විශේෂාංග

සිංහලයා ප්‍රකෝප නොකරන්න!

දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමේ වත්මන් ආණ්ඩුවේ උපන් ගෙයි වරද වහා නිවැරදි කර නොගතහොත් ඉවසීමේ සීමා පැන සිංහලයා ද ජාතිවාදය දෙසට තල්ලු වීමේ පැහැදිළි අනතරුක් නිරීක්‍ෂණය වී තිබේ. ආණ්ඩුව හා එහි පාර්ශවකරුවන් මෙරට දෙමළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම සිංහලයාගේ වරදින් සිදුවූවක් ලෙස හුවා දක්වමින් එම විස්වාසය මත සිට සියළු තීරණ ගන්නා බව මේ වන විට පැහැදිළි ව පෙනෙන්නට තිබෙන කරුණකි. මොවුන්ට සුද්දා විසින් ඔහුගේ බෙදා වෙන්කර පාලනය කිරීමේ උපක්‍රමයේ දී සිංහලයා හිතා මතා ම කොන්කළ ආකාරයත් දමිළයා පෙරමුණට ගැනීමට සියළු කටයුතු කළ ආකාරයත් ගැන කිසිදු අවබෝධයක් නැත. සියළු පසුකාලීය ප්‍රශ්නවලට හේතුව ඒ ය. එවන් පසුබිමක, ඉහත සිංහලයා ප්‍රකෝප කිරීමේ කාර්ය එසේ ම වුවහොත් එහි පූර්ණ වගකීම ජනපතිවරයා හා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව බාරගත යුතු බව මතක් කරමු. විටෙක මොවුන්ගේ අරමුණ ද එය වෙතැයි සිතෙන තරම් ය. එසේ වුවහොත් එය නම් රටේ ම අවාසනාවකි.

වගකීමෙන් කටයුතු කළ යුතු මොහොතක, වත්මන් ආණ්ඩුව පත් කිරීමට බෙහෙවින් උල්පන්දම් දුන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි (ඔහු සංකේතාත්මක සඳහනක් පමණ) වැනි අය පවා ඉහත ව්‍යාජ විස්වාසය තහවුරු කිරීමට ම න්‍යායික ව හා දේශපාලනික ව කටයුතු කරන බව පෙනෙන්නේ ඔවුන් ද ලංකාවේ ප්‍රශ්නයේ දෙමළ කොන පමණක් අල්ලා ගනිමින් ඒ හරහා සමස්ත ප්‍රශ්නය දෙස බැලීමට දේශපාලකයින් පොළඹවන හෙයිනි. මෙය ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් හොඳ ත්‍රස්තවාදය හා නරක ත්‍රස්තවාදය යනුවෙන් ත්‍රස්තවාද දෙකක් හඳුනා ගැනීමට සමාන ය. එවන් අසාර්ථක දැක්මක අවසන් ඵලය වූයේ අන්තතවාදී ISIS ත්‍රස්තයින්ට ආයුධ, පුහුණුව හා මුදල් මූලාශ්‍ර ලබා දීම තුළින් අන්තවාදය ලොවට ම පිළිලයක් බවට පත් කිරීම ය. නිර්මාල් ඇතුළු පිරිස් හුවා දක්වන්නේ ද ජාතිවාදය නම් එය සිංහල පමණක් වන් බවත් දෙමළ ජාතිවාදය යනුවෙන් දෙයක් නැති බවත් ය.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව විසින් මෙරට හමුදා නිලධාරීන්, සෙබළුන් හා යුද්ධය මෙහෙයවන ලද නායකයින් දරුණු අපරාධ කරුවන් ලෙස මහජන මතයක් නිර්මාණය කරන අතරතුර ත්‍රස්තවාදී ක්‍රියාවන් මත අත්අඩංගුවේ සිටින දමිළ සිරකරුවන් දෙස බලන්නේ අනුන්ගේ පවකට විපාක විඳින අහිංසකයින් පිරිසක් ලෙස ය. මෙය දරුණු නිර්මාණාත්මක චින්තන දුබලතාවකි. කළ යුත්තේ කිසිදු පාර්ශවයක සිත් නොබි‍ඳන ලෙස ප්‍රශ්න විසඳීමේ මගත් ‍තෝරා ගැනීම ය. එහෙත් සිදුවන්නේ එක් අන්තවාදයක් සන්තර්පනය කරන අතර තවත් අන්තවාදයකට අත වැනීමකි. කෙසේ වෙතත්, මෙම දුබලතාව පිළිබඳ සම්පූර්ණ වගකීම ගත යුත්තේ දේශපාලන අධිකාරිය ම නොවේ. එහෙත් ඊට පිටුපසින් සිටිමින් ජාතික ප්‍රශ්නය දෙස දමිළ ජාතිවාදී දෘෂ්ටියෙන් බලමින් මත නිර්මාණ කරන අප සඳහන් කළ ඉහත පිරිස් ය.

ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය

Top