විශේෂාංග

සේවා සපයන්නන් බවට පත් වන නිෂ්පාදකයන්ගේ දරුවෝ

ජපානය, චීනය, ප්‍රංශය, රුසියාව,ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් සංවර්ධනය වූ රටවල් ලෙසත් ලංකාව, ඉංදියාව, පකිස්ථානය සහ අප්‍රිකානු රටවල් සංවර්ධනය නොවූ රටවල් ලෙසත් නිර්ණායක තනාගත් ලොවක් වර්තමානයේ වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන පවා මේ නිර්ණායක යාවත්කාලීන කරමින් සිටිති.

1815 කන්ද උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන් ලංකාවේ පාලනය නීතියට අනුවම සියතට ගනු ලැබීය. වැව සහ කුඹුර මත පදනම් වූ නිෂ්පාදන ආර්ථිකයක් මගින් දිවි ගෙවූ ස්වදේශිකයන්ගේ අභිමානය 1815 ගිවිසුමත් සමග සිදලනු ලැබීය.1815 ගිවිසුමත් සමග සේවා සපයන්නන් වන පොලීසිය, ලිපිකරුවන්, නීතීඥවරු, විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරු, ගණකාධිකාරිවරු ඇතළු සේවා සපයන්නන් බලවත් විය.

මඩ සෝදා ගත් කළ රජකමට පවා සුදුසු වූ ගොවියාගේ තත්ත්වය සහ අභිමානය ඉංග්‍රීසි නීතිය මගින් පහත් සහ නොසළකන තත්ත්වයට පත් කරන ලදී. නිෂ්පාදන ආර්ථිකය මත සැළසුම් වී තිබූ ලංකාවේ සමාජය සේවා ආර්ථිකයක් බවට පරිවර්තනය කරනු ලැබූයේ ඉංග්‍රීසි යටත් විජිත පාලන ක්‍රමය මගින් හදුන්වාදුන් නීති ක්‍රියාකාරීත්වය මගිනි.

තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිෂ්පාදනය කරගන්නා ස්ව්‍යංපෝෂී දිවි පැවැත්මකට හුරු වී සිටි ලංකිකයන් විදේශීය නිෂ්පාදන මත යැපෙන්නන් පිරිසක් බවට පත් කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වා දුන් මැකෝලි සාමිවරයාගේ අධ්‍යාපන ක්‍රමයත්, ඔවුන්ගේ නීති ක්‍රමයත් මගිනි.

බ්‍රිතාන්‍යයන් ලංකාව ග්‍රහණයට ගැනීමට පෙර සේවා සපයන්නන් සමාජයේ ප්‍රමුඛස්ථානයේ වැජබෙනු දක්නට නොළැඹුන අතර රට තුළ නිෂ්පාදන කරමින් දිවි ගෙවූ අය අභිමානයෙන් ජීවත් වීම දක්නට ලැබුණී. පරාක්‍රමභාහු රජ සමයේ පෙරදිග ධාන්‍යාගාරය බවට ලංකාව පත් වීම අහම්බයක් නොවූ අතර නිෂ්පාදකයන් කෙතෙක් අභිමානයෙන් රටේ ජීවත් වී සිටියාද යන්න ඉන් පිළිඹිමු වෙයි.

බ්‍රිතාන්‍යයන්ගේ පාලනය මගින් නීති පද්ධති හදුන්වා දෙනු ලැබූයේම කෘෂි නිෂ්පාදන හැකිතාක් අධෛර්‍යයට පත් කරවන අකාරයට මෙන්ම ගොවිතැනෙන් ජීවත් වූවන්ගේ අභීමානය සිදලන ආකාරයටය. එනම් ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදන සිදුකිරීම අවම කර බටහිර රටවල ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදන සිදු කිරීම සදහා පළමුව ලාංකිකයන් පොළඹවන ලදී.

ලාංකිකයන් පළමුව සිය ආහාර තමන් විසින් නිපදවා ගන්නවා වෙනුවට වෙනත් රටවලින් ආහාර ගෙන්වා ගන්නා තත්ත්වය පළමුව තහවුරු කරගනු ලැබීය. එහිදී කෘෂිකාර්මික කටයුතු කළ පුද්ගලයන්ගේ අභිමානය අහිමි කිරීම සිදු කළ අතර ගොවිතැනේ නියළුන වැඩිහිටියන්ගේ දරුවන් තවදුරටත් ගොවිතැනේ නියලී සිටීම අභිමානය කෙළෙසාගන්නා තත්ත්වයක් බව ඒත්තු ගන්නවනු ලැබීය.

ඒ අනුව ගොවිතැනේ නියලී රටට නිෂ්පාදන ලබා දුන් පිරිස් තවදුරටත් ඒ අකාරයට ජීවත් වීම පහත් යැයි සිතමින් තමන්ගේ දරුවන් සේවා සපයන අංශය වෙත යොමු කරන්නට පටන් ගත්හ. ඒ අනුව එතෙක් නිෂ්පාදන කරමින් ජීවත් වූ පවුල්වල දරුවෝ නීතිය හා සමාජක්‍රමය මගින් අභිමානවත් වෘත්තීන් ලෙස හදුන්වා දී තිබූ සේවාසපයන වෘත්තීන් වන නීතීඥ වෘත්තීය, ගණකාධිකාරී වෘත්තීය, පොලීසිය වැනි අංශ වෙත පැමිණෙන්නට විය. එහිදී පාසල් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනයද සේවා සපයන්නන්ට අභිමානය ලබා දීම සදහා විසල් වැඩකොටසක් ඉටු කරන ලදී. පාසලේ පංතියේ දක්ෂ සිසුන් සේවා සපයන්නන් ලෙසත් පංතියේ අදක්ෂ සිසුන් නිෂ්පාදන අංශය වෙතත් බෙදී යන්නට විය.

