Featured

හුසේන් කුමරුට ජනාධිපති හා අගමැති දුන් ප්‍රතිඥාව “මහින්ද” හෙලිකරයි

වත්මන් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවාදීමට ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහිව පෙළගැසෙන ලෙසත් රට පාවාදිම සදහා හුසේන් කුමරුට ජනාධිපති හා අගමැති දුන් ප්‍රතිඥාව පිළිබඳව පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් රටේ ප්‍රගතිශීලි ජනතාවගෙන් ඉල්ලා සිටි.ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක්ද එක්සත් ජාතික පක්‍ෂයේ මේ රට පාවාදෙන වැඩපිළිවෙලට එකතු වී සිටීම පිළිබඳව තමන්ගේ අතිමහත් කණගාටුවට හේතුව වි ඇති බවද ඔහු එම නිවේදනයෙන් දක්වා තිබේ.

හුසේන් කුමරුට ජනාධිපති හා අගමැති දුන් ප්‍රතිඥාව

පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කරන බවට මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කොමසාරිස්වරයා ඉදිරියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රතිඥා දී තිබේ. එම යෝජනාවේ විශේෂත්වය වන්නේ එය ලංකාවේ ආණ්ඩුව විසින්ද පිළිගෙන මානව හිමිකම් කවුන්සිලය තුළ ඡන්ද විමසීමකින් තොරවම සම්මත කරගෙන තිබීමයි. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුව ලංකාවට එරෙහි මේ යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කලේද 2002 දී කුප්‍රකට සටන් විරාම ගිවිසුමට එලෙඹුණු ආකාරයටමය. එම යෝජනාව සම්මත වීමට පෙර ජිනීවාහි සිටි අපේ තානාපතිවරයා එය වෙනස් කිරීමට උත්සාහයක් දැරුවද ආණ්ඩුව එය නවතා එම යෝජනාව ඇමරිකාව විසින් සකස් කල ආකාරයෙන්ම පිළිගැනීමට කටයුතු කලේය. ඇමරිකානු යෝජනාව කිසිදු වෙනසක් නැතිවම පිළිගෙන එය ලංකාව ලැබූ මහා රාජයතාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට ජනතාව ඉදිරියේ හුවාදැක්වීමට ආණ්ඩුව උත්සාහ කළද, සත්‍ය වශයෙන්ම එය 1815 උඩරට ගිවිසුමට සමාන කළ හැකි රට පාවාදෙන එකගතාවයක් විය.

ආණ්ඩුව ජිනීවා යෝජනාව තුළින් ක්‍රියාත්මක කිරීමට එකගතාවයට පැමිණ තිබෙන කාරණා ගැන ජනතාවට නැවත මතක් කර දීමක් කල යුතුය. මේ යෝජනාවේ 1,4,6,7,8 සහ 12 යන ක්‍රියාන්විත ඡේදවලට අනුව දෙමළ සිවිල් ජනතාව ඝාතනය කිරීම, ඔවුන්ට වද බන්ධන පැමිණවිම හා උතුරු ප්‍රදේශයේ හිතාමතාම ආහාර හිගයක් නිර්මාණය කිරීම ඇතුළු යුද අපරාධ සිදු වූ බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පක්‍ෂග්‍රාහී වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගෙන තිබෙන අතර එකී යුද අපරාධ විභාග කිරීම සදහා විදේශීය විනිශ්චයකාරවරුන්, පරිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්ගෙන් සමන්විත යුද අපරාධ අධිකරණයක් ඇති කිරීමටත්, එම අධිකරණය නඩත්තු කිරීම සදහා පිටරටින් ඍජුවම මුදල් ලබා ගැනීමට ඉඩදීමටත් ආණ්ඩුව එකග වී ඇත. එයින් නොනැවතී යුද අපරාධ සිදුකලා යැයි සැකයක් පවතින ආරක්‍ෂක හමුදා සාමාජිකයන් යුද අපරාධ අධිකරණය ඉදිරියට පැමිණවීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොතිබුණත් අදාල පුද්ගලයන් පරිපාලනමය ක්‍රියාදාමයක් තුළින් ආරක්‍ෂක හමුදාවෙන් ඉවත් කිරීමටද ආණ්ඩුව එකග වී තිබේ. තවද, ලංකාවේ මහජන ආරක්‍ෂක ආඥාපනත සංශෝධනය කිරීමටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමටත් ආණ්ඩුව එකග වී ඇත.

