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ ද මේ පිළිබඳව සඳහන් ව තිබේ. ඉදිරියේදී පැවැත්වෙන අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පළාත් මට්ටමින් සියලු ප්‍රාථමික අංශ සිසුන්ට ආහාර ලබා දීමට රුපියල් බිලියන 16.6ක මුදලක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර එළඹෙන සතියේ දී එම චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

Top