Anonymous Reporter

“අනේ…….. ඒයාගෙ බෙල්ල කපන්න එපෝ”…..එක්තරා රටක පාලකයන් ජනතාව තම වසගයට ගත් ආකාරය

එකමත් එක කාලෙක එක්තරා රටක පාලකයන්ට අවශ්‍ය වුණා ඒ රටේ ජනතාව තමන්ට අවශ්‍ය විදිහට ක්‍රියාකරන පිරිසක් බවට පත් කර ගන්න. ඒ රටේ පාලකයන් මේකට උපායක් කල්පනා කරල වැඩේ පොලීසිය භාර ඇමතිවරයටයි…. අධිකරණය භාර ඇමතිවරයටයි…..පැවරුවා.

පොලීසිය භාර ඇමතිවරයා පොලීසියට නියෝග කළා ආණ්ඩුවට විරුද්ධ අදහස් දක්වන අය ඉන්න  ගෙවල්වලට ගිහිල්ල ඒ අයව අල්ලගෙන එන්න කියල. ඒ අයව අල්ලගෙන ආවහම හැම පවුලක්ම වෙනවෙනම ඇමති ලගට ගෙන්නා ගන්නවා. ඊට පස්සේ පවුලේ අනික් අය ඉස්සරහ පවුලෙ වැඩිමලාගෙ බෙල්ලට කඩුව තියල “දැන් මම මේකගෙ බෙල්ල කපන්න යන්නෙ” කියල කියනව. එතකොට ඒ පවුලෙ ඉන්න අනික් අය කෑ මොර දෙනව…… “අනේ…….. ඒයාගෙ බෙල්ල කපන්න එපෝ”….කියලා……ඒ අතර එක් පොලිස් නිලධාරියෙක් කියනව“කවුරු හරි ගිහිල්ල අධිකරණ ඇමතිට කිව්වොත් මෙයාව බේර ගන්න පුළුවන්” කියලා.

ඉතින් ඊට පස්සෙ ඒ පවුලෙ එක පුතෙක් අධිකරණ ඇමතිට ගිහිල්ල කියනව “පොලීසිය භාර ඇමති අපේ තාත්තගෙ බෙල්ලට කඩුවක් තියාගෙන බෙල්ල කපන්න හදනව……අනේ කෙහොම හරි බේරල දෙන්න” කියල…අධිකරණ ඇමති කියනව “මම වැඩේ කරල දෙන්නම් හැබැයි මට ලක්ෂ 25ක් ඕන” කියල….වෙන කරන්න දෙයක් නැති නිසා පුතා ඒකට කැමති වෙනව.

දැන් ලක්ෂ 25ත් අරගෙන අධිකරණ ඇමති යනව පොලීසිය භාර ඇමති ළගට…ගිහිල්ල කියනව “මම ලක්ෂ 25ක් ගත්ත මේකගෙ බෙල්ල කපන්න එපා….අතක් කපල දැම්මහම ඇති” කියල….දැන් පොලීසිය භාර ඇමති අර පුද්ගලයගේ බෙල්ල කපන්නෙ නැතිව අත කපල දාල පවුලම නිදහස් කරනව.

දැන් ඒ පවුල ගෙදර ආපු වෙලාවේ ඉදල පොලීසිය භාර ඇමතිවයි, අධිකරණය භාර ඇමතිවයි ඒ රටේ පාලකයන්වයි වර්ණනා කරනවා “බෙල්ල කපන්නෙ නැතිව අතක් කපපු එක කොච්චර හොදයිද” කියලා….

ඊට පස්සෙ ඒ රටේ කිසි පුද්ගලයෙක් ඒ පාලකයන්ව විවේචනය කරන්න ගියේ නෑ..ඒ පාලකයන් ගේන හැම පනතක්ම, ව්‍යවස්ථා සංශෝධනයක්ම, පිටරටවල් එක්ක අත්සන් කරන හැම ගිවිසුමක්ම ඒකමතිකව සම්මත කරල දුන්න.

හැබැයි අවාසනාව කියන්නෙ දැන් ඒ රට පාලනය කරන්නෙ ඒ රටේ මිනිස්සු නෙවෙයි. පිටරටවලින් ඒ රටට ආපු මිනිස්සුයි.

(මේ කථාව වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින යහපාලන සංහිදියා හයිබ්‍රිඩ් පාලකයන් විසින් විරුද්ධ පාක්ෂිකයන් සිරගත කරමින් ඔවුන්ගේ මොළ සෝදන ක්‍රියාවලියට අදාලව නොවන බව සළකන්න.)

නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

 

 

Top