ජිනීවා යෝජනාවේ 16, 18, 20, යන ක්‍රියාන්විත ඡේද වලින් ලංකාවේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් දීම සදහා බලය බෙදීමටත්, ඉහත කී සියල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ අධික්‍ෂණය යටතේ කිරීමටත් එකගත්වය පල කොට තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්ම දෝෂදර්ශනයට ලක් කර තිබෙන ආයතනයකි. මානව හිමිකම් කොමසරිස් කාර්යාලය තුල බටහිර ජාතිකයන් දරණ ආධිපත්‍ය නැති කල යුතු බවත් බටහිර රටවල මුදල් වලින් යැපීම අඩු කළ යුතු බවත් කියමින් සෑම වසරක් පාසාම මානව හිමිකම් කවුසිලය තුළ තුනෙන් දෙකකටත් වැඩි බහුතරයකින් යෝජනා සම්මත වේ. ලංකාවේ සිදු වන මේ සියළු ක්‍රියාදාමයන් අධීක්‍ෂණය කරන්නේ බටහිර රටවලට ගැතිකම් දැක්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේම දෝෂදර්ශනයට නිරන්තරයෙන්ම ලක් වන ආයතනයක් බව ජනතාව දැනගත යුතුය

ජීනීවා යෝජනාවට එකගත්වය පලකිරීමෙන් පසුව එයින් මේ රටට කිසිදු හානියක් නැතැයි කීමටත් ජනතාව අතර එයට පිළිගැනීමක් ඇති කිරීමටත් ආණ්ඩුව විවිධ උපක්‍රම භාවිතා කරන හැටි අපට පෙනෙන්නට තිබේ. යෝජිත යුද අපරාධ යාන්ත්‍රනය තුළ විදේශීය විනිශ්චයකාරවරුන් සහභාගී වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පරස්පර විරෝධී අදහස් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍යට පල කරනු අපට පෙණිනි. නමුත් ජනාධිපතිවරයාගේ නිදහස් දින කතාවෙන් පැහැදිලි වූයේ ඔහුත් අගමැතිවරයාත් අතර ජීනීවා යෝජනාව සම්බන්ධයෙන් මත ගැටුමක් සත්‍ය වශයෙන්ම නැති බවයි. ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණුඩව ගෙන ඇති තීන්දුව ජනාධිපතිවරයා අනුමත කලා පමණක් නොව ඊට විරුද්ධ උදවිය ජනතාව නොමග හරිමින් සිටින බවද කීවේය. ඔහු නිදහස් දින කතාවෙන් තවදුරටත් පවසා සිටියේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව හා ආරක්‍ෂක හමුදාවන්ට ඇති ගරුත්වය වර්ධන වන බවයි. ඉන් පසු පෙබරවාරී 06 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය හමුවකදී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් එකග වී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ වූ බවටද වාර්තාවක් ඩේලි මිරර් පුවත් පතේ පළ විය.

යුද්ධය දිනුවේ මා විසින් නායකත්ව දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවකි. යුද්ධයට හැකි සෑම අවස්ථාවකදීම අකුල් හෙලූ එක්සත් ජාතික පක්‍ෂයට අපේ පක්‍ෂය මේ ආකාරයට යටත් කර තැබීම ගැන මම කණගාටු වෙමි. 2007 අය වැය විවාදයේ දී මගේ ආණ්ඩුව පෙරලා හෝ යුද්ධය නතර කිරීමට එක්සත් ජාතික පක්‍ෂය කුමන්ත්‍රණය කල ආකාරය බොහෝ අයට තවමත් මතක ඇතුවාට සැකයක් නැත. ඒ ප්‍රයත්නය අසාර්ථක වූ පසු යුද්ධය අවසන් වන තුරුම එක්සත් ජාතික පක්‍ෂය කලේ ඕන ගොනෙකුට යුද්ද කල හැකි බවත් අලිමංකඩ යනවා යැයි කියා යුද හමුදාව පාමංකඩට යන බවත් කියමින් යුද්ධයට සරදම් කිරීමයි. මෙවන් පිරිසක් යුද අපරාධ චෝදනා එල්ල කරමින් යුද්ධය දිනූ පාර්ශවයෙන් පළිගැනීමට උත්සාහ කිරිම ගැන මම කිසිසේත්ම පුදුම නොවෙමි.

නමුත් මගේ අතිමහත් කණගාටුවට හේතුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක්ද එක්සත් ජාතික පක්‍ෂයේ මේ රට පාවාදෙන වැඩපිළිවෙලට එකතු වී සිටීමයි. යුද්ධය ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොටසක් ලවා තමන්ගේ මේ ක්‍රියාවන්වලට සහයෝගය ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විශාල කාලකණ්නි සන්තෝසයක් ලබන බවට සැකයක් නැත. වත්මන් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවාදීමට ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහිව පෙළගැසෙන මෙන් සියළුම ලක්වාසී ජනතාවගෙන් මම මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)

හිටපු ජනාධිපති

Top