1815 සිට 1948 දක්වා පැවති බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන ක්‍රමයත් ඉන්පසු පැවති පාලන ක්‍රමයත් මගින් තහවුරු කරන ලද්දේ සහ ජනතාවගේ මනසට ඇතුළු කරන ලද්දේ අභිමානයෙන් ජීවත් වීම පුරවැසියන්ගේ අපේක්ෂාව වන්නේ නම් සේවා සපයන්නකු විය යුතු බවත් නිෂ්පාදන අංශයේ සිටීම මගින් අභිමානය ඈත්කරවන බවත් ය.

ගොවිතැනේ නියලී සිටිමින් නිෂ්පාදන සිදුකරමින් සිටි දෙමාපියන් ඉන් අත්විදින කෙනෙහිළිකම් කිසිවිට තම දරුවන් විදිනවාට රිසි නො වූ අතර ඔවුන් සිය දරුවන්ව නිෂ්පාදන අංශයෙන් ඉවත්කර සේවා සපයන අංශය වෙත මාරු කිරීමට ප්‍රයන්ත දරන්නේ තම දරුවා සේවා සපයන්නකු කිරීම සදහා තමන් සතු ඉඩම් සියල්ල වුවද විකුණා දැමීට සූදානම් වෙමිනි.ගොවිතැනේ නියලී සිටිමින් නිෂ්පාදන සිදුකරන වැඩිහිටියන් තමන් විදි වේදනා දරුවන් විදීම ප්‍රිය නොකෙළේ ය.

ලංකාවේ පවතින නීති ක්‍රමයත් සමාජ ක්‍රමයත් මගින් නිෂ්පාදන සිදු කරන ප්‍රජාව ශක්තිමත් කිරීම සහ ඔවුන්ට අභිමානයෙන් ජීවත් වීමට ඇති අවස්ථාව ලබා නොදෙයි. වර්තමාන සමාජ ක්‍රමය මගින් සිදු කරන්නේ සේවා සපයන අංශ ශක්තිමත් කිරීම සහ සේවා සපයන්නන්ට අභිමානය ඇති කිරීමයි. එහි ප්‍රතිඵලය වන්නේ රටේ දක්ෂ දරුවෝ නිෂ්පාදන අංශයෙන් ඉවත් වී සේවා සපයන අංශය වෙත මාරුවීමයි. අභිමානය නොමැති නිෂ්පාදන අංශයක සිරවී සිටීමට වඩා අභිමානයෙන් ජීවත් විය හැකි සේවා සපයන අංශයට පැමිණීම ස්වභාවිකත්වයයි.

යම් රටක සේවා සපයන්නන්  ප්‍රභල වී නිෂ්පාදකයන් දුබල වන විට එම රටේ සමාජ ආර්ථික දේශපාලනික ගැටළු වැඩි වන බව පිළිගැනීමයි. වර්තමානයේ ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය එයයි. අද ලංකාවේ බලය දරන්නේ නිෂ්පාදකයන් නොව සේවා සපයන්නන් ය. දියුණු රටවල තත්ත්වය එසේ නොවේ. දියුණු රටවල බලවත් වී සිටින්නේ සේවා සපයන්නන්  නොව නිෂ්පාදකයන් ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ තිරිගු ගොවියන්ගේ බලය ලංකාවේ වී ගොවියන්ට නොතිබීම මෙහි ප්‍රායෝගික තත්ත්වය කියා පායි.

ලංකාවේද නිෂ්පාදකයන් සේවා සපයන්නන් අභිබවා යන ආකාරයේ බල වෙනසක් සිදු වුවහොත් එයම රටේ සංවර්ධයටත්, රටේ පවතින සංකීර්ණ ගැටළු විසදීමටත් හේතු වෙයි. අද සිදු නොවන්නේත් එයයි. ඩී. ඒ. රාජපක්ෂ ගොවියගේ පුතා ලංකාවේ ජනාධිපති වුවත්, පොළෙන්නරුවේ ගොවි පුතෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහාතා ජනාධිපති වුවත් සේවා සපයන්නන් අභිබවා නිෂ්පාදකයන් බලවත් කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ඇයි? යන්න විමසීමද මෙහිදී වැදගත් වෙයි.

සේවා සපයන්නන් අත දරා ඇති අධික බලය නිෂ්පාදකයන් වෙත ලගා කරන නීතිමය වෙනසක් වර්තමානයේ අවශ්‍ය කරයි. මුදල් වැය කරමින් සේවා සපයන්නන් බවට පත් වීමට උත්සාහ කරන නිෂ්පාදකයන්ගේ දරුවෝ ඉන් මුදා නොගෙන රට සංවර්ධනය කිරීම කළ නොහැකි බව නීති සම්පාදකයෝ වටහා ගනීද?

සේවා සපයන්නන් අත දරා ඇති අධික බලය නිෂ්පාදකයන් වෙත ලගාකර දීමට හැකි වෙයිද යන්න බලා සිටිමු.

නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2016.10.12

 

